Breaking
24 Feb 2025, Mon

වික්‍රමසිංහට ඕනේ විදියට රට කරන්න දීලා සිරිසේන බකංනිලන් ඉන්නවා

පස් කැපිල්ල පිළිබඳ විශාල උනන්දුක් දක්වන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පස් කැපිල්ල පසුපස සැඟවී තිබෙන පාතාලය ගැන කථා නොකරන්නේ පාතාලයට ඇති බිය නිසාදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පස් කැපිල්ල සහ ඒ හා බැඳුණු පාතාලය නිසා සිදුව ඇති විනාශය පිළිබඳ තමා කතා කළේ සැබෑ ජීවිතය ද චිත්‍රපටයක් යැයි සිතමින් මවා ගත් ලොවක සැරිසරන රන්ජන් රාමනායකලා ගම්පහ පස් පාගන්නටත් පෙර බව පැවසූ රණතුංග මහතා රන්ජන් සැබෑ චණ්ඩියකු නම් අහිංසක රජයේ නිලධාරිනියන්ට අඩන්තේට්ටම් නොකර මේ සැබෑ පාතාලයට එරෙහිව සටන් වැද පෙන්වන්නැයි අභියෝග කළේය.

රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ වෘත්තිකයන් පිරිසක් සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද රට පත්වෙලා තියෙන සහ පත්වෙමින් යන තත්ත්වය ගැන රටේ බුද්ධිමත් ජනතාව කල්පනා කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය ඉවර කරලා සංවර්ධනය කරා ගෙන යමින් තිබුණු රට අද මේ හවුල් ආණ්ඩුව විසින් ගෙනියන්න හදන්නේ කොතැනටද කියලා අපි සිතිය යුතුයි. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු බේගල් කියමින් බලයට ආ මේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රට ගෙනියන්නේ අගාධයකට බව අද පැහැදිලි වෙලා තිබෙනවා.

ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු වෙලා ඉන්න මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ. 2015 ජනවාරි 08 වැනි දා ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රට භාර දුන්නත් අද රට පාලනය කරන්නේ ඔහු නොවෙයි. අද රට පාලනය කරන්නේ රටේ ජනතාවගේ බහුතර බලයක් නැති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ වටා සිටින ගජමිතුරන් කණ්ඩායමක් විසින්.

රනිල් වික්‍රමසිංහට ඕනේ විදියට රට කරන්න දීලා සිරිසේන ජනාධිපතිවරයා බලාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ හිතවතුන්ගේ මනදොළ සපුරමින් රට ජාතිය විනාශ කිරීමේ ගමනක යෙදී ඉන්නවා. ජාතික ආණ්ඩුවක් කියලා මහ ලොකුවට හිතාගෙන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ඇත්තටම ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අගු පිලේ. අගු පිලේ ඉන්න ගමන් රජගෙදර ඉන්නවා වගේ කටමැත දොඩෝනවා.

මේ අය බලයට ආවේ හොරු අල්ලන්න කියලයි. බැලින්නම් දැන් ඔක්කොම හොරු ඉන්නේ සිරිසේන ජනාධිපතිවරයා ළඟයි. තමන්ට විරුද්ධ අයට නඩු දාන තමන්ට පක්ෂ අය ආරක්ෂා කරන අමුතුම ජාතියේ යහපාලනයක් තමයි ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරමින් ඉන්නේ. මහ බැංකුව මංකොල්ල කාපු අලි හොරු නිදැල්ලේ ඉන්න කොට අහිංසක මිනිස්සු අල්ලලා හිර ගෙදරට යවන එක තමයි මේ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය.

ගම්හප දිස්ත්‍රික්කයේ පස් කැපීම ගැන මේ දවස්වල ලොකු කතා බහක් යනවා. අකරගම ප්‍රදේශයේ පස් කපන ස්ථානයකට ගිය රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රාදේශීය ලේකම්වරියකට තර්ජනය කරපු ආකාරය අපි මාධ්‍ය හරහා දැක්කා. රාජ්‍ය නිලධාරිනියකට ප්‍රසිද්ධියේ තර්ජනය කරපු රන්ජන් රාමනායකට එරෙහිව කිසිම පියවරක් අරගෙන නැහැ. අඩුම ගාණේ අවවාදයක්වත් දීලා නැහැ.

