Breaking
22 Feb 2025, Sat

වියත්මගේ වියතේ වැඩ

Published on: May 14, 2018- වියත්මගේ වාර්ෂික සම්මේලනය ෂ්‍රැංගිලා හෝටලයේ පවත්වලා. එය එකී හෝටලයේ පැවැත්වීමට විශේෂ හේතුවක් තියෙන්න ඇති. එයට 2000කට පමණ පිරිසකට ආරාධනය කර තිබූ බවක් කියැවෙනවා. ඔවුන් අතර විද්වතුන් වෘත්තීයකයන් සිටි බව ද කියැවෙනවා. මෙයට විශාල මුදලක් යන්න ඇති. නැත්නම් හෝටලයෙන් වට්ටමක් ලැබෙන්න ඇති. ඒ කුමක් ද කියා අපට හරියට ම කියන්න බැහැ. එහෙත් ඒ කුමක් වුවත් අපට ඇත්ත දැනගන්න පුළුවන් කියලා හිතන්නෙ නැහැ.

ගෝඨාභය 2019 දී ජනාධිපති ධුරයට ඉදිරිපත් කරන්න පිරිසක් සූදානම් වන බව පැහැදිලියි. විශේෂයෙන් ම නාගරික ජාතිකවාදීන් ඔහුට කැමතියි. මගෙත් අකමැත්තක් නැහැ. එහෙත් ඔහු වටා සිටින පිරිස් ගැන නම් මට පැහැදීමක් නැහැ. අද ගෝඨාභය වටා මෙන් ම බැසිල් වටා ද සිටින්නෙ ස්මාට් ජාතිකවාදීන්. විමල් හා ගම්මන්පිල ස්මාට් ජාතිකවාදීන් කියා මා හිතන්නේ නැහැ. භික්‍ෂූන් වහන්සේ ද ස්මාට් ජාතිකවාදීන් නොවෙයි.

එහෙත් මේ පාර්ශ්ව දෙක ම මෙහෙයවන, එමෙන් ම මතවාදී නායකත්වය දෙන පිරිස් ස්මාට් ජාතිකවාදීන් බව පැහැදිලියි. ඔවුන් එකිනෙකා සමග එකඟ වන්නේ නැති වුවත් ඔවුන් දෙපිරිස ම අප ගැන සිතන්නේ පුස් කෑ මතවාදීන් පටු ජාතිකවාදීන්, ෆැසිස්ට්වාදීන්, මිථ්‍යාමතධාරීන් , ගේම්කාරයන්, ඩීල්කාරයන්, පිස්සන්, මෝඩයන් ආදී වශයෙන්. ඇතැමුන් අපට ගෞරව කරන බවක් කියනවා. එහෙත් එය ව්‍යාජයක් බව මා අත්දැකීමෙන් දන්නවා. ඔවුන් අප කියන කිසි දෙයක් පිළිගන්නේ නැහැ.

ගෝඨාභයට උපදෙස් දෙන අය පොදුවේ ගත් කල ඉංගිරිසි කතා කරන අය. යම් ජාත්‍යන්තර මතවාද ඔවුන්ට බලපානවා. බැසිල්ටත් යම් ආකාරයකට ජාත්‍යන්තර මත බලපානවා. කවුරු ජනාධිපති පදවියට තරග කළත් (එය අහෝසි නොකළොත්, පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරණ ක්‍රමයක් යොදා නොගත්තෙත්) ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණවලටත් විශාල මුදලක් වැය වෙනවා.

මෙය අද තියෙන මූලික ප්‍රශ්නයක්. අප වැන්නන්ගේ මතය කුමක් වුවත් අවසානයේ දී ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් යොදවන්නන්ගේ මතවාද. ඒ මතවාද කුමක් වුවත් මහින්ද යම් ප්‍රමාණයකට ජනතාවට ඇහුම්කන් දුන්නා. ඔහුගේ ජනප්‍රියවාදී මුට්ටි දේශපාලනය නිසා සාමාන්‍ය ජනයාගේ මතය යම්දුරකට ක්‍රියාත්මක වුණා. මෛත්‍රිපාල දුර්වලයකු වුවත් ඔහුත් ජනමතයට ඔහුට පුළුවන් ප්‍රමාණයට කන්දෙනවා. එහෙත් රනිල් තවමත් ඉන්නේ මෛත්‍රිපාලට උඩින්. රනිල් ජනමතයට කන්දෙන්නෙක් නො වෙයි. ඔහු අඩුම තරමෙන් තම පක්‍ෂ මතයටවත් කන් දෙන්නේ නැහැ.

