Breaking
25 Feb 2025, Tue

ශ්‍රීලනිප මිය ගොස් හමාරය …මහින්දට අන් මගක් නැත

කිරුළපන රැළිය හුදෙක් කම්කරුවන්ගේ මැයි දින රැළියක් නො වේ. මැයි දිනය ඇරඹී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. එය කම්කරුවන්ගේ දිනයක් මිස ඊනියා කම්කරු පංතියේ දිනයක් ලෙස ඇමරිකාවේ ඇරඹීී නැත. මැයි දිනය ඊනියා කම්කරු පංතියක දිනයක් ලෙස සමරනු ලැබුයේ මාක්ස්වාදී පක්‍ෂ විසිනි. බටහිර ඇතැම් රටවල කම්කරුවන් මැයි දින රැළි පවත්වන අතර කම්කරු පංති පක්‍ෂ කුඩා ශාලාවක කම්කරු පංති මැයි දින සමරනු දැකිය හැකි ය. කම්කරුවන් සිටි පමණින් කම්කරු පංතියක් තිබිය නොහැකි බව කාල් මාක්ස් තේරුම් ගත්තේ නම් ඊනියා පංති සටන් නමින් බොහෝ දෙනා නොමියනු ඇත. ලංකාවේ ද 1971 හා 1989 –- 1992 අතර ජීවිත ගණනාවක් විනාශ නොවීමට තිබිණි.

ගුණසිංහ මහතාගන් පසු ලංකාවේ මැයි රැළි කම්කරුවන්ගේ හෝ කම්කරු පංතියේ මැයි රැළි ලෙස පවත්වා නැත. ලංකා සමසමාජ පක්‍ෂය මැයි රැළිය පැවැත්වූයේ පක්‍ෂයේ බලය පෙන්වන රැළියක් ලෙස ය. ජ වි පෙරමුණ ඒ සම්ප්‍රදාය වර්ධනය කරමින් මැයි රැළිය පක්‍ෂයේ සංදර්ශනයක් බවට පත් කෙළේ ය. කම්කරු පංති පක්‍ෂයක් යැයි කියා නොගන්නා ශ්‍රී ල නි පක්‍ෂය පමණක් නොව ඊනියා කම්කරු පංති නායකයන් විසින් ධනපති පංතියේ පක්‍ෂයක් ලෙස හඳුන්වනු ලැබූ එ ජා පක්‍ෂය ද මැයි රැළි සංදර්ශනයට එකතු විය. ඊනියා කම්කරු පංතිය ධනපති පක්‍ෂයේ නායකත්වයෙන් වෘත්තීය සමිති සංවිධානය කළා පමණක් නොව මැයි රැළිවලට ද සහභාගි විය!

අද ලංකාවේ ප්‍රධාන පක්‍ෂ විසින් මැයි රැළි පවත්වනු ලබන්නේ පක්‍ෂ සංදර්ශන ලෙස ය. කුඩා ට්‍රොට්ස්කිවාදී පක්‍ෂ දෙක තුනක් කුඩා ශාලාවල ඊනියා කම්කරු පංති රැස්වීම් පවත්වනු ඇත. ඒ කෙසේ වෙතත් අද දේශපාලනික වශයෙන් සංවේදී අයගේ අවධානය යොමු වන්නේ ගාල්ලේ හා කිරුළපන මැයි රැළි දෙස ය. ගාලු රැළිය මෛත්‍රිපාලගේ ප්‍රධානත්වයෙන් ද කිරුළපන රැළිය මහින්දගේ නායකත්වයෙන් ද පැවැත්වෙනු ඇත.

