විශේෂාංග

විජිත පුර සුද්දය ……

Published on: May 13, 2018 – දුටුගැමුණු රජු එළාර රජු සටන් වැදී දුටුගැමුණු රජු එළාර රජු පැරද වූ විජිත පුර බලකොටුවේ බැලුම්ගල නම් වූ පුරාවිද්‍යා බලප්‍රදේශය නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ගම්මානයක් ඉදිකිරීම සඳහා යැයි පවසමින් බුල්ඩෝසර් දමා එහි ඇති පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව මේ විට අංශ කිහිපයකින් පරීක්ෂණ පවත්වමින් සිටියි.

නිවාස සංවර්ධන අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකරනු ලැබූ මෙම පුරාවස්තු විනාශය පිළිබඳ ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟ මෙය පරීක්ෂණ පැවැත්වීම සහ අත්හිටුවීම විශේෂත්වයකි. මාධ්‍ය මඟින් හෙළිදරව් නොවන්නට අෑත අතීතයක් පිළිබඳව විස්තර කෙරෙන බැලුම්ගල නම් වූ මෙම සුවිශේෂී වූ පුරාවිදු බිම දැයට අහිමි වන්නට තිබිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විජිතපුර ඓතිහාසික පූජා භූමියට යාබදව පිහිටි පුගොල්ලාගම බැලුම්ගල නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිහිටි භූමි භාගයේ තිබූ කොරවක් ගල්, ඉපැරැණි ගරාවැටුණු චෛත්‍ය, ගල් කණු, මල් ආසන, ගල් ඇඳන්, සඳකඩපහණ, මුරගල්, ඉපැරැණි ගොඩනැඟිලිවල කැබලි සියල්ල යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කොට අක්කර 15ක පමණ විශාල භූමි ප්‍රමාණයක් ඩෝසර් කොට

විනාශ කර ඇති බවද පෙන්වා දී ඇත. ප්‍රදේශවාසීන් මේ විනාශය සිදුනොකරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන් අතර එහෙත් දේශපාලන බලය මත මේ විනාශය සිදුකරමින් නිදන් සෙවීමේ අරමුණ ඇතිව වටිනා පුරාවිද්‍යාත්මක දේ විනාශ කළ බවට චෝදනා නැඟෙන්නට විය.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා භානු මහත්මිය අනුරාධපුර නිවාස සංවර්ධන අධිකාරියට මෙම ඉඩම අක්කර 15ක කොටසක් නිවාස ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇති බවද ප්‍රදේශවාසීහු කියති. ඒ අනුව නව නිවාස ඉදිකිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත පසුගියදා මුල්ගල තබා මෙයාකාරයෙන් යන්ත්‍ර සූත්‍ර යොදා වටිනා භූමිභාගය හෙළි පෙහෙළි කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඉපැරැණි ස්ථානයේ නටබුන් විනාශ කොට ඇති බව ඔවුහු පෙන්වා දෙති.
විනාශය පිළිබඳව බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද මෙතෙක් කිසිදු වගවිභාගයක් නොවූ බවද ඔවුහු පවසති. රජයේ මුදල් යොදවා ගෙන රජයේ යන්ත්‍ර සූත්‍ර යොදවාගෙන රාජ්‍ය නිලධාරීන් යොදවාගෙන නිවාස සංවර්ධන අධිකාරියේ සහ ග්‍රාම නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම පුරාවිද්‍යා භූමිය විනාශ කළ බව ඔවුහු කියති.

දුටුගැමුණු එළාර යුද සමයේ සිට මෙම ස්ථානය පැවැති බවත් එළාර දුටුගැමුණු යුද සමයේ සතුරන් එන ස්ථාන බැලීම සඳහා බැලුම්ගල නම් වූ ස්ථානය පිහිටා ඇති බවත් එම ස්ථානයේ පසුව විහාරාරාම කර සඟසතු කොට පුජා කළ ස්ථානයක් වූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසියකු වන කරුණාරත්න බණ්ඩාර මහතා මේ පිළිබඳව පැවැසුවේ මෙවැන්නකි.

“උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 516 තුලාන පුගොල්ලාගම බැලුම්ගල කියන කොටස මේක. විජිතපුර බලකොටුවට අයත් එළාර රජතුමාගේ බලකොටුව කියලා තමයි කියන්නේ. එළාර රජතුමාගේ බලකොටුවේ ඔත්තු බැලීම සඳහා භාවිත කළ බැලුම්ගල තමයි මෙතැන තියෙන්නේ. මේ බැලුම්ගලට නැග්ගාම අවට ප්‍රදේශයේ සියල්ල ඉතා හොඳින් පේනවා. රජ කාලයේ සිතියම්වල සංකේතවලින් ඒක පැහැදිලිව පේනවා. මේ ස්ථානයේ පුරාණ සලකුණු රැසක් ගල්වල සටහන් වෙලා තියෙනවා. මේ ස්ථානයෙහි පසුකාලීනව අපිට හිතෙන විදිහට බෞද්ධ මධ්‍යස්ථානයක් හැටියට තමයි තිබිලා තියෙන්නෙ. මොකද සඳකඩපහන් කොරවක් ගල්, පහන් ගල්, ගල් ඇදන්, මල් ආසන ආදී විවිධ විහාරවල තියෙන දේ, උළුකැට දකින්න තියෙනවා. දිගින් දිගටම නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුවෙන ප්‍රදේශයක්. බැලුම්ගල බෝර දාලා තියෙනවා බහුතරයක් මේවා පිටිපස්සෙ ඉන්නෙ දේශපාලන අධිකාරිය”

“සංවර්ධනයේ මුවාවෙන් දේශපාලනඥයෝ මේ ඉඩම ඩෝසර් කරලා නිදන් ගන්න තමයි හදන්නේ. ඒ නිසා අපි එක ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ස්ථානය ගමේ මිනිසුන්ට ලබාදෙන්න. අපි වෙහෙර විහාරස්ථාන නිර්මාණය කරලා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරවලා මේ ස්ථානය ආරක්ෂා කරන්න අපට පුළුවන්. එහෙම වුණොත් පළමුවැනි ආවාස කුටිය මම මගේ වියදමින් නිම කරලා ලබා දෙනවා. මේවා මතු පරපුරට ආරක්ෂා කර දිය යුතුයි. භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැන පුරාවස්තූන් ආරක්ෂා වෙලා තියෙනවා. අනෙකුත් හැම තැනක්ම නිදන් හොරුන්ගෙන් හානි වෙලා තියෙනවා. ඒ නිසා මේ ස්ථානය ආරක්ෂා කරගත යුතුමයි”

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමිය කියන්නේ තමන්ගේ ග්‍රාම නිලධාරිවරයා ලබාදුන් වාර්තාවේ කිසිම බෞද්ධ හෝ නටබුන් තියෙන විත්තියක් නැති බව. හැබැයි මේක විශ්වාස කරන්න පුළුවන්ද? මේ ග්‍රාමසේවක නෙවෙයි පුංචි දරුවෙක් ඇහුවත් දන්නවා මෙතැන පුරාවස්තු තියෙනවා විතරක් නෙවෙයි ඒ ස්ථානයේ කවුරුන් හෝ පදිංචියට ගියා නම් ඒ අය ඉවත් කරලත් තියෙනවා. ගොවිතැන් කරපු අය නඩු දාලා ඉවත් කරපුවත් තියෙනවා. එහෙම එකේ ග්‍රාම නිලධාරිවරයා දන්නේ නෑ කියලා වාර්තාවක් දෙන්නෙත් හිතාමතාම කියලා අපිට පැහැදිලිය”

