පුංචි ඡන්දයේ මුල් වටයේ ප්‍රතිඵල නිකුත් වූයේ පෙබරවාරි 11 වැනිදාය. මැතිවරණ කොමිෂන් සභාවේ නිල ප්‍රතිඵල නිකුත්වීම තාක්ෂණික දෝෂ නිසා ප්‍රමාද වුවද, එයින් කියවුණේ මහජනයා තමන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරමින් ලබා දුන් ප්‍රතිඵල වූයේය. දැන් එහි දෙවැනි ප්‍රතිඵල නිකුත් කරමින් තිබේ. ඒ පුංචි ආණ්ඩු පිහිටුවීම නැතිනම්, ගමේ බලය පිහිටුවීමයි. මහජනයාගේ පරමාධිපත්‍ය බලය මෙහිදී පා දූවිල්ලක් තරම් වටින්නේ නැත. ඊට පයින් ගසා ඉතාම පිළිකුල්සහගත ලෙස ඩීල් රජ කරමින් තිබීම මේ දෙවැනි ප්‍රතිඵලවලින් කියවෙමින් තිබේ.
මේ ක්‍රියාවලිය ඇරඹී තිබෙන්නේ අගමැති රනිල්ට එරෙහිව විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට භාර දී එය විවාද කර ඡන්දය විමසීමට දින නියම කර තිබියදීය. මහින්දගේ අනාගතය ගැන කේන්දරය බැලීම සුමනදාසට භාර දී තිබුණත් (දැන් එය ගංගා මෑණියන්ටත්, ඉන්දියාවේ ශාස්තරකරුවන්ටත් භාර දී තිබුණත්), රනිල්ගේ කේන්දරය ගැන අනාවැකි කීමට මහින්දට හැකි වී තිබේ. මහින්ද සීමිත මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබුණේ විශ්වාස භංග යෝජනාව විවාදයට පෙර රනිල් අගමැති ධුරයෙන් ඉවත් වනු ඇති බවයි. පුංචි ආණ්ඩු පිහිටු වීමේ ප්‍රථීඵල දැන් නිකුත් කරමින් තිඛෙන්නේ මෙවැනි පසුබිමකදීය.
පුංචි ආණ්ඩුවල බලය පිහිටුවන පිළිකුල් ආකාරය ඡන්දදායකයන්ට නම්, දරා ගැනීමට නොහැකි බව පැහැදිලි වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව නගර සභාවේ ඡන්දදායකයන්ගෙන් සියයට 40.34ක් වූ ඡන්දදායකයන් 32,045 දෙනෙක් තම මතය එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශ කර සභික ධුර 19ක් ලබා දී තිබේ. නමුත්, එහි සභාපති ධුරයට පත් වූයේ ඡන්ද ප්‍රතිශතය සියයට 32.90ක් වූ ඡන්ද 26,129ක් ලබා සභික ධුර 16ක් හිමි කර ගන්නා ලද ජී. ඇල්. පීරිස්ගේ පක්ෂයේ දයාන් ලන්සාය. දයාන් ලන්සා යනු මහින්දගේ කුප්‍රකට ජාවාරම්කරුවකු වන නිමල් ලන්සාගේ සහෝදරයායි.
ගාල්ල මහා නගර සභාවේ ඡන්දදායකයන් සියයට 40.17ක් වූ ඡන්ද 22,270ක් ලබාගෙන සභික ධුර 14ක් ලබාදී තිබුණේ එක්සත් ජාතික පක්ෂයටයි. ජී. ඇල්. පීරිස්ගේ පක්ෂයට සියයට 36.25ක් වූ ඡන්ද 20,096ක් ලබා දී සභික ධුර 13ක් හිමි කර දී තිබිණ. නමුත්, නගරාධිපති ලෙස පත් කළේ ජී. ඇල්. පීරිස්ගේ පක්ෂයේ අයෙකි.
