ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර නොහොත් නන්දසේන විජේවීර මහතා අත් අඩංගුවට ගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම මහතාගේ බිරිඳ, ශ්‍රී ලංකා රජයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇත. මේ වෙනුවෙන් පසුගිය දා ඇය පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් බාර දීමට ගිය අතර එහිදී ඇගෙන් කට උත්තරයක් ලබා ගැනිමෙන් පසුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඇයට උපදෙස් දී ඇත්තේ එය කොළඹ අපරාධ කොට්ඨාෂයට පැමිණිල්ලක් කරන ලෙසය. මේ අනුව ඇය කොළඹ අපරාධ කොට්ඨාෂයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබේ.
විජෙවීර මහතා ඝාතනයට ලක්වී මේවන විට වසර 26 ක් වන අතර මේ දක්වා ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් මින් පෙර කිසිවකු හෝ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා නැත. 1989 නොවැම්බර් 12 වන දින උලපනේ ප්‍රදේශයේ වතු අධිකාරීවරයකු ලෙස වෙනත් ස්වරූපයකින් සැඟවී සිටි රොහණ විජේවීර මහතාව අත් අඩංගුවට ගැනීමට මේජර් ජානක පෙරෙරා ඇතුළු පිරිසක් සමත් විය. පසුව එවකට රාජ්‍ය ආරක්ෂක ඇමතිව සිටි රන්ජන් විජෙරත්න මහතා හමුවට පැමිණ වීමෙන් පසුව ඔහුව ඝාතනය කිරීමට තීන්දු කර ඇති අතර බොරැල්ල සුසාන භුමියේ ආදානනාගරයේදී ඔහුට වෙඩි තබා ප්‍රාණය නිරුද්ධ වීමටත් ප්‍රථමයෙන් පුලූස්සා දමූ බවටද එවකට තොරතුරු වාර්තා විය.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ 1994 දී නැවත ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසිමෙන් පසුව මේ දක්වා එම අරගලයේදී ඝාතනයට ලක්වූ සිය නායකයාගේ ගේ හෝ ඝාතනය වූ තව හැට දහසක් පමණ වන එම පක්ෂ සාමාජිකයන්, හිතවතුන් හා කිසිසේත්ම මෙම දේශපාලන ගැටුමට සම්බන්ධ නොවූ පුරවැසියන් ගැන සත්‍ය කරුණු විමර්ශනය කරන ලෙස ඉල්ලීමක් කර හෝ ඒ වෙනුවෙන් විකල්ප ක්‍රියාමාර්ගයක් හෝ ගත්තේ නැත.
එහෙත් උතුරේ අරගලයේදී ඝාතනයට ලක්වූවන් සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා ‘සත්‍ය විමර්ශන කොමිසමක්‘ ස්ථාපිත කළ යුතු බවට පසුගිය 17 වන දින ජවිපෙ ඉල්ලා සිටියේය. ජවිපෙ උතුරේ පැවති තිස් අවුරුදු යුද්ධයෙන් විවිධාකාරයෙන් පීඩාවට පත්වූ හා හානි සිදුවූ සැමට තම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමටත් ඒවා පිළිබඳ සත්‍ය සොයා බලා පීඩාවට පත්වූවන්ට සහන ලබා දීමටත් ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ හා ප්‍රතිසන්ධානගත කිරීමේ පනතක් මගින් සත්‍ය විමර්ශන කොමිසමක් පත් කිරීම වෙනුවෙන් එම පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරාපෙක්ෂක නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එහිදී කරුණු දක්වා තිබිණි.
මේ තත්වය හමුවේ චිත්‍රාංගනී විජේවීර මහාත්මියගේ පැමිණිල්ල පාදක කර ගනිමින් 87- 89 අරගලයේදි සිදු වූයේ කුමක්ද යන්න ගැන සත්‍ය කොමිසමක් පිහිටුවීමේ ඉඩක් විවරව පවතීන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙහිදී ආරක්ෂක අංශ වෙතින් ඝාතනයට ලක්වූවන් මෙන්ම කැරලිකරුවන් වෙතින් ඝාතයට ලක්වූ බවට සැක කෙරෙන විජය කුමාරතුංග, දයා පතිරණ, නන්දන මාරසිංහ මෙනම ප්‍රේමකීර්ති ද අල්විස්, තෙවිස් ගුරුගේ වැනි කලාකරුවන්ගේ ඝාතන ගැනද සත්‍යය තොරතුරු හෙලිකර ගැනිමේ අවස්ථාවක් තිබේ. එමෙන්ම එවැනි තත්වයක් යළි ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමර්ග ගැනද එහිදී සාකච්ඡාවට ගැනීමට හා තීන්දු තීරන ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්ද විවර වන බව ද දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.