එල්.ඒ.එස්. කුමාරසිංහ මහතා

“අපි මේ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම දැනුම් දුන්නා. ඩෝසරේ අරන් එනකොටත් අපි කිව්වා, මැනුම් කරන කොටත් අපි කිව්වා, මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන භූමියක්. අපේ ගම්මුන් අතීතයේ ඉඳලම මේ ස්ථානය ආරක්ෂා කළා කියලා තියෙනවා කියලා නිවාස සංවර්ධන අධිකාරියේ මහත්තයාට මම ඇවිල්ලම කිව්වා මේක තව පාරක් හිතන්න, මේවා විනාශ කරන්න එපා කියලා. හැබැයි එයා අපිට කිව්වේ තමුසෙලට මේවයින් වැඩක් නෑ ප්‍රාදේශීය ලේකම්තුමිය අපිට මේ ඉඩම දීලා තියෙන්නේ ඒ නිසා ප්‍රදේශීය ලේකම්තුමියට තමයි ඉඩම් බලතල තියෙන්නේ. ඕනෑ දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. එහෙම අපිව බයකරලා තමයි මේ විනාශය කළේ. මේක ඩෝසර් කරලා විනාශ කරන කොට බලාගෙන ඉන්න බැරි නිසා ගිහිල්ලා මම කිව්වා කරුණාකරලා මේක නවත්තන්න කියලා. කෑ ගැහුවා. බැරිම තැන පොලිසියේ හදිසි ඇමතුම් අංශයට පවා කතා කරලා කිව්වා. එහෙම කියලා තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා මේ විනාශයෙන් ටිකක් හරි මේ තත්ත්වයෙන් නවත්ත ගන්න පුළුවන් වුණේ. විනාශය ගැන රජයේ නිලධාරීන්, රජයේ මුදල්, රජයේ වාහන සියල්ල යොදාගෙන සිද්ධ කරන නිසා මේක කොහොම හෝ නවත්තගන්න තමයි අපි ජනමාධ්‍යවේදීන්ට මේ ගැන කියන්න තීරණය කළේ.”

ඩබ්ලිව්.ඒ. ප්‍රසාදිකා චතුරි මහත්මිය

“අප නිවාස ඉදිකරනවාට අකැමැති නැහැ. නිවාස ඉදි කරන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. මේ වගේ භූමියක් විනාශ කරන්න එපා කියලයි අපි කියන්නේ. ඒ වගේම මේකේ මුල්ගල තියන්න ආවේ අනුරධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතා ඇතුළු රජයේ නිලධාරීන්. ඒ වෙනකොටත් මේ අය හො¼දාකාරවම දන්නවා මෙතැන පුරාවිද්‍යා භූමියක් කියලා. පොලිසිය පවා දන්නවා මෙතැන ඓතිහාසික තැනක් කියලා. මෙතැන ඩෝසර් කරලා මුල්ගල තියෙන කොට පොලිසියෙ අයත් හිටියා. ඒ නිසා මේ භූමිය මතු පරපුරට ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.”

අප මේ ස්ථානයට ගොස් ජනතාව සමඟ සාකච්ඡා කරමින් සිටියදී කිසියම් පිරිසක් අප එම භූමියට යෑම වැළැක්වීම සඳහා පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ඉපලෝගම පොලිසියට දැනුම් දී යතුරුපැදියකින් උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පොලිස් කොස්තාපල්වරයකු එම ස්ථානයට පැමිණීමද විශේෂත්වයකි. පොලිස් නිලධාරියාට අප කියා සිටියේ මෙම විනාශය වාර්තා කිරීම සඳහා පැමිණි බවය. එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අපගේ රාජකාරියට බාධාවක් නොකිරීම විශේෂත්වයකි.

පසුව මේ පිළිබඳව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසීමට එම කාර්යාලයට ගියද එතුමිය රාජකාරියකට වෙනත් ප්‍රදේශයකට ගොස් සිටි නිසා සහකාර ප්‍රාදේශීය ලේකම් අයි.ජී.ආර්.අයි. බණ්ඩාර මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ඒ මහතා කීවේ ප්‍රාදේශීය ලේකම්වරිය නිවාස සංවර්ධන අධිකාරියට අක්කර 15ක භූමි ප්‍රමාණයක් ලබාදී තිබුණු බවය.

පසුව අපි ජංගම දුරකථනය හරහා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා භානු මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු. එතුමිය කියා සිටියේ නිවාස සංවර්ධන අධිකාරියට එම ඉඩම ලබා දුන් බවත් ඉඩම ලබාදෙන අවස්ථාවේදී එම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බවට හඳුනාගෙන නොතිබූ බවත් හඳුනාගැනීමත් සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ බව දන්වා යැවූ බවත්ය. තමන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී විශාල පුරාවස්තුවලට හානි සිදුකොට ඇති බවද සඳහන් කළාය.