මෛත්‍රිපාල හා ඔහුගේ වන්දිභට්ටයන් ගාල්ලේ දී හමුවන්නේ ශ්‍රී ල නි ප මිය ගොස් නොමැති බව පෙන්වීමට ය. ඒ රැළියට සෙනග ගෙන ඒම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට යන බව සැළ ය. ඇතැම් විට එ ජා ප මෙන් ම ඉන්දියාව (ඉන්දියාව යනුවෙන් රටක් ඉංගිරිසින් ඒමට පෙර නොතිබුණ ද දැන් තිබෙන බව පිළිගැනීමට සිදු වෙයි) ද රැළියට ආධාර කිරීමට ඉඩ ඇත. කොපමණ මුදලක් වියදම් කළත් ශ්‍රී ල නි ප නැවත ඉපදවීමට නො හැකි ය. එංගලන්තයේ, ඉන්දියාවේ හා එ ජා පක්‍ෂයේ ආධාරයෙන් මෛත්‍රිපාල පක්‍ෂය මරා දැම්මේ ය.

මහින්දට කිරුළපන මග හැර අන් මගක් නැත. ගාලු රැලියට මහින්ද සහභාගි වුවහොත් (කිරුළපන රැළියට සහභාගි වී හෝ නොවී හෝ) එය ඔහුගේ දේශපාලන ගමන් මගේ අවසානය වනු ඇත. ඇතැමුන් ඔහුට අවවාද කරනු ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට ය. මෛත්‍රිපාල ජනාධිපති ව සිටිනතාක් මහින්දට එය කළ නොහැක්කේ ශ්‍රී ල නි පක්‍ෂයේ ව්‍යවස්ථාවෙන් එවැන්නකට ඉඩක් සලසා නොමැති බැවිනි. හැරත් මරා දැමුණු පක්‍ෂයක බලය ගන්නේ අහවල් දෙයකට ද? මෛත්‍රිපාලට හා ඔහුගේ ඇම්බැට්ටයන්ට අද ඇති ප්‍රධාන ම අභියෝගය පළාත් පාලන මැතිවරණ ය. තමන්ට එය දිනිය නොහැකි බව ඔවුහු දනිති. මුස්තාෆා මගින් මැතිවරණ කල් දැමීමට බොරු ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදු වී ඇත.

කිරුළපන රැළිය පැවැත්වෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යැයි සිතමි. මහින්ද එයට සහභාගි වුවහොත් අනිවාර්යයෙන් ම රැළියේ නායකයා බවට ඔහු පත්වනු ඇත. එවිට රැළිය මහින්දගේ නායකත්වයෙන් හා දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. මහින්ද කිරුළපන රැළියට සහභාගි වීමේ දී නිදහසට කරුණු කිව යුතු නො වේ. එය මැයි රැළියක් මිස දේශපාලන පක්‍ෂයක රැස්වීමක් නො වේ ය ආදී කරුණු අවශ්‍ය නැත. එය ඒකාබද්ධ විපක්‍ෂයේ රැළියකි. එය එසේ නොවේ යැයි කීමේ අවශ්‍යතාවක් නැත. මහින්ද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකි.

ඒකාබද්ධ විපක්‍ෂය යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සංසදයක් පමණක් වීම නම් ප්‍රශ්නයකි. අද අවශ්‍ය වන්නේ ද මහා මැතිවරණයට පෙර අවශ්‍ය වූයේ ද වෙන ම සංවිධානයකි. ජනතාවට ද සහභාගි විය හැකි, සාමාජිකත්වය ලබාගත හැකි සංවිධානයකි. එය පක්‍ෂයක් ලෙස හඳුන්වන්නේ ද සංසදයක් ලෙස හඳුන්වන්නේ ද ආදී කරුණු ද්විතීයික ය. අවශ්‍ය වෙන ම සංවිධානයකි.

කිරුළපන රැළියට සහභාගි වන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමීමට කටයුතු කිරීමට මෛත්‍රිපාලට හා ඔහුගේ ඇම්බැට්ටයන්ට නෛතික හෝ දේශපාලනික හෝ බලයක් නැත. ඔවුන් එවැන්නක් කිරීමට උත්සාහ ගතහොත් ඔවුන්ට තම ගම් රටවල් බලා යෑමට නොහැකි වී තම දේශපාලන ජීවිතයේ අවසන් කාලය කොළඹ ම ගතකිරීමට සිදුවනු ඇත.
නලින් ද සිල්වා

2016 අප්‍රේල් 20

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.