Featured

සංධාන පාක්ෂිකයා ජනපති සිරිසේනව ප්‍රතික්ෂේප කලේ ඇයි?

“චන්ද්‍රිකා මැතිණිය පක්ෂය හැර දා ගොස් ආපසු ආවාම කවුරුත් එතුමියව පිලි අරගෙන පක්ෂ නායකත්වය භාර දුන්නා. මට තමයි ඔක්කොම කෙනෙහිලිකම්. මමත් වලව්වක ඉපදී තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ“. ශ්‍රිලනිප නායකයින් සමග මෙසේ පැවසුවේ ජනපති සිරිසේනයි. ඇත්තෙන්ම ඔහුව සංධාන පාක්ෂිකයා ප්‍රතික්ෂේප කරන්නේ වලව්කාරයෙකු නොවන නිසා ද? ඔහු ඉන්නේ වැරදි අවබෝධයක බැවින් ඇති තතු පැවසීම ඔහුගේ දේශපාලන අනාගතයට යහපත්ය. එමෙන්ම සංධාන පාක්ෂිකයාට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොමැති හෙයින් ඔවුන් තෝරා ගත් මහජන නියෝජිතයෙකු ලෙස ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීම මගේ යුතුකමක් ද වේ.

පාක්ෂිකයා විසින් 2015 දී ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරන්නේ ද 1994 දී චන්ද්‍රිකා මැතිණිය ආදරයෙන් වැළඳ ගන්නේ ද නැවත 2015 දී නැවත චන්ද්‍රිකා මැතිණිය ප්‍රතික්ෂේප කරන්නේ ද එකම හේතුවක් මතය. එනම් මැතිවරණ ජයග්‍රහණයට දක්වන දායකත්වයයි. 1984 දී චන්ද්‍රිකා මැතිණිය ශ්‍රිලනිපයෙන් ඉවත් වී ශ්‍රී ලංකා මහජන පක්ෂය ද පසුව බහුජන නිදහස් පෙරමුණ ද පිහිටුවා ශ්‍රිලනිපයට එරෙහිව වුණු බව සැබෑවකි. නමුත් වසර 16ක මැතිවරණ ජයග්‍රහණ ඉඩෝරය නිමා කරමින් 1993 දී බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපය පරදවා පොදු පෙරමුණට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ චන්ද්‍රිකා සාධකය හේතුවෙනි. එබැවින් පක්ෂ නායක සිරිමාවෝ මැතිණිය සිටිය දී අගමැති අපේක්ෂිකාව සහ ජනපති අපේක්ෂිකාව ලෙස ඉදිරි මැතිවරණයන්ට තරග කිරීමට ඇයට වරම් ලැබිණි. ඇය පසුව පක්ෂ නායකත්වයට පත් වන්නේ වසර 17කට පසු නැවත පක්ෂයට රාජ්‍ය බලය ලබා දුන් නායිකාව ලෙසිනි. ඇය පක්ෂ නායකත්වයට පත්වන විට ඇයගේ නායකත්වය ලක්ෂණ මෙන්ම පක්ෂයට ඇති ලැදියාව ද පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්නයක් නොවිණි. එබැවින් ඇයගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවිණි.

17 වසරකට පසු රාජ්‍ය බලය පක්ෂයට ගෙන ඒමට 1994 දී චන්ද්‍රිකා මැතිණිය කටයුතු කළ නමුත් 2010 දී සහ 2015 දී ඇය කටයුතු කලේ පක්ෂය පැරදවීමටය. එබැවින් ඇය රැස්වීම් ඇමතීමට පැමිණෙන විට එදා ප්‍රිති ඝෝෂා නැගූ පාක්ෂිකයින්ම මෙදා හූ හඬින් සංග්‍රහ කිරීමට අමතක නොකළහ. ඇය වලව්කාරියක වීම හූ හඬින් සංග්‍රහ නොකිරීමට හේතුවක් කර නොගැනීමට පාක්ෂිකයෝ වග බලා ගත්හ. මෙයින් පෙනෙන්නේ ජනපති සිරිසේනව පාක්ෂිකයින් විසින් ප්‍රතික්ෂේප කරන්නේ වලව්කාරයෙකු නොවීමේ හේතුව මත නොවන බවයි. එසේ නම් පාක්ෂිකයින් විසින් ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ චන්ද්‍රිකා මැතිණියව 2010න් පසු ප්‍රතික්ෂේප කළ හේතුව මත ද? මෙය විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.

සිරිසේන මහතා දිගු කළක් පක්ෂය වෙනුවෙන් කැප වුණු නායකයෙකි. එබැවින් පක්ෂය විසින් ඔහුට ඉහලින්ම සලකන ලදී. ගොවි පුතෙකු මෙන්ම අනුර බණ්ඩාරනායක මන්ත්‍රිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයෙකු ද වුණු සිරිසේන මහතාට පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දක්වාත් පාර්ලිමේන්තුවේ සභානායක ධූරය දක්වාත් ඉහළටම ගමන් කිරීමට හැකි වුණේ ඔහු පක්ෂයට කළ කැප කිරීම් හේතුවෙනි. ඔහු පක්ෂයට කැප වුණු අයුරින්ම පක්ෂය ද ඔහුට සංග්‍රහ කර තිබිණි.