අනුරාධපුර දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකාරිනිය එස්.ඩී.කේ. විජේරත්න මහත්මියගෙන් අප දුරකථනයෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ එවැනි පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව නොදැන සිටි බවත් තමන් එම ස්ථානයට නොගිය බවත් එවැනි විනාශයක් සිදුකර නැති බවද කීවාය. මෙම ස්ථානය ඩෝසර් දමා සුද්ද කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් කළේද එම මුදල් කොහෙන්ද කියා අප විමසීමේදී කීවේ රජයේ මුදල් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් වියදම් කළ බවය.

නිදන් වස්තු සෙවූ බවද ජනතාව නඟන චෝදනා නොපිළි ගන්නා බවට මාධ්‍ය මඟින් එවැනි කතා ගොතන්න උත්සාහ කරන බවද අෑ කීවාය.

මේ පිළිබඳව පුරාවිද්‍යා අධක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතාගෙන් විමසීමේදී කීවේ ප්‍රාදේශීය ලේකම්වරියට, ග්‍රාමසේවා නිලධාරියාට, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට විරුද්ධව පුරාවස්තු ආරක්ෂා පනත යටතේ නීතිය ක්‍රියාත්මක වන බවය.

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ ජංගම දුරකථනය තවත් ඇමතුමක් සමඟ සම්බන්ධ වී සිටීම නිසාවෙනි.

මේ දිනවල දිගින් දිගටම විවිධ සංවිධාන සහ බොහෝ පුද්ගලයෝ පුරාවස්තු විනාශය පිළිබඳව දැක බලා ගැනීමට මෙහි පැමිණෙමින් සිටිති. එමෙන්ම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කණ්ඩායම් විසින් අනුරාධපුර දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරිය සහ ඉන්ජිනේරුවරයකුගේ සේවය අත්හිටුවනු ලැබ තිබෙන අතර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය තාවකාලිකව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරු කර තිබේ. එමෙන්ම වසමේ ග්‍රාම නිලධාරිවරයාටද ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.

පසුගිය පාලන සමයේ මෙන්ම වර්තමාන පාලන සමයේද දේශපාලන අධිකාරිය මඟින් පුරාවිද්‍යා ස්ථානයට ඇස ගසාගෙන සිටීම විශේෂ කරුණක් බව ප්‍රදේශවාසීහු පුන පුනා කියති. මන්ද මෙම ස්ථානයේ ඇති බව සැලකෙන එළාර රජුගේ ආයුධ ගබඩාව සහ එළාර රජු විසින් තැන්පත් කරනු ලැබ ඇති භාණ්ඩ මෙහි ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය පවතී.

මීට වසර ගණනාවකට පෙර මෙම ස්ථානයේ කැණීම් කොට බුදු පිළිම වහන්සේලා සහ විවිධ කෞතුක භාණ්ඩ නිදන්වලින් ලබාගෙන ඒවා අලෙවි කළ පුද්ගලයන්ගේ නාමලේඛනයක් ප්‍රදේශවාසීහු නිරන්තරයෙන් අවධාරණය කරති. එමෙන්ම එම පුද්ගලයන්ට සිදුවූ විපත්ති පිළිබඳවද ඔවුහු අප සමඟ පවසන්නට වූහ. එම නිදන් ලබාගත් බව කියන ප්‍රබල පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය පුද්ගලයන්ද වසර කිහිපයක් තුළ ජීවිතයෙන් සමුගත් බවත් අකාලයේ ජීවිත අහිමි කරගැනීමට සිදුවූයේ මෙම ස්ථානයට සිදුකළ අපරාධ නිසා බවත් ප්‍රදේශවාසීහු අප සමඟ පැවැසූහ.

නිදන් හොරුන් විසින් මෙම භූගත ස්ථාන හාරා විනාශ කරනු ලැබ ඇති ආකාරයද පසුගිය දිනවල එහි සංචාරය කිරීමේදී අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. නිවාස ඉදිකිරීමේ මුවාවෙන් මහා පරිමාණ නිදන් කොල්ලයකට මෙම නිලධාරීන් කැස කැවූ බව ප්‍රදේශවාසීන්ගේ බරපතළ සැකයට ලක්ව තිබේ.

දඹුල්ල- කේ.කේ. ආරියදාස


Loading…

Top