Breaking
22 Feb 2025, Sat

ශ්‍රීලනිය මැරුවෙ මහින්දයි මෛත්‍රියි! රූං පෙත්ත කැරකෙනවා…. කවුද අපට සුරංගනා කතා කියනවා….

ඒකාබද්ධ විපක්‍ෂෙ ජාතික සංවිධායක ප්‍රකාශයක් නිකුත් කරලා අර හෙලිකොප්ටරේ ගැන. හෙලිකොප්ටර් කීයක් ගැන කතා වෙනව ද කියන එකත් දැන් ප්‍රශ්නයක්. මෛත්‍රිපාල වැඩකට නැති ප්‍රකාශයක් කරන්න ගිහින් ප්‍රශ්නය අවුල් කරගෙන. 2015 දී ඔහු කියලා තියෙන්නෙ මහින්දට හෙලිකොප්ටරය දෙන්න කියලා ගුවන් හමුදා නිලධාරියකුට කිව්වෙ තමුන් කියලා. ඒ වෙලාවෙ ඒකට විරුද්ධව කවුරුවත් මොකුත් කිව්ව ද කියලා මට මතක නැහැ. ඒක මිනිසුන්ට අමතක වෙලා තිබුණෙ.

දැන් මෛත්‍රිපාල පෙන්නන්න හදන්නෙ මහින්ද හා රනිල් අතර යම් එකඟත්වයක් දැන හැඳුනුම්කමක් තියෙන බව. මේ ඩීල් දේශය බව අප කලින් කියා ඇති. කොල්ලුපිටියෙ ඩීල් පෙදෙස කියලා පාරක් තිබුණට මුළු රට ම ඩීල් දේශයක්. ඩීල් දේශයේ ඩීල් ඇති වෙනවා. ඩීල් නැති වෙනවා. මුල දි මෛත්‍රිපාලයි මහින්දයි දෙන්න ම රනිල් රැක්කා. ඒ ජ වි පෙ, දෙමළ ජාතික සංධානයට අමතර ව. නැත්නම් රනිල් මන්ත්‍රී 47 දෙනකු පමණක් ඇතිව අගමැතිකම කරන්නෙ කොහොම ද?

මෛත්‍රිපාල අහන ප්‍රශ්නවල ඇත්තක් තියෙනවා. රනිල්ට විරුද්ධව එක්සත් ජනතා නිදහස් සංධානය විශ්වාස භංග යෝජනාවක් ගෙනාවෙ නැහැ. එක්සත් ජනතා නිදහස් සංධානයෙ මෛත්‍රිපාලගෙ අයත් මහින්දගෙ අයත් නිහඬ ව හිටියා. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප සභාපතිකම ගත්ත නිසා පමණක් නොවෙයි රනිල් රැකුණෙ. මහින්දත් මොකුත් නොකරපු නිසා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට මෛත්‍රිපාල පාර්ලිමේන්තුවෙ ඉඳිමින් ම සහාය දීලා. ඒ මදිවට මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලටත් ගිහිල්ල.

ඔහු කියන විධියට සංධානෙ තීරණයක් අරගන තිබුණෙ නැහැ. ඡන්දය ගැනීම ඒ නිසා පහේ සිට හත වනතුරු කල් දැම්මළු. ඒ පැය දෙකේ මොකක් ද වුණෙ. මහින්ද තමන්ට දහනවයට පක්‍ෂව ඡන්දෙ දෙන්න කිව්ව කියලා එක් මන්ත්‍රීණියක් කියලා තිබුණා. ඒ වෙලාවෙ සරත් වීරසේකර පමණක් විරුද්ධව ඡන්දය දුන්න. ජානක බණ්ඩාර (දඹුල්ලෙ නොවෙයි) ඡන්දය දීමෙන් වැළකිලා ගෙදර ගියා. කොහොම හරි දහනවේ සම්මත වෙලා තියෙන්නෙ මෛත්‍රිපාලගෙ මෙන් ම මහින්දගෙත් සහායෙන්.