අනෙක් පැත්තෙන් මහින්දගේ බලකොටුවක් සේ සැලකෙන තංගල්ල නගර සභාවේ ඡන්ද 2,248ක් සහ සභික ධුර 07ක් ජී. ඇල්. පීරිස්ගේ පක්ෂයට ලබා දී, ඡන්ද 2,136ක් එජාපයට දී එයට ද සභික ධුර 07ක් ලබා දී තිබිණි. මෙහි සභාපති ලෙස තෝරාගෙන ඇත්තේ, එජාපයේ අයෙකි. මේ ආදී වශයෙන් රට පුරා තැනින් තැන ඩීල් දේශපාලනයේ ඡන්ද ප්‍රතිඵල වාර්තා වෙමින් පවතී. ඒ සියල්ල පිළිබඳව කතා කිරීමට අවශ්‍ය නොවේ. සිදු කෙරෙමින් තිබෙන්නේ කුමක් දැයි හඳුනා ගැනීමට නිදර්ශන කීපය ප්‍රමාණවත් වේ.
තවත් පැතිවලින් කියවෙන්නේ විශ්වාස භංගය සම්බන්ධ ගණන් බැලීම්ය. මහින්ද රාජපක්ෂ පෙර කී ලෙස අනාවැකි පළ කරන අතර, පාර්ලිමේන්තුවේ ධනපති පක්ෂ තුළ ඛෙදීම් සහ නව එකඟතා ගොඩනැගෙමින් තිබේ. විශ්වාස භංගයට ඇතුළත් කර තිබෙන කරුණු 14 පිළිබඳව බොහෝ දෙනෙකුට මේ සටහන ලියන මොහොත වන විටත් අවබෝධයක් තිබේ. එයින් 11ක් සෘජුවම බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙනි. අනෙක් තුන ඊට අදාළ වක්‍ර සම්බන්ධය පිළිබඳවයි. මේ සියල්ල තිබිය දී මහින්ද රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා සහ බැසිල් සිටින්නේ මීට විරුද්ධව එහෙත්, බහුතරය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ස්ථාවරයක වේ. විශ්වාස භංගයට අත්සන් තබා ඇත්තේද මන්ත්‍රීවරුන් 55ක් වන අතර, මහින්ද ඊට අත්සන් නොකිරීම විශේෂිතය. මහින්ද අත්සන් නොකිරීම නිසාම මෙය එන්නේ අසාධ්‍ය අංශභාග රෝගියකු ලෙසිනි. ඒ කෙසේ වෙතත්, ජවිපෙ කොන්දේසි විරහිතව ඊට සහයෝගය දෙන බව කල් වේලා ඇතිවම ප්‍රකාශ කර අවසන්ය.
මහින්ද පිලේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් හෙළි වන්නේ විශ්වාස භංගයට ප්‍රධාන වශයෙන්ම විරුද්ධ වී ඇත්තේ බැසිල් සහ මහින්ද බවයි. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ, මෙයින් රනිල් පරාජය වුවහොත්, එජාපයට අලූත් නායකයෙකු පත් වන බවට තිඛෙන තර්කය වේ. රනිල් ජය ගත හොත්, පළාත් පාලන ඡන්දයේදී ලැබුණු පරාජය මගහරවා ගත හැකි බවය. මේ දෙකෙන් කුමක් වුවද, එජාපය දිනන බවට රාජපක්ෂවරුන් විසින් තර්ක කර ඇත. මතුපිටින් බැලු විට එය සරල සත්‍යයකි. එහෙත්, ඇත්තටම එය එසේ නොවේ. මහින්දට ඇත්තවශයෙන්ම අවශ්‍ය වී ඇත්තේ, රනිල් අගමැති ධුරයේ තබා ගැනීමටය. රාජපක්ෂවරුන්ගේ් ඉර හඳ නුසුලන සියලු අපරාධ සඟවා ගත හැක්කේ එවිටය. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ බලය පිළිබඳ ප්‍රධාන ඉලක්කය වන ජනාධිපතිවරණයෙන් ‘මාපිලෙකුට’ වුවද රාජපක්ෂ කඳවුරෙන් ජය ගත හැක්කේ එවිටය.
