Breaking
23 Feb 2025, Sun

ව්‍යාජ ලිච්ඡවින් අගොස්තු 17 වැනි දා දියවන්නාවේ ගිල්ලවමු

ධර්මිෂ්ඨලාගේ ජේ ආර්ට පසුව අපට ලිච්ඡවිලාගේ රනිල් පහළ වී ඇත. පහළ වී ඇතැයි කිව ද ඔහු ද අනෙක් මිනිසුන් මෙන් ම උත්පත්තිය ලත් තැනැත්තෙකි. ජේ ආර්ට උපදෙස් දුන්නේ කවුදැයි නො දනිමි. රනිල්ට රතන හිමියන් උපදෙස් දුන්නත් ඔහු එ භාරගනී යැයි සිතිය නො හැකි ය. ලිච්ඡවිලාගේ රනිල්ට උපදෙස් දෙන්නේ ලිච්ඡවිලාගේ උදවියවත් කෞටිල්‍යලාගේ උදවියවත් නොව ඔබාමාලාගේ හා කැමරන්ලාගේ උදවිය ය. කෞටිල්‍යලාගේ උදවිය රතන හිමියන්ට නම්,උපදෙස් දෙනවා විය හැකි ය. ඒ උපදෙස් ද කැමරන්ලාගේ උපදෙස් අතර එතරම් වෙනසක් ඇතැයි නො සිතමි. ඒ සියල්ලන්ට අවශ්‍ය මැදමුළණ මහින්ද අතුගා දැමීමට ය, වළලා දැමීමට ය.

බටහිරයන් දන්නා දෙයක් වේ. ඒ යම් සංස්කෘතියකට පහර ගැසීමට ඒ සංස්කෘතියෙහි ම සංකල්ප ආචාර ධර්ම ආදිය යොදා ගත යුතු බව ය. විශේ’ෂයෙන් ම එංගලන්තයේ සුද්දෝ ඒ බව දනිති. අවුරුදු දෙසියයකට පෙර ද කේම්බ්‍රිජ් උපධිධාරී ජෝන් ඩොයිලි ඒ බව දැන සිටියේ ය. අද ඔවුහු එදාටත් වඩා හොඳින් ඒ බව දනිති. ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරන බව සඳහන් කෙළේ මෙරට දශරාජ ධර්මයෙන් කරවීමට නො වේ. ඔහු ජනතාවගේ සංස්කෘතිය ගසා කා ජනතාව තමා දෙසට ආකර්ෂණය කර ගැනීමට එ සංකල්පය යොදා ගත්තේ ය. ධර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීමට යැයි කියමින් බලයට පැමිණි ජේ ආර් පරම පවිටු අධර්මිෂ්ට ඇමරිකන් ගැති ආණ්ඩුවක් පිහිටුවී ය.

සිංහල බෞද්ධයෝ ලිච්ඡවින් ගැන දනිති. ලිච්ඡවි රාජ්‍යය රාජාණ්ඩුවක්වත් සමූහාණ්ඩුවක්වත් නො වී ය. ඇතැමුන් ඒ සමූහාණ්ඩුවක් ලෙස හඳුන්වන්නේ වෙනත් වචනයක් නැති කමට විය හැකි ය. ඒ ශාක්‍යයන්ගේ රාජ්‍යවලට වඩා ලිහිල් විය. ලිච්ඡවීහු නිතර රැස්වූහ. සාකච්ඡා කළහ. විසිර ගියහ. ඔවුන් බහුතර ඡන්දයෙන්වත් ඒකච්ඡන්දයෙන්වත් තීරණවලට පැමිණි බවක් නො කියැවෙයි. ඔවුහු සම්මුතියෙන් තීරණවලට පැමිණියහ. බුදුසසුනෙහි සංඝයා වහන්සේ ද සම්මුතියෙන් තීරණවලට පැමිණියහ.

ලිච්ඡවින්ට සුළු කලක් වුවත් එලෙස සාකච්ඡාවෙන් සම්මුතියෙන් තීරණවලට පැමිණීමට හැකි වුයේ ඇයි? ඔවුන්ට පොදු රාෂ්ට්‍ර ප්‍රතිපත්ති විය. එසේත් නැත්නම් පොදු රාජ්‍ය ප්‍රතිපත්ති විය. ඔවුන් අතර වෙනස්කම් ඇතිවූයේ ඒ පොදු ප්‍රතිපත්තිවලට පටහැණීව යෑමෙන් නො වේ.

අද මෙරට තත්ත්වය කුමක් ද? මෙරට දේශපාලන පක්‍ෂ අතර පොදු ප්‍රතිපත්ති නැත. ඊනියා ජාතික ප්‍රතිපත්ති ගැන කෙතෙක් කතා කළ ද අපට කිසිම දෙයක් ගැන පොදු රාජ්‍ය ප්‍රතිපත්ති නැත. අද සමහර පක්‍ෂවලට නම් ලංඩනයෙන් නියම කෙරෙන ඊනියා පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රතිපත්ති ඇත. මහින්ද රාජපක්‍ෂ අතුගා දැමීමට කතා කරන්නේ ඔහු මේ යටත්විජිතවාදී පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රතිපත්ති නො පිළිගන්නා බැවිනි.

ලිච්ඡවිලාගේ රනිල්ට අවශ්‍ය වන්නේ දශරාජ ධර්මය ස්ථාපිත කිරීමට නො වේ. ඔහුට අවශ්‍ය ලංඩනයේ පොදු රාජ්‍ය මණ්ඩල ලොක්කන් සකස්කරන ප්‍රතිපත්ති දියවන්නාවේ දී බොරු සාකඡඡාවකට භාජනය කර ක්‍රියාත්මක කිරීම ය. ඉතා පැහැදිලිව ම සංධීය රාජ්‍යයක් පිහිටුවීම, මුස්ලිම් ඒකක බිහිකිරීම උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම ආදිය එහි අඩංගු වෙයි.

ප්‍රශ්නය වන්නේ ඒවාට එකඟ නොවන පක්‍ෂ පිලිබඳ ව ය. ලිච්ඡවින්ගේ නාමයෙන් රට පාවාදීමට ඔවුන් සූදානම් නැත. රනිල් ඔවුන්ට කුමක් කරන්නේ ද? ඔහු පැහැදිලිව ම ලන්ඩන් ලිච්ඡවිලා හා දිල්ලි ලිච්ඡවිලා සමග එකතු වී ඒ පක්‍ෂ මර්දනය කරනු ඇත. අප කළ යුත්තේ නූතන ව්‍යාජ ලිච්ඡවින් අගොස්තු 17 වැනි දා දියවන්නාවේ ගිල්ලවීම ය

නලින් ද සිල්වා

2015 ජූලි 25

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.