මර්වින් සිල්වා කියන දේ ගැන එතරම් ලකුණු දෙන්න බැහැ. බොහෝ වෙලාවට සෘණ ලකුණු තමයි ලැබෙන්නෙ. ඒත් ශ්‍රී ල නි පක්‍ෂය මැරුවෙ මහින්දයි මෛත්‍රිපාලයි කියන එකේ ඇත්තක් තියෙනවා. අද ශ්‍රී ල නි පක්‍ෂයට රටේ ම ඡන්ද 15%ක් නැහැ. මෛත්‍රිපාල කොයි තරම් උත්සාහ කළත් ඒක වැඩි කරගන්න දැන් අමාරුයි. අද පොදුජන පෙරමුණ කියලා පක්‍ෂයක් තියෙනවා. එයට තමයි රටේ වැඩි ප්‍රතිශතයක් ඡන්ද තියෙන්නෙ. එහෙත් ඒකෙන් ඉල්ලලා ජනාධිපතිවෙන්න බැහැ. පාර්ලිමේන්තුවෙ සුළුතර ආණ්ඩුවක් නම් හදන්න පුළුවන් වේවි. ඒත් එකෙන් දැන් තියෙන විධියට සිංහල බෞද්ධයන්ට වැඩක් වෙන්නෙ නැහැ. ආණ්ඩුවක් හදන විට දැන් තියෙන තත්වය අනුව දේවානන්දාලගෙ හකීම්ලාගෙ බද්‍යුද්දීන්ලාගේ සහාය ගන්න වෙනවා. ඒ තත්වය වෙනස් කරන්න බැහැ කියලා මා කියන්නෙ නැහැ. මා කියන්නෙ දැන් තියෙන තත්වය.

යම් විධියකින් ගෝඨාභය ජනාධිපති ධුරයට තරග කරනවා නම් ඒ මොන පක්‍ෂයෙන් ද? නැවතත් දැන් තියෙන තත්වය අනුව ඔහට පක්‍ෂයක් තියෙනවා ද? ජී එල් පීරිස් ඔහුට පොහොට්ටුවෙන් තරග කරන්න ඉඩ දේවි ද? මා කියන්නෙ ජී එල් පිටුපස ඉන්න අය. ඒකාබද්ධ විපක්‍ෂය කියලා පක්‍ෂයක් නැහැ. ගෝඨාභයට ඒකෙන් තරග කරන්න බැහැ. එහෙම නම් පක්‍ෂයක් හදනවා ද? නැත්නම් තියෙන පක්‍ෂයක් ගන්නවා ද?

අපි ඒ කතා පැත්තකට දමමු. ඒකාබද්ධ විපක්‍ෂයෙ ජාතික සංවිධායක තමයි අර හෙලිකොප්ටර් කතාවට මෛත්‍රිපාලට උත්තර දීලා තිබුණෙ. තර්කය අනුව ඒ උත්තරේ හරි. 2015 ජනවාරි නවවැනි දා සවස හයට පළමු මහින්ද ජනාධිපති. මැතිවරණ කොමසාරිස්ට ජනාධිපති පත් කරන්න බැහැ. ජනාධිපති ලෙස තේරී ඇති පුද්ගලයා දිව්රුම් දී ජනාධිපති ධුරයේ වැඩ භාරගන්නා තුරු පැරදුණු ජනාධිපති තමයි ජනාධිපති. එ නිසා මහින්දට පුළුවන්කම තිබුණ ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක් ඉල්ල ගන්න. ඒත් ප්‍රශ්නය ඒ දවස්වල ඒ කතාව කිව්ව ද කියන එක.

ඒකාබද්ධ විපක්‍ෂයෙ ජාතික සංවිධායක ව ඒ දවස්වල මහින්දට හොයා ගන්න බැරුව හිටියෙ. ඒ විතරක් නොවෙයි ජී එල්වත් හොයාගන්න බැරුව හිටියෙ. බැසිල් රටින් පිටවෙලා. කවුරු හරි ප්‍රකාශයක් කරලා තිබුණ නම් මෛත්‍රිපාල කිව්වෙ බොරු කියලා මෛත්‍රිපාලට අවුරුදු තුනක් බලා ඉන්න ඕන නැහැ තමන් එදා කිව්වෙ බොරු කියන එක ව්‍යංගයෙන් හරි කියන්න.

අනෙක් එක ඒකාබද්ධ විපක්‍ෂෙට ජාතික සංවිධායක කෙනෙක් මොනවට ද? ඒකාබද්ධ විපක්‍ෂෙ කියන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සංසඳයක් පමණයි. ඒකෙ නායකයෙක් ඉන්න පුළුවන්. මාධ්‍ය ප්‍රකාශකයෙක් ඉන්න පුළුවන්. ඒත් ජාතික සංවිධායක කෙනෙක් අහවල් දේකට ද? ඒකාබද්ධ විපක්‍ෂෙ ජාතික ව ම සංවිධානය කරන්න ද? එහෙම නැත්නම් හෙලිකොප්ටර් කතා කියන්න ද? ප්‍රශ්නෙ තියෙන්නෙ කොයි හෙලිකොප්ටර් කතාව ද ඇත්ත. එහෙමත් නැත්නම් තාම ඇත්ත කතාව කියවුණෙ නැද්ද? ගුවන් හමුදා නිලධාරියෙක් තමා ම කල්පනා කරලා හෙලිකොප්ටරේ එව්ව ද දන්නෙ නැහැ. රූං පෙත්ත කැරකෙනවා. කවුද අපට සුරංගනා කතා කියනවා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.