වියත්මගේ රැස්වීමට රොහාන් ගුණරත්න කියන අයකුට ආරාධනය කර තිබුණා. ඔහු සිංගප්පූරුවෙ ආයතනයක ඊනියා යුද්ධ විශේෂඥයකු ලෙස ක්‍රියා කරනවා. ඔහු කොටි පැරදවීමට නොහැකි බව කී පුද්ගලයෙක්. ඔහු නිතර කියා සිටියේ ඊනියා සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගැනීමට. ඔහු කළ ප්‍රකාශ සහිත පුවත්පත් වාර්තා ඇතැමුන් ළඟ ඇති. ඒ ප්‍රකාශ ඉදිරිපත් කරනවා නම් හොඳයි. භික්‍ෂූන් වහන්සේ මේ ගැන දන්නවා. ඔහුගේ කියමන් ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රතික්‍ෂෙප වී තිබෙනවා.

මා හමුදා මෙහෙයුම්වලින් (එය යුද්ධයක් නො වෙයි. මෙහි රටවල් දෙකක් අතර හෝ සිවිල් හෝ යුද්ධයක් තිබුණේ නැහැ) කොටි පරාජය කළ යුතුය කළ හැකිය කියන්නේ අසූගණන්වල සිට. දෙමළ ජාතිවාදයේ ආරම්භය ගැන මා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය ලිව්වේ 1992 දී. ලක්මිණ පුවත්පත මගින් කොටි පැරදවිය යුතු ය යන අදහස අනූවේ දශකයේ මුල . එයට එකල විරුද්ධ වූවන් කවුද කියා මා කියන්න යන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් මගේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු වී නැහැ. මාක්ස්වාදය සම්බන්ධයෙන් නම් මගේ අදහස්වල වෙනසක් සිදු වූවා. ඒ සමග මා එය ප්‍රසිද්ධියේ කිව්වා පමණක් නොව මාක්ස්වාදයේ දර්ද්‍රතාව ගැනත් ලිව්වා. මිනිසුන්ට අදහස් වෙනස් කරගන්න වෙනවා. පෞද්ගලික ලාභාපේක්‍ෂා නැතිව වෙනත් හේතු නිසා (තමන් වෙනත් සුසමාදර්ශයකට යෑම වැනි) අදහස් වෙනස් වන්නේ නම් ඒ බව සාධක සහිත ව ප්‍රසිද්ධියේ කියන්නේ නම් එහි වරදක් නැහැ.

රොහාන් ගුණරත්න කොටි පැරදවීම ගැන තම අදහස් වෙනස් කර තිබෙනවා ද? එසේ නම් ඒ කවදා ද? ඔහු තම අදහස් වෙනස් කර ගැනීමට හේතු දක්වා තිබේ ද? අපට ඒ දැන ගැනීමට අවශ්‍ය යි. රොහාන් ගුණරත්න ෂ්‍රැංගිලා රැස්වීමට පැමිණියේ ද ඔහු එහි දී කතාවක් කෙළේ ද ආදිය මා දන්නේ නැහැ. එහෙත් ඔහු හා ගෝඨාභය අතරය යම් දැනහැඳුනුම්කමක් ඇති බව පේනවා. පසුගිය දා ගෝඨාභය සිංගප්පූරුවට ගියේ රොහාන් ගුණරත්නගේ ආරාධනයෙන් ද?

වියත්මග වියත්වැඩ නොකරන තරමට හොඳයි. පළමු වියත් යන්න විද්වත් යන්න සඳහා. දෙවැනි වියත් යන්න වියතක පමණ (මැනුම් ඒකකය) යන්න සඳහා. මේ ලිපියට ජාතිකවාදීන් විරුද්ධ වේවි. එහෙත් අපට දැනට ඉන්න නායකයන් ගැන අප විවේචනාත්මක විය යුතුයි. ඒ රටේත් ජාතියේත් නාමයෙන්.

Loading…

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.