සියල්ල කනපිට පෙරලෙන්නේ 2014 නොවැම්බර් මසයි. ඒ වෙන විට සිරිසේන මහතාට පක්ෂයේ ජයග්‍රහණයට වඩා තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණය වැදගත් වේ. 2015 ජනපතිවරණය සඳහා ඒ වෙන විටත් තමන් විසින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර තිබිණි. එබැවින් සිරිසේන මහතාට ජනපති වීමට අවශ්‍ය නම් ඇති එකම විකල්පය වූයේ පක්ෂය මාරු කර ජනපතිවරණයේ දී පක්ෂය පරාජය කිරීමයි. පක්ෂ සාමාජිකයින් පක්ෂය වෙනුවෙන් තම ජීවිත පූජා කර තිබිය දී සිරිසේන මහතා තෝරා ගත්තේ තම ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂය මරා දැමීමයි.

2015 ජනපතිවරණ පරාජයට බල පෑ ප්‍රධානතම සාධකයක් වන්නේ සිරිසේන මහතා විසින් පක්ෂය දෙකට කඩා පක්ෂයේ පිරිසක් සමග එජාපයට එකතු වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමයි. ඒ අනුව විසි වසරක් බලයේ සිටි සංධානය විපක්ෂයට තල්ලු කර ඇත්තේ සිරිසේන මහතාය. ඔහු විසින් පක්ෂයට කළ විනාශය එතැනින් නොනවතියි. ඔහු විසින් පක්ෂය දෙකඩ කරන විට ඔහුට සහය පල කළ රාජිත සේනාරත්න, එම් කේ ඩී එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ චතුර සේනාරත්න වැනි මැති ඇමතිවරු අද සිටින්නේ පක්ෂයේ ප්‍රධානතම හතුරා වන එජාපයේ මන්ත්‍රිවරුන් ලෙසිනි. ඇත්තෙන්ම ඒ සිරිසේන මහතා පක්ෂයට එරෙහිව කළ පළමු ද්‍රෝහිකමයි.

ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු එම ද්‍රෝහිකම් පිම්මේ වැඩෙන්න විය. සංධානයට ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තු බහුතරය හිමිව තිබිය දී ව්‍යවස්ථා විරෝධි ලෙස සංධානයේ අගමැති ඉවත් කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර 46ක් පමණක් තිබුණු එජාපයට ලබා දීමට ජනපති සිරිසේන පියවර ගත්තේය. ඒ ජනපති සිරිසේන විසින් පක්ෂයට සිදු කළ දෙවන ද්‍රෝහිකමයි.

ඉන්පසු පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ට දුරකතනයෙන්අමතමින් ද දූතයින් යවමින් ද ඔවුන්ට තමන් සමග එකතු වන මෙන් බලපෑම් කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ජනපති සිරිසේනට සහය පළ කලේ නැවත වතාවක් පක්ෂය දෙපළු කරමිනි. ඉන් පසු ඔහුව පක්ෂයේ සභාපති ද දුමින්ද දිසානායක මහතා ලේකම් ද ලෙස පත් කර ගනිමින් සැබෑ ශ්‍රිලනිපය තමන් බවට ප්‍රකාශ කලේය. මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය සිරිසේන මහතාට ලබා දීමට කැමති වීමෙන් පක්ෂය දෙපළු වීම අනූ නවයෙන් වැළකිණි. එය මාස දෙකක් ඇතුළත පක්ෂය දෙපළු තළ දෙවන අවස්ථාව මෙන්ම පක්ෂයට කළ තෙවන ද්‍රෝහිකම ද විය.

සංධානයට තිබුණු දැවැන්තම ශක්තිය වූයේ රට පුරාම පැතිරුණු පළාත්පාලන මන්ත්‍රි ජාලයයි. එය එජාපයේ මන්ත්‍රි ජාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. එවැනි ජාලයක් සංධානය සතු වීම ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන්ට දැවැන්ත ශක්තියක් විය. එබැවින් එජාප ජයග්‍රහණය සඳහා මෙම මන්ත්‍රි ජාලය විසුරුවා හැරීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් විය. නමුත් එසේ විසුරුවා හැරීම නීති විරෝධිය. නීතිය අනුව එක්කෝ මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මැතිවරණය පැවැත්විය යුතුය. නැතිනම් මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය දිගු කළ යුතුය. නමුත් සංධානයේ නායකත්වය දරමින් එජාපය සවිමත් කිරීම සඳහා ජනපති සිරිසේන එකී පලාත්පාලන ආයතන නීති විරෝධිව විසුරුවා හැරීමට කටයුතු කලේය. ඒ පක්ෂයට සිදු කළ සිව්වන ද්‍රෝහිකමයි.

පස්වන ද්‍රෝහිකම වන්නේ තමන් සංධානයේ නායකත්වයට පත් වුණු පසු සංධානයේ ජයග්‍රහණයට නොව පරාජයට පත් කිරීමට කටයුතු කළ අයට සංධානයට හිමි තනතුරු ලබා දෙමින් සතුටු කිරීමයි. ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු සංධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