රන්ජන් රාමනායක ගම්පහට ඇවිල්ලා තාම අවුරුදු එකහමාරක්වත් නැහැ. ඉපදුණු දවසේ ඉඳලා ගම්පහ ඉන්න මම වගේම ගම්පහ අනෙකුත් මන්ත්‍රීවරුනුත් මේ පස් කැපිල්ල ගැන දන්න තරම් රන්ජන් දන්නේ කොහොමද? පස් කැපිල්ල නිසා සිදුවන විනාශය ගැන මම මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ දැනුවත් කරලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාත් මේ ගැන දැනුවත් කළා.

පස් කැපිල්ල එක්කම එන අනෙක් දේ තමයි පාතාලය. පස් කැපිල්ල පේන රන්ජන්ට පාතාලය පේන්නේ නැත්තේ පාතාලයට තියෙන බය නිසාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපේ කාලයේ නම් පස් කැපිල්ල වගේම පාතාලයත් මර්දනය කරන්න කටයුතු කළා. හිටපු ආරක්ෂක ලේකම්තුමා පාලනය කරලා තිබ්බ පාතාලය නැවත හිස එසෙව්වේ යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සෙයි.

අද බලන්න කීදෙනෙක් දවසට ඝාතනය වෙනවද කියලා. අපේ රටත් දැන් චිකාගෝවක් වෙලා. මහ දවාලේ වෙඩි තියවා. කපලා කොටලා මරනවා. හැබැයි කාවවත් අත්අඩංගුවට අරගෙන නැහැ. චිත්‍රපටිවල චණ්ඩි දර්ශන රඟපෑවට රන්ජන් රාමනායක ඇත්ත ජීවිතේ පාතාලෙට බය නිසා වෙන්නැති මේවා ගැන කතා කරන්නේ නැත්තේ. කොහොමත් කොන්ද පණ තියෙන පිරිමියෙක් නම් ගෑණු කෙනකුට චණ්ඩි පාට් දාන්නේ නැහැනේ. හැබැයි ඉතින් පිරිමි ගණිකාවන්ට ඕවා එච්චර දේවල් නොවෙයි.

රන්ජන් රාමනායක දැන් තමන් හොයා ගත්තා වගේ කයිවාරු ගැහුවට පස් කැපිල්ල යට තියෙන පාතාලය ගැන වගේම් මේවා නිසා 48 දෙනකු මිය ගියා කියලා රටට මුලින්ම හෙළිදරව් කළේ මමයි. සමහරු කියනවා මමත් පස් කපනවා කියලා. හැබැයි මේ මිනුවන්ගොඩ වගේම රටේම බුද්ධිමත් ජනතාව දන්නවා ප්‍රසන්න රණතුංග පස් කපන්නේ නැහැ කියලා. පස් කැපිල්ල නිසා වැඩියෙන්ම හානි වෙලා තියෙන්නේ මිනුවන්ගොඩ ආසනයට. වැඩියෙන්ම විඳවන්නේ මිනුවන්ගොඩ ආසනයේ ජනතාව.

උඩින් පාත් වෙච්ච පැරෂුට්කාරයෝ නැතුවට අපි හැමදාම මිනුවන්ගොඩ ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ඉස්සරහටත් පෙනී ඉන්නවා. ප්‍රශ්නයේ බරපතළ නොදැන බොරු මාධ්‍ය සන්දර්ශන දාලා ඡන්ද ගොඩවල් වැඩි කර ගැනීමේ පටු අරමුණු අපට නැහැ. ඡන්ද නොලැබුණත් වැරැදි දේ වැරැදියි කියන්න අපට හයියක් තිබෙනවා. ඒ හින්දා අපි ඔය පැරෂුට්කාරයන්ට කියන්නේ තවත් ජනතාව රවට්ටන්නේ නැතුව පැත්තකට ‍වෙලා ඉන්න කියලයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.