Breaking
25 Feb 2025, Tue

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමේ එක්සත් ජාතික පක්‍ෂ කුමන්ත්‍රණය

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමේ එක්සත් ජාතික පක්‍ෂ කුමන්ත්‍රණය

මගේ පාලන කාලයතුළ අපේ පක්‍ෂ ඉතිහාසයේ ශක්තිමත්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව ගොඩ නැගීමට හැකිවීම ගැන මම නිහතමානීව ආඩම්බරවෙමි. ඒ ආණ්ඩුව කොතරම් ශක්තිමත්වීද කියතොත් එය පරාජය කිරීමට හැකි වූයේ කුමන්ත්‍රණකාරී ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙය්ම කොටසක් එජාපය සමඟ එකතු වී මගේ ආණ්ඩුවට එරෙහිව බොරු ප්‍රචාර හා පෙර නොවූ විරෑ ආකාරයේ අවලාද ව්‍යාපාරයක් ගෙන යෑම තුළින් පමණි. ඇතුලතින් ලැබූ ඒ උදව් උපකාර නොමැතිව එක්සත් ජාතික පක්‍ෂයට මා ගොඩනැගූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමට නොහැකි විය. මගේ ආණ්ඩුව ජරාජය වූ පසුත් රටේ ජනාධිපතිවරයාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපතිවරයාය. කැබිනට් මණ්ඩලයේ තනතුරුද එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අතර බෙදී ඇත. එසේ වුවත් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙලෙස එක්සත් ජාතික පක්‍ෂයේ සිරකරුවෙකු බවට පත් වීම හේතුවෙන් අපේ පක්‍ෂයේ අනන්‍යතාවය නැතිවීමේ අවදානමක් දැන් පැනනැගී ඇත.

පොහොර සහනාධාරය අවලංගු කිරීමට එරෙහිව ගොවීන්ගේ උද්ගෝෂණ අද දිනපතාම දකින්නට ලැබේ. පොහොර මල්ලක මිල රුපියල් 2,500 ට සීමා කිරීමට ජනාධිපතිවරයා දී තිබෙන උපදෙස් පරිප්පු හා කරවල වලට පාලන මිලක් නියම කිරීම වැනිය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් තිබුණේ නම් මොනම තත්වයක් යටතේවත් පොහොර සහනාධාරය අවලංගු කිරීමට ඉඩතබන්නේ නැත. නමුත් අද එජාපය මේ නිශ්පාදන සහනාධාරය අවලංගු කරන විට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ටත් එයට අත එසවීමට සිදු විය.

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජනා කර තිබෙන ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහිව ලංකාවේ සමස්ථ වෘත්තීයවේදී ප්‍රජාවම අරගලයක් ආරම්භ කර තිබේ.  මොන විරෝධය ආවත් මේ ගිවිසුම අත්සන් කරන බව එක්සත් ජාතික පක්‍ෂ අගමැතිවරයා කියයි. අපේ ආණ්ඩු කාලය තුළදීද ඉන්දියාව මහත් උනන්දුවක් දැක්වූ සීපා ගිවිසුම ගැන සාකච්ඡා වෙමින් පැවති අතර, එයට ජනතාව අතරින් නැගී ආ විරෝධය සැලකිල්ලට ගෙන අපි එම ගිවිසුමට අත්සන් කිරීමෙන් වැලකී සිටියෙමු. නමුත් අද ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එක්සත් ජාතික පක්‍ෂය අත්තනෝමතික ලෙස ඇති කර ගැනීමට යන මේ ගිවිසුමට සම්මාදම් වීමට සිදු වී තිබේ.

ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන ආ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිගෙන එක්සත් ජතික පක්‍ෂ ආණ්ඩුව විසින් එය ලංකාවේම යෝජනාවක් හැටියට සම්මත කරගන්නා විටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ට නිහඩව බලා සිටීමට සිදු විය. මේ යෝජනාවෙන් අපේ රටත් රණවිරුවනුත් පාවා දෙමින් විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතුව ලංකාවේ යුද අපරාධ අධිකරණයක් ඇති කිරීමට එකඟතාවය පලකොට තිබේ. යුද්ධය ජයගනු ලැබුවේ මා විසින් නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවකි. එක්සත් ජාතික පක්‍ෂය මේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම කොටසකගේ උදව් ඇතුව යුද්ධය දිනූ පාර්ශවයෙන් පළිගැනීමයි.