මාපිලාගේ කතාව කියා ඇත්තේ, ගෝඨාය. 26 වැනි දින ඇවන්ට් ගාඩ් කොල්ලය පිළිබඳව තිබෙන අධිකරණ ක්‍රියාවලියට අතුරු තහනම් නියෝගය ගෙන එළියට එන විට ගෝඨාභය කියා තිබුණේ, මහරගම බයිසිකලයෙන් දිනුවා සේ, තවත් තැනක නාගයා ලකුණෙන් දිනුවා සේ රාජපක්ෂවරුන්ගේ ‘මාපිලෙකු’ හෝ දමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවයි. මෙයද මතකයේ තබාගෙන විශ්වාස භංගයේ ප්‍රතිවිපාක පිළිබඳව රාජපක්ෂවරුන්ගේ ගණන් බැලීම් කුමක් වුවද, කරන්නේ මහජනයාට කොකා පෙන්වීමයි. පුංචි ඡන්දය අවසන් වූ වහාම එජාපයේ පාලිත රංගේ බණ්ඩාර සෘජුවම ප්‍රකාශ කළේ රනිල්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බවයි. වසන්ත සේනානායක සඳහන් කළේ හොඳින් හෝ නරකින් රනිල්ව ඉවත් කරන බවයි. එවැනි වූ එජාපයේ රනිල් විරෝධය මහින්දගේ කණ්ඩායමට ගන්නට ඉඩහැරියේ ඇත්තවශයෙන්ම රනිල් විරෝධය වළක්වා ඔහුගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට නොවේද?
දැන් තත්ත්වය කුමක්ද? බුලත් කොළයේ මන්ත්‍රීවරුන් 94 දෙනාගෙන් විශ්වාස භංගයට අත්සන් කර ඇත්තේ, මන්ත්‍රීන් 55ක් පමණි. මහින්ද පිලේ 51ක් සහ මෛත්‍රී පිලේ සිව් දෙනෙක් ඊට අත්සන් කර ඇත. එයට පක්ෂව තව කී දෙනෙක් ඡන්දය දේ ද යන්න අවිනිශ්චිතය. මේ වන විට හෙළි වන තොරතුරු අනුව නම්, බුලත් කොළයෙන් තේරී පත් වී සිටින පිරිසක් මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ. නමුත්, පාලිත රංගේ බණ්ඩාර සංඛ්‍යා සහිතව නිශ්චිතව ප්‍රකාශ කර සිටින්නේ එජාපයේ මන්ත්‍රීන් 27ක් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බවයි. මේ සංඛ්‍යාලේඛන හරහා උත්සාහ කරන්නේ දේශපාලන සූදුවක් කිරීම මිස ඇත්තක් නම් නොවේ. ක්‍රිකට් තරගයක ලකුණු පුවරුව කියන්නා සේ උඩට ඉස්සීමෙන් මහජනතාවගේ ප්‍රශ්න වෙනතක හැරවීමයි.
නමුත්, මේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් මහින්ද පිලේ ඇත්ත වුවමනාවක් තිබෙන පිරිසක් සිටිති. ඒ වෙන කවුරුවත් නොව මහින්දලාට ඉහළින් ඩීල් දමා ගැනීමට හැකියාවක් නැති රාජපක්ෂ සනුහරේම වැරදි තමන් පිටින් යාමට පාර කැපීමේ අනතුර එල්ල වී සිටින්නන් වේ. මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ආදී පිරිසකි. කෙසේ වෙතත්, රංගේ බණ්ඩාර කියන විදියට එජාපයේ 27ක් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ නම්, ඊට ගැලපෙන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් 16 දෙනාගේ සහයෝගය රනිල්ට පක්ෂව ලැඛෙන බව මෙම සටහන තබන මොහොත වන විට ප්‍රකාශ කර ඇත. මුස්ලිම් කොන්ග්‍රසයද යෝජනාවට විරුද්ධ බව කියවේ. මේ අතර වතුකරයේ ජනතාව වෙනුවෙන් මනෝ ගනේෂන්, පී. දිගම්බරන් සහ රාධා ක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් ඇතුළු මුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ සන්ධානයක් ‘ප්‍රගතිශීලී දෙමළ සන්ධානය’ යනුවෙන් එය නම් කර තිබේ. එය දෙකඩ වී මනෝ ගනේෂන් රනිල්ට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙන අතර. මන්ත්‍රීන් දෙදෙනෙක් එයට විරුද්ධ බව ප්‍රකාශ වී තිබේ.
