Featured

විදේශ බලවේග සූදානම්…. බිංකුණ්ඩෝ බොල තෝත් නටාපිය මාත් නටන්නම්…ජිනීවා… මරේ… හායි

සහශ්‍ර සංවර්ධන ඉලක්ක ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙරේදා නිකුත්වූ අතර එහි සදහන් වන්නේ දුප්පත්කමේ සීමාවට පහලින් ජීවත්වන ජනතාව අර්ධයකින් අඩු කිරීමේ ඉලක්කය ශ්‍රීලංකාව ගිවිසගත් කාලයට වසර 7කට කලින් සපුරාගත් බවය. මෙය ඉකුත් සන්ධාන ආණ්ඩුව පිළිබදව හොද සහතික‍යකි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙන එන්නේ දශක 6ක් පුරා විසම්මුතිවාදී දේශපාලනය වෙනුවට සම්මුතිකවාදී රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීමට ක්‍රියාකරන බවට හුවා දක්වමිනි. මේ මොහොතේ එය ගෙනවිත් තිබෙන්නේ ඒ සඳහා නොව එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල අවශ්‍යතාවය වෙනුවෙන් ජිනීවා හයිබ්‍රිඩ් යාන්ත්‍රණය ගෙනඒම සඳහා ජනමතය යටපත් කිරීමටය. අධිරාජ්‍යවාදීන්ගේ මෙම ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ සම්භාව්‍ය දැති රෝදයක් වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ග්‍රාම්‍ය දැති රෝදයක් වේ. රනිල් වික්‍රමසිංහට මෙන්ම මෛත්‍රීපාල සිරිසේනටද මෙම උවමනාවන් ජයග්‍රහණය කරගැනීමෙහිලා උවමනාවන් ඇත.

මෙතෙක් අධිරාජ්‍යවාදී රටවලට බාධාවක් වූයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවිමෙන් මතුවන නව දේශපාලන රාමුව තුළ පක්ෂ දෙකෙන්ම බැහැරවන බලවේග පන්තිමය වශයෙන් ධනේෂ්වරයට සතුරු දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ වටා එක්විමේ තර්ජනයක් පැවතීමය. වර්තමානයේ ජවිපෙද ජාතික ආණ්ඩුව හමුවේ කටයුතු කරන්නේ එකගෙයි කෑමේ ප්‍රතිපත්තිය නිසා එම තර්ජනය දැන් නැත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම රික්තය පිරවීමට තවමත් අපහසුය. එහෙත් නව තර්ජනයක් මතුවෙමින් පවතී. ඒ අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී ‍කොටස් එක ජාතික පෙරමුණක් වශයෙන් අත්වැල් බැදගෙන පෙරට ඒමේ හැකියාව වැඩිවීමය. වර්තමාන දේශපාලන වාතාවරණය උඩ විපක්ෂයේ සිටින සියළුම මන්ත්‍රීන් වෙනුවෙන් හඬක් නැති ජනතාවගේ හඩ වී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උ‍රුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිලය. ඔවුහු ගැරහුම් විවේචන හමුවේ නොසැලවිය යුතුය. මක් නිසාද යත් තැලෙන යකඩය මුවහත්වන අතර තලන එකා හෙම්බත්වන බැවිනි.

ජනාධිපති පුත් දහම් සිරිසේන ජිනීවා සමුළුවට සහභාගිවූ ජිනීවා නියෝජිත පිරිස අතර සිටීම ප්‍රශ්ණයක් බවට පත්කළේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගිනි. තම පිරිවර සමඟ ඕනෑම අයෙක් ගෙන යෑමේ අයිතිය විධායක ජනාධිපතිවරයා සතුය. එය යහපාලන සදාචාරයට නොගැලපීම වෙනම අවුලකි. වරෙක ජනාධිපති මාධ්‍ය අංශය මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී හාන්සි පුටුවකට බරදී නව කථාවක් කියවන අයුරින් උගත් පාඩම් කොමිෂන් වාර්තාව කියවනු ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කළේය. රට දිනවූ යුද්ධයෙන් පසු පුරවැසියන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් විද්‍වතුන් විසින් සාක්ෂි ලබාගෙන සකස්කල වාර්තාව සැහැල්ලුවෙන් අවධානයට ගතයුතු වාර්තාවක් බවට එම ඡායාරූපය විදහා පෑවේය. පසු කලෙක උඩුදුවන තුවාලයක් බවට එය පත්වූයේ උගත් පාඩම් කොමිෂන් වාර්තාව සැහැල්ලුවෙන් ආණ්ඩුව සලකන බවට ජනමතයක් ලොව පුරා ඇති කරමිනි.

