Breaking
23 Feb 2025, Sun

ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථාදායක සභාව

පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටියි. මෙය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. අප සෑමවිටමත් කියා ඇත්තේ ඉන්දියාව හා එංගලන්තය අවුල් ආණ්ඩුව පත්කරගත්තේ දෙමළ ජාතිවාදයට අවශ්‍ය දොළපිදේනි දීමට බව ය. එ ජා පක්‍ෂය හා ශී්‍ර ල නි ප වෙන ම සිටින විට එක් පක්‍ෂයක් ආණ්ඩු බලය ගෙන දෙමළ ජාතිවාදයට යමක් දීමට ගිය කළ අනෙක් පක්‍ෂය විරුද්ධ වන බව ඉන්දියාව දැනගෙන බොහෝ කල් ය. 2005 දී පමණ සමස්ත ලංකා කාන්තා බෞද්ධ සම්මේලනයේ පැවති රැස්වීමක දී අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කර ඇත්තේ පක්‍ෂ දෙක එකතුකර ඊනියා දෙමළ ප්‍රශ්නයට (මේ ප්‍රශ්නය කුමක් දැයි තවමත් කිසිවකු කියා නැත) විසඳුමක් දිය යුතු බව ය. ඊනියා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුව ඇතිවිණි.

පක්‍ෂ දෙක එකතුකිරීමේ ඉන්දියානු සිහිනය පළගැන්වූයේ මෛත්‍රිපාල සිරිසේනගේ අගමැති සිහිනය බොඳ වීමෙන් පසුව ය. අද ඔහු වෑයම් කරන්නේ නව ව්‍යවස්ථාවක් ඇතිකර විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැති ධුරයක් ඇතිකර මීළඟ මැතිවරණයෙන් විධායක අගමැති වීමට ය. ඒ අතර ඔහුටත් රනිල් වික්‍රමසිංහටත් බටහිරයන් හා ඉන්දියාව කියන ආකාරයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජාතිවාදයට දොළපිදේනි දීමට සිදුවෙයි. ඊනියා ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකර ඒ සාක්‍ෂාත් කරගැනීම ඔවුන්ගේ අපේක්‍ෂාව වෙයි.

එහෙත් පාර්ලිමේන්තුව එසේ ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කළ හැකි නො වේ. ඒ සඳහා ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. මෙරට ඉතිහාසයේ එසේ වී ඇත්තේ එකම එක අවස්ථාවක දී පමණ ය. ඒ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළ අවස්ථවේ දී ය. එහි දී අප අමතක නොකළ යුතු කරුණු දෙකක් වෙයි. පළමුවෙන් ම එතෙක් අපට තිබුණේ එංගලන්ත (ඊනියා බිරිතානි) පාර්ලිමේන්තුව විසින් සකස් කෙරුණු ව්‍යවස්ථාවකි. අවශ්‍ය වූයේ ඒ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නොව මුළුමනින් ම ඉවත දැමීම ය. එය කළ හැකිව තිබුණේ එවකට පැවති ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවට පිටින් ගොස් ය. මෙහි දී වැදගත්වන දෙවැනි කරුණ නම් එසේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමට බණ්ඩාරනායක මැතිණිය ජනතාවගෙන් වරමක් ලබාගැනීම ය. 1970 මැතිවරණයේ දී ඒ බව ජනතාවට ප්‍රකාශ කර ඒ සඳහා වරමක් ලබාගෙන තිබිණි.

අද තත්ත්වය එයට වඩා වෙනස් ය. දැන් පවතින්නේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ය. එය මෙරට පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා ලද්දකි. 1972 පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් අවශ්‍ය වූයේ එතෙක් පැවති සෝල්බරි ව්‍යවස්ථාව අප වෙත එංගලන්තයෙන් පැටවූ එකක් බැවිනි. දැන් ව්‍යවස්ථාදායක සභා පිහිටුවීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එමෙන් ම 2015 අගොස්තු මැතිවරණයේ දී රනිල් මෛත්‍රිපාල යුවළ ඒ සඳහා ජනතාවගෙන් වරමක් ද ලබා ගත්තේ නැත. ඔවුන් කතා කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන පමණ ය.

පිහිටුවීමට යන ව්‍යවස්ථාදායක සභාව මුළුමනින් ම නීති විරෝධි ය. ඒකාබද්ධ විපක්‍ෂය එයට විරුද්ධව දේශපාලන අරගලයකට නායකත්වය දිය යුතු ය. ඒ සඳහා අනෙක් සංවිධාන පසුපස නොගොස් ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරියට පැමිණිය යුතු ය. ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැතත් ජනවරමක් ලැබී නැතත් ඇතැම් විට ජනමත විචාරණයකින් ඒ සඳහා කැමැත්ත අකමැත්ත විමසිය හැකි ද යන්න සොයා බැලිය යුතු ය. එසේ කළහැකි නම්් අඩුම තරමෙන් ජනමත විචාරණයක්වත් නොපවත්වා ව්‍යවස්ථාදායක සභාවක් ඇති කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය පමණක් නොව ආණ්ඩුවේ ඇතැමුන් ද විරුද්ධ විය යුතු ය. ශ්‍රී ල නි ප මරාදමා ඇති නමුත් තමන් ශ්‍රී ල නි ප නියෝජනය කරන්නේ යැයි කියන ඇමතිවරුන්ට ද සිතන්නට පුළුවන් නම් සිතන්නට ප්‍රශ්නයක් ලැබී ඇත. යම්කිසි ආකාරයකින් අවුල් ආණ්ඩුව ව්‍යවස්ථාදායක සභාවක් නීති විරෝධීව හා ව්‍යවස්ථා විරෝධීව ඇතිකළත් එය වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය නායකත්වය දීය යුතු ය.

නලින් ද සිල්වා

2015 දෙසැම්බර් 27

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.