මේ සියල්ල දැනට තිබෙන තත්ත්වයන් වේ. අවසන් මොහොතේ මේ ඡන්ද කොයි අතේ යාවි දැයි කිව නොහැකිය. සියල්ල අතර දෙමළ ජාතික සන්ධානය මේ වන විට ගෙන තිබෙන ස්ථාවරය දැඩිව ප්‍රශ්න කළ යුතුව තිබේ. විපක්ෂ නායකත්වය දරමින්, දූෂණ, චෝදනා එල්ල වී සිටින අගමැති රැකීම සම්බන්ධවයි. මෙයින් පැහැදිලි වන්නේ රටේ සුබසිද්ධියට වඩා උතුරේ දේශපාලන බලය ගැන පමණක් ඔවුන් කල්පනා කරන බවයි. ඕනෑම හොරෙක්, අපරාධකාරයෙක් ආරකෂා කර හෝ තමන්ගේ බලය රැක ගැනීමට කල්පනා කරන බවයි. ගෝඨාගේ මාපිලා කතාව එළියට ඇදෙන්නේ මේ සුවිශේෂී පසුබිම තුළය. රනිල්ට ටී.එන්.ඒ. සහයෝගය දීම යනු රාජපක්ෂලාගේ මාපිලුන්ට රජ මඟුල් වීමකි. මේ කවුරුත් කල්පනා කරන්නේ රට හමුවේ බුර බුරා නැගෙමින් තිඛෙන මහා පිපිරීම තුළින් සිදු විය හැකි අනතුර අවම කර ගැනීම ගැන නොවේ. ඒවා නිදහසේ වැඩෙන්නට හැර ඊළඟ ජනාධිපතිවරණයට මාපිලුන් පවා ඉදිරිපත් කිරීම ගැනය. මේ නිසාම ජවිපෙ විධායක ජනාධිපති ධුරයට විරුද්ධ සටන් පාඨය යළි කරළියට ගෙන එන්නේ රනිල්, මෛත්‍රී, මහින්ද කාගේත් ඉලක්ක බරපතළ අවුලකට ලක් කරමිනි. ඇති වෙමින් තිබෙන බිහිසුණු තත්ත්වය පිළිබඳවද, ජාතිවාදයට එරෙහිවද ජනතාව දැනුම්වත් කරමිනි. විශ්වාස භංගයේදී ඩීල් රජ වීම තුළ ජනතාවට තිබෙන එකම සහන් එළිය මෙය වී තිබේ.
ඉදිරියේදි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබේ. එහිදී තව තවත් ඉහළට ඩීල් ක්‍රියාත්මක කරනු නො අනුමානය. දැනටම ප්‍රකාශ කෙරී ඇත්තේ, ඒ සඳහා මෛත්‍රී පිල සහ මහින්ද පිල එක්ව තරග කරන බවයි. එය එසේ නොවුවද, කිසිදු ප්‍රශ්නයක් නොවේ. මන්ද, අනෙක් පැත්තෙන් රනිල් – මහින්ද ඩීල් ක්‍රියාත්මක වන නිසාය. රනිල් – මහින්ද ඩීල් අද ඊයේ සිට නොව 2015 ජනවාරි 09 වැනිදායින් පසුව ඉතා හොඳින් ජනතාවට දැක ගත හැකි විය. නමුත්, ඔවුන් ඒ කෙරෙහි සංවේදී නොවීය. මෙය තහවුරු කෙරෙන්නේ 2014 ජනාධිපතිවරණය ප්‍රකාශ කරන විට මහින්දට මන්ත්‍රීවරුන් 162 දෙනෙක් සිටියහ. මෛත්‍රී ඇතුළු 20දෙනෙකු පමණක් අහිමි විය. තවත් 142 දෙනෙක් මහින්දට ඉතිරි වී සිටියහ. බැඳුම්කර මහා කොල්ලය සිදු කරන්නේ 2015 පෙබරවාරි 27 වැනිදා ය. ඇත්තටම රනිල්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනෙන්නේ නම්, එදා මන්ත්‍රීන් 113ක් වූ බහුතරයෙන් ඉතාම පහසුවෙන් සම්මත කර ගත හැකිව තිබිණි. එය නොකිරීමෙන් ඩීල්වල ප්‍රබලතාව කොතරම්ද යන්න හෙළි වේ.
ලංකා මාරසිංහ