තාත්තයි පුතයි සම්බන්ධය කිසිවෙකුට අකාමකා දැමිය නොහැක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූවද තාත්තා කෙනෙකුගේ වගකීම අහිමි කල නොහැක. නාමල් රාජපක්ෂ කලද දහම් සිරිසේන කලද එහි වරදක් නැත. ජනාධිපතිකම තවමත් විධායක හෙයින් පියාගේ අධිකාරි බලය පාවිච්චි කරමින් ඔක්කොම කකුළුවෝ යන්නේ ඇදේටය. ජනාධිපති මෛත්‍රීපාලට සිය පුත්‍රයා නිල පරිවාරක දූත පිරිසට එක්කර ගැනීමට අවශ්‍යනම් කල යුත්තේ සුළු දෙයකි. එනම් දහම් සිරිසේන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු කිරීම පමණි. එය වැටුපක් නොගෙන ගරු සේවයක් ලෙසද කල හැකිය. ඇතැම් බයියන් සහ ටොයියන් මෙයට ‍එරෙහිවී කොහොල්ලෑ බබාගේ සටන් පාඨය පෙරට ගැනීමෙන් ජිනීවා සම්මුතියට එරෙහි හඬ වෙනත් දිසාවකට යොමුවීමේ ප්‍රවණතාවයක් දිස්විය.

ජනාධිපති සිරිසේනද තමා සිතන ලෝකය නිර්මාණය කිරීම පිළිබදව සිහින දකින්නෙකි. සාමය, ආරක්ෂාව, මානව හිමිකම් සුරකීමේ වැඩපිළිවෙලක් සුරකීමට රජය කැපවී සිටින බව ඔහු පවසන්නේය. ඉදිරි වසර 5 සදහා රජයේ සංවර්ධන දැක්ම වන්නේ බහුවිවිධත්වය, සංහිදියාව සහ තිරසාර සංවර්ධනය බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එවැනි නිර්මාණාත්මක මිනිසුන් නොමැති සමාජයක් පැවතිය නොහැකි බව සත්‍යයක් වූවද සැබෑ ලෝකය විනාශකර එය ගොඩනැගීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සදහා රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුය. අනුන් හදාදෙන පාරක යන විට ඊළගට හමුවන්නේ වංගුවක්ද පල්ලමක්ද යනු කිසිවෙකු නොදනී. ඒත් තමන්ම පාර කපාගෙන යන විටදී ඕනෑම තැනකින් පාර හදා ගැනීම පහසුය. එසේ නොවුනහොත් සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මුහුදේ වරාය නගර හදන විට සභාග ආණ්ඩුවට ආණ්ඩුවට රේක්කයෙන් මුහුදු වෙරළේ කුණු එකතු කිරීමය.

ජිනීවා යෝජනා සිංහලට පරිවර්තනය කර ඇත්තේද විකෘති කරමිනි. විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පළකර තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතෙහි සිංහල පරිවර්තනයේ ලොකු වැරදි දෙකක් තිබිණි. මෙම වැරදි දෙකම ඇත්තේ කෙටුම්පත් යෝජනාවේ ඉතාම වැදගත් ජේදයක් වන අන්තර් ජාතික විනිසුරන් ශ්‍රී ලංකාවේ වගවීමේ යාන්ත්‍රණයට සම්බන්ද කර ගැනීම පිලිබඳ ජේදයේ ය. මෙම වැරදි පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් සේ හුවා දැක්වීම පටන් ගනු ලැබීය. වෙස් මුහුණු බැදන් කුමන නාඩගම් නැටුවද ජනතාව රැවටීම ලෙහෙසි පහසු නැත.