2016 අයවැය තුළ කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලක්‍ෂණයක් නොතිබුණු අතර එය සහමුලින්ම එක්සත් ජාතික පක්‍ෂයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රවේශය මත පදනම් වූ අයවැයක් විය. නොරොච්චෝලේ බලාගාරය, සියළුම වරායන් හා ගුවන්තොටුපලවල මෙහෙයුම් කටයුතුද ඇතුලුව රජයට අයත් සියළු ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමට එහි යෝජනා කර තිබුණි. එමෙන්ම රජයේ විශ්‍රාම වැටුපත්, පෙහොර සහනාධාරයත්, පාසැල් නිල ඇඳුම් ව්‍යාපෘතියත් අහෝසි කර දැමීමට එහි යෝජනා විය. ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සමාජිකයන්ට එවන් අයවැයකටත් පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය.

මේ යටත්වීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනන්‍යතාවය රැකගැනීමට උත්සාහදරණ අප පක්‍ෂයේ දේශපාලඥයින්ටවිවිධ පීඩනයන්ට මුහුණ දීමට සිදුවී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටි මැතිවරණ කොටඨාශ සංවිධායකවරුන් වූ  ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම, කාන්ති කොඩිකාර, දුමින්ද සිල්වා, ධනසිරි අමරතුංග, සෙනරත් ජයසුන්දර අතුළු පිරිසකගේ ආසන සංවිධායක කම් වෙනත් අයට ලබා දී තිබේ.මේ පිරිස අතර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්නරණතුංග හා දිලුම්අමුණුගම යන මන්ත්‍රීවරුන්, විපක්‍ෂයේ හිදිමින් පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනන්‍යතාවය රැකීමට විශාල කාර්ය්‍යභාරයක් ඉටුකර තිබේ. එවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස ආසනසංවිධායක කම්වලින් ඉවත් කිරීමෙන් පක්‍ෂ නායකත්වය ඉටු කරන්නේ කාගේ උවමනාවදැයි සියළුම පාක්‍ෂිකයන් කල්පනා කර බැලිය යුතුය.

තමන් සමඟ ආණ්ඩු විරෝධී, එක්සත් ජාතික පක්‍ෂ විරෝධී ප්‍රතිපත්තියක් මත එකට පාර්ලිමේන්තුවට පත් වී විපක්‍ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් හොරුන් හා මිනීමරුවන් හැටියට හංවඩුගසා පොලිස් විමර්ශන ඒකක, විවිධ කොමිසම් හා උසාවිගානේ ඇදගෙන යාමත් නිහඩව ලබා සිටීමට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට සිදු වී තිබේ.මෙය එක්සත් ජාතික පක්‍ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහමුලින්ම විනාශ කිරීමට ගෙන යන කුමන්ත්‍රණයක් බවට ඉතා පැහැදිලිය. ආණ්ඩුවතුළ සිටින සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් තමන්ට වඩාත් වැදගත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවද නැතිනම් තමා ආණ්ඩු විරෝධී, එක්සත් ජාතික පක්‍ෂ විරෝධී පදනමක් මත ජනතා නියෝජිතයින් හැටියට පාර්ලිමේන්තුවට පත්කර යැවු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඡන්දදායකයන්ද යන්න තීන්දු කළයුතු කාලය දැන් එළඹ තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය භාරගැනීමේ දී බොහෝ පාක්‍ෂිකයින් බලාපොරොත්තු වූයේ එක්සත් ජාතික පක්‍ෂ ඡන්දවලින් ජනාධිපති වූවත්,පක්‍ෂනායතක්වය භාර ගැනීමෙන් පසු පාක්‍ෂිකයනුත්, පක්‍ෂයේප්‍රතිපත්තියත්, අනන්‍යතාවයත් රකිනු ඇති බවයි. නමුත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නොතිබීම ගැන අපි කණගාටු වෙමු.

මහින්ද රාජපක්‍ෂ (පා.ම)

හිටපු ජනාධිපති

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.