රෝහණ විජේවීරගේ දරු පවුල මහපාරට !
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාර්තෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ හා දරුවන් පදිංචිව සිටි වැලිසර නාවික හමුදා නිවස්නයෙන් පිටව යන ලෙස නාවික හමුදා ඔවුන්ට ලිඛිතව දන්වා ඇත. ඒ අනුව ඔක්තෝබර් 01 වන දින එම නිවස නාවික හමුදාව වෙත බාරදීම සිදුවිය යුතුව තීබේ. රෝහණ විජෙවීර මහතාව අත් අඩංගුවට ගෙන ඝාතනය කිරීමෙන් පසුව ඒ මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය හා දරුවන් 5 දෙනා ( ඒවන විටත් ඇය ගැබිණියකි) රජය කළ ඉල්ලීම අනුව රජයට බාර වූ අතර ගනේමුල්ලේ යුද හමුදා කඳවුරේ රඳවා සිටියහ. පසුව එවකට (1992) එල්ටීටීඊ සංවිධානයේ ඉලක්කයක්ව තිබු ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ නිවස්නයක දැඩී පීඩාවන් සහිතව වසර කිහිපයක් ගත කිරීමෙන් පසුව 1999 වසරේදී වැලිසර නාවික හමුදා කඳවුරට මාරු කරන ලදී. පසුගිය පෙබරවාරී 26 වන දින නාවික හමුදා පතිවරයා විසින් එම කඳවුරේ නිවස්නයෙන් පිටව යන ලෙස දැනුම් දි තිබේ.
කෙසේ නමුත් විජේවීර මහත්මිය හා ඇගේ දරුවන් වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ තම පවුලට මෙරට ජීවත් වීම සම්බන්ධයෙන් ඇති ගැටලූ කාරිත්වය නිසා විදේශ ගතව ජීවත් වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසය. විදෙශ ඇමති මංගල සමරවීර මහතාට මේ සම්බන්ධයෙ වන ලිඛිත ඉල්ලීමක් 2015. 03. 20 දින සිදු කළ නමුත් ඒ සඳහා තවම ප්‍රතිචාරයක් ලැබී නැත. විජේවීර මහත්මිය හා දරුවන් විසින් මංගල සමරවීර මහතාට යොමු කළ දීර්ග ලිපියේ, ඔවුන් වසර 26 ක් තිස්සේ විඳි දුක් කම්කොටලූ සඳහන් කර ඇති අතර ඉගෙනීම අති දක්ෂ වූ දරුවන් හය දෙනාගේ අධ්‍යපන කටයුතුවල්ට බාධා පැමිණුන ආකාරයද සඳහන් කර තිබේ .
ජවිපෙ රෙදි ගැලවේ
එම ලිපියෙහි තමාගේ සැමියා හා ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ අකටයුතුකම් නිසා බාහිර සමාජය හමුවේ සෑම විටම තමාගේ දරුවන්ට චෝදනා කරමින් ඔවුන් දරුණු ලෙස විවෙචනයට ලක්වූ බවද එම ජවිපෙ විසින් සිදුකළ ක්‍රියාකාරකම්වලට දරුවන් වගකිව යුතු නැති බවද සඳහන් කරයි. එමෙන්ම මේ අකටයුතුකම් වලට සම්බන්ද වූ ජවිපෙ නායකයන්ට කිසිදු චෝදනාවක් නොකර ඇති මුත් තමන්ගේ දරුවන්ට එම චෝදනා වලට මුහුණ දීමට ඇති බවද ඈ පවසයි. තමන්ගේ දරුවන්ට නිදහස ලබාදීම වෙනුවෙන් ජවිපෙ කිසිදු විටෙක මැදිහත් නොවූ බවද ඈ චෝදනා කරන අතර එම දරුවන් පාවිච්චිකර දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කළ බවටද චෝදනා කරයි.