එදා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1978දී නව ව්‍යවස්ථාවක් සෑදීම, 1982 ලාම්පු කලගෙඩි ජනමත විචාරණ සෙල්ලම පැවැත්වීම, 1987 ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් පැටවීම වැනි දෑ අවසානයේ පරා වලල්ලක් බවට පත්විය. බලහත්කාරයෙන් කිසිදු යෝජනාවක් ජනතාව පිට පැටවුවහොත් එහි ප්‍රතිවිපාක කෙදිනක හෝ මතුවන බව ඉතිහාසය රටට කියාදෙන පාඩමයි.

ලෝක මතයට වඩා රටක් ගරු කල යුත්තේ තම රටේ ජනතාවගේ මතයටය. ඊජිප්තුවේ කයිරෝ නුවර විශ්ව විද්‍යාලය සිය කාන්තා අධ්‍යයන මණ්ඩල සාමාජිකාවන් ඔවුන්ගේ මුහුණ ආවරණය කරන නිකාබ් පැළදීම ඉකුත්දා තහනම් කළේය. නිකාබ් යනු මුස්ලීම් කාන්තාවන් සිය දෙඇස පමණක් ඉතිරි කරමින් සිය මුහුණ සහ හිස සහමුලින්ම වැසෙන පරිදි අදින ශීර්ෂාවරනයයි. බහුතරයක් හින්දු භක්තිකයින් සිටින ඉන්දියාවේ ප්‍රාන්ත බොහෝමයකම ගව ඝාතනය රජයේ නීතියෙන්ම තහනම්ය. ගවයා දේවත්වයේලා හින්දු ජාතිකයින් සලකන බැවින් ගව ඝාතනය, වෙළදාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රිති දැඩි කිරීමටද ඉන්දිය ආණ්ඩුව කටයුතු කළේය. මෙවැනි දේවලින් අප උකහා ගත යුතු දෑ බොහෝය.

ජිනීවා ‍යෝජනාවලින් අවසානයේ සිදුවන්නේ 30 වසරක යුද්ධය පරාජය කර රට රැකගත් රණ විරුවන්ගේ ආත්මය බිලිදීම පමණි. රට සහ මිනිසුන් රැකගත් රණවිරුවන් සුරකීමට බැරිනම් එය ජාතියක් වශයෙන් කරන ලොකුම පාපය වේ. සාක්ෂි රහිත සාවද්‍ය චෝදනා මගින් මේ සිදුකරන්නේ අවසානයේදී ශ්‍රී ලංකාව දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට අනුව රට කලාප 5කට බෙදීමටය. කලාප දෙකකට වෙනම පාලනයක් එවිට ලැබෙනු ඇත. ඉඩම් සහ පොලිස් බලතල සමගින් එම කලාප ශක්තිමත් වී අවසානයේදී අසාධාරණයට ලක්වූවායැයි කියමින් වෙනම රටක් වුවද ලබාගැනීමට හැකියාවක් ඇත. අන්තර් ජාතික නීතිය යට‍තේ එය සාධාරණීයකරණය කිරීමට යෝජනාවක් සම්මතවූවහොත් කිසිවෙකුට වැලකිය හැකි නොවේ. මේ පාර කපන්නේ එයටද? ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බවට කියමනකි.

