Breaking
23 Feb 2025, Sun

ශ්‍රී ලංකා කාරයෝ කොන්ද ස්කෑන් කර ගනිල්ලා….කොන්ද පණ ඇත්නම් ඇමැති කටු ලෙවකෑම නවතා එ. ජා. ප  ආණ්ඩුවෙන් එළියට බසිනු

කොන්ද පණ ඇත්නම් ඇමැති කටු ලෙවකෑම නවතා එ. ජා. ප  ආණ්ඩුවෙන් එළියට බසින ලෙස ප්‍රසන්න රණතුංගගෙන් මහින්ද අමරවීර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට අභියෝග කර සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ වලිගේ එල්ලී ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින අපට පක්ෂය කඩන්න යනවා කියමින් චෝදනා කිරීම තමයි ලෝකයේ ලොකුම විහිලුව. අලියගේ නැට්ටේ එල්ලිලා පක්ෂය විනාශ කරන ගමන් ඔවුන් අපට චෝදනා කරනවා පක්ෂය කඩන්න යනවා කියලා.

2015 ජනවාරි මස 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට හිටපු ඇමැතිවරුන් පිරිසක් රහසිගතව උපකාර කර තිබුණා. ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බලහත්කාරයෙන් ලබා ගත්තා.

සිරිසේන ජනාධිපතිවරයා තමන්ට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ලවා මධ්‍යම කාරක සභාවක් හදලා පක්ෂයේ බලය උදුරා ගත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එරෙහිව මතු විය හැකි විරෝධතා කඩාකප්පල් කරලා බලය රැක ගන්නයි.  එහෙම නැතුව පාක්ෂිකයන් රකින්නවත් පක්ෂය රකින්නවත් සැබෑ වුවමනාවක් සිරිසේන මහත්තයාට තිබුණේ නැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඇමැතිකම් දරපු ඇමැතිවරුන් කිහිපදෙනකුත් මේ කුමන්ත්‍රණයට එකතු වුණා. ඒ වගේම 2015 අගෝස්තු මස 17 වැනි දා පැවැති මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ජයග්‍රහණය ලබයි කියලා බය වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම ‍එම ජයග්‍රහණය කඩාකප්පල් කරන්න කටයුතු කළා.

මැතිවරණය ආසන්න වෙත්ම පක්ෂ සභාපතිවරයා හැසිරුණු ආකාරයෙන් ඒක පැහැදිලි වෙනවා. ඒ වගේම මැතිවරණයට ඔන්න මෙන්න තියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරයෙන් එළියට ඇදලා දාපු සුසිල් ප්‍රේමජයන්ත මහතාත්  ඒ බව හෙළිදරව් කරලා තිබෙනවා. සභාපතිවරයාට ඕනෑ වුණේ පක්ෂය වනසලා හෝ රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම රකින්න මිසක් ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න නොවෙයි.

මහ මැතිවරණය පැවැත්වෙන කොට මම බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියා. මටත් තිබුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පස්සෙන් ගිහිල්ලා මහ ඇමැති විදියට දිගටම ඉන්න. එහෙමත් නැත්නම් මහ මැතිවරණයෙන් දිනලා කැබිනට් ඇමැතිකමකුත් අරගන්න. නමුත් මම එහෙම කළේ නැහැ.

සැබෑ ශ්‍රී ලංකාකාරයෙක් විදියට මම හැමතිස්සෙම කල්පනා කළේ අපේ පක්ෂය සහ පාක්ෂිකයන් ගැනයි. අනෙක් ඇමැතිවරුන් වගේ පාක්ෂිකයන් පාවා දීලා තනතුරු වරදාන රැකගන්න එක මගේ ප්‍රතිපත්තිය නොවෙයි. මගේ ප්‍රතිපත්ති වෙනුවෙන් තනතුරු වරදාන අතහරින්න මට කොන්ද පණ තිබු‍ණා.

අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක කොටස්කාරයෝ වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට එහෙම කොන්ද පණ තිබුණේ නැහැ. පාක්ෂිකයන් වෙනුවෙන් දේශපාලනය කරන කිසිම දේශපාලනඥයකු තනතුරු වෙනුවෙන් පාක්ෂිකයන් පාවා දෙන්නේ නැහැ. අද තියෙන ලොකුම විහිලුව තමයි පාක්ෂිකයන් පාවා දුන් අයම පාක්ෂිකයන් ගැන කතා කිරීම.

තමනුත් ඇමැතිකම් දැරූ පසුගිය ආණ්ඩුවත් තමන්ගේ ප්‍රධානියා වුණ හිටපු ජනාධිපතිවරයත් විවේචනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලගින ශ්‍රී ලංකා ඇමැතිවරුන් අද පක්ෂයේ සමගිය, ඉදිරි ගමන ගැන කතා කරනවා. මේක විහිලුවක්. ශ්‍රී ලංකාකාරයෝ කවද්ද යූ. ඇන්. පීකාරයන්ගේ දෙපතුල් ළඟ වැඳ වැටුණේ කියලා මම අහන්න කැමැතියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න සැබෑ වුවමනාවක් තියෙනවා නම් ඔය ඇමැතිවරුන් කරන්න ඕනෑ යූ. ඇන්. පියේ තනතුරුවලට පයින් ගහලා ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වී ජන සටනට පණ පොවන එකයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ගුණ ගායනා කරමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ජඩ වැඩ සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කිඹුල් කඳුළු හෙළුවට වැඩක් නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැති කටු සූප්පන ඇමැතිවරුන් ඇතුළු පිරිසට තිබෙන ලොකුම බය තමයි ඊළඟ මැතිවරණයක දී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි කියන එකයි. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවේචනය කරමින්, චෝදනා එල්ල කරමින් ජනතාව ඉදිරියේ ලකුණ දමා ගැනීමට ඔවුන්ට සිදුව තිබෙනවා. නමුත් මේ රටේ ජනතාව රවට්ටන්න ඒ අයට පුළුවන්කමක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිහින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම් අරගෙන ඉන්න ඇමැතිවරුන්ට මම අභියෝග කරනවා පුළුවන් නම් ආණ්ඩුවෙන් එළියට බැහැලා පෙන්වන්න කියලා. එහෙම එළියට බැහැලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සකස් කරන්න ඒකාබද්ධ විපක්ෂය සමඟ අත්වැල් බැඳ ගත්තොත් අන්න එදාට මහින්ද අමරවීරලාටත් කොන්දක් තියෙනවා කියලා මම පිළිගන්නම්.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.