ජාතික ආණ්ඩුවකට ශ්‍රිලනිප බලහත්කාරයෙන් ‍නිල වශයෙන් එකතු කර ගැනීමෙන් ඇමති තනතුරු ගත් සන්ධාන මන්ත්‍රීවරුන්ට සතුටු විය හැක්කේ එමගින් තම ආධාරකරුවන්ට සැලකිය හැකි බැවිනි. මිනිසුන් ජීවමාන ප්‍රපංචයකට ආදරය කරන විට ඉන්ද පෙරළා ප්‍රතිලාභ බලාපොරොත්තු වේ. වර්තමාන සමාජක්‍රමය තුළ දක්ෂ දේශපාලඥයෙකු යනු කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රතිපත්ති පාවා දෙන, වෙනස් කරන පුද්ගලයන්ය. මේ ක්‍රමය ඇතුලේ බොහෝවිට සාර්ථක විය හැක්කේ එබදු පුද්ගලයින්ටය. ඔවුන‍්ගේ පැවැත්මේ ප්‍රධාන කොන්දේසිය වන්නේ හෘද සාක්ෂිය වලලා දැමීමය.

යහපාලන පොලිසියද අයාලේ යන සෙයක් පෙනේ. කුඩු චෝදනා තිබෙන ඇමතිවරුන් සිටිනාවා කීවද මේදක්වා චෝදනා ගොනුකොට නැත. තාජුඩීන්ගේ සිරුර යළි ගොඩ ගත්තද සැකකරුවෝ තවමත් නැත. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගත් සැකකරුවෝ රඳවා තබා ප්‍රශ්ණ කරනවා කීවද පරික්ෂණ තවමත් ඉබි ගමනේය. වෙලේ සුදාගේ දුරකථනයේ තිබූ නම් ලැයිස්තුව වාෂ්ප වී ගොසිනි. සේයා දැරිය දූෂණය කල බවට සැක කරමින් වයස 17 පාසැල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන ජාන පරික්ෂණයකින් නිදොස් කිරීමකින් පසු නිදහස් කලේ එම සිසුවාගේ ජීවිතයම විනාශකර දමමින් සහ එම දෙමාපියන්ගේද ආත්ම ගෞරවයද විනාශ කිරීමෙනි. පොලිස් ප්‍රකාශකගේ ඇති තතු හා ප්‍රබන්ධ අතරත් සත්‍ය හා අසත්‍ය අතරත් වෙනසක් නැතැයි සාමාන්‍ය ජනතාවට මෙසේ ගියොත් ඉදිරියේදී පසක් වනු ඇත.

ඉකුත් ආණ්ඩුව කාලේ සුදුවෑන්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, දාමරික ක්‍රියා රැසක් තිබූ බවට හඬ නැගිණි. එවැනි චෝදනාවලට ලක්වූ අයගෙන් බහුතරයම වාගේ දැන් සිටින්නේ සම්මුතිවාදී ආණ්ඩුවේය. එසේත් නැත්නම් රජයේ සාක්කිකරුවන් ලෙස එක්වී හමාරය. ඉකුත් මාස 9 තුළදී සමාජ සාරධර්මයන් උඩු යටිකුරු වී තිබෙනු දක්නට ලැබේ. ‍එයට හේතුවී ඇත්තේ මිනිස් සිත් සතන් තුළ අකුසල් ජනිත කරවන වර්තමාන සමාජ වටපිටාවය. එක් පසකින් අවශ්‍යතා වර්ධනය කරවන වෙ‍ළඳපොල ආර්ථික ක්‍රමය වන අතර අනෙක් පසින් මිනිස් සිත්තුළ අකුසල් සිත් ජනිත කරවන ක්‍රියාපිලිවෙත්ය. සන්ඩේ සිල්ය. මන්ඩේ කිල්ය.

යාපනයේ විද්‍යා සමූහ දූෂණයට ලක්කලේය. සේයා දැරිය දූෂණය කර මරා දමනු ලැබීය. වැල්ලව දැරියක් පැහැර ගත්තේය. අතුරුගිරියේ දරුවෙක් කපා කොටා මරා දමාය. කඩුවෙල උසාවිය තුළදීම සැකකරුවෙකුට වෙඩි තබනු ලබයි. කොටකෙතන තවත් ස්ත්‍රී ඝාතනයකි. සිව් හැවිරිදි දැරියක් පනපිටින් ලිදට දමා ත්‍රිත්ව ඝාතනයක් සිදුවේ. සැමියා බිරිඳ සහ දරුවා මුහුදට තල්ලු කරයි. කහටගස්දිගිලියේදී පොලිසිය ආබාධිතයෙකුට බිම පෙරළා පහර දෙයි. දියවන්නාව ඇතුලු ස්ථාන කිහිපයකින් නාදුනන මල සිරුරු හමුවේ. පාතාල කල්ලි එකිනෙකා අතර යුද්ධයකි. මාර්ග නීති ‍නොපිලිපැදීම නිසා අනතුරු රැසකි.

“අයි හැව් අ ගන්. අයි විල් ෂූට් යූ. ගිව් ‍ඕල්ද මනී” යැයි චිට් එකක් අයකැමිට කියමින් 24 හැවිරිදි ‍වෛද්‍ය සිසුවෙකු බැංකුවකින් සල්ලි කොල්ලකති. තනි මිනිසෙකු අගනුවර බැංකුවකට කඩා වැදී ලක්ෂ 50ක් පැහැරගෙන යති. මේ පිළිබදව කිසිවෙකු නෝ කථාය. පෙම්වතියට තෑග්ගක් ගන්නට රුපියල් 1500ක් නොදීම නිසා සිය මව ඝාතනය කල පුතෙකු සිටින රටක කිඹුලෙකු සමඟ පොරබැද සිය මවගේ ජීවිතය බේරාගත් වීර පුතුන්ද නොසිටිනවා ‍නොවේ.

සන්ධානයට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 47කට පමණ ආණ්ඩු පක්‍ෂයේ වරප්‍රසාදය ද විපක්‍ෂයේ වරප්‍රසාදයද යන දෙකම අහිමිකොට තිබීම මහා ඛේදවාචකයෙකි. ඔවුන්ට තමා සිටින්නේ කොතනැද, නියෝජනය කරන්නේ කුමන දේද යන දේ ගැන පවා ව්‍යාකූලතාවක් ඇතිකොට තිබේ. තම දේශපාලන නියෝජිතයින් හරහා තම ගැටළු පාර්ලීමේන්තුවේ දී කීමට ඇති ජනතා අයිතිය මර්දනය කොට තිබේ. මෙය බරපතල තත්වයකි. මූලික මිනිස් අයිතිවාසිම් පමණක් ‍නොව, මානව නිදහසද දැඩිව තලාපෙළා දමන තත්වයකි. එය ජයවර්ධන ආණ්ඩුව මුල්කාලයේ එල්ලකල පීඩනය හා සමානය. එය නුදුරේම පුපුරා ගියහොත් පුදුමයට කරුණක් නොවේ. සෙස්ස පස්සටය.

දැන් ඉතිරිව ඇත්තේ සුදු නෙළුම රැගෙන නැවතත් තවලම දැක්කීම පමණි. එය කලින් ආචාර්ය වික්‍රමබාහු කලාක් මෙන් අතමිට සරුවන සාම එන්.ජී.ඕ. ව්‍යාපෘතියකි. සාමයේ නාමයෙන් මේ මොහොතේ කරන ඕනෑම ව්‍යාපාරයකට අතදිගහැර සපෝට් කරන්‍නට විදේශ බලවේග සූදානම්ය. බිංකුණ්ඩෝ බොල තෝත් නටාපිය මාත් නටන්නම් කියා දෙපිරිසටම එක්ව කා බී ගී ගයමින් සතුටු විය හැක.

ඇතැමුන් පවසන පරිදි ආණ්ඩුව හයිබ්‍රිඩ්ය. ජනතාව හයිජැක්ය. ජිනීවා… මරේ… හායි නොවේ. එය මර උගුලකි. ජනතාව සිරුවෙන්ය. ඒ හයිබ්‍රිඩ් යාන්ත්‍රණය ට්‍රෝජන් අශ්‍වයෙක් බැවිනි. සැබෑ ජනහඩ ඇසෙන්නේ අද නොව හෙටය.

ධර්මන් වික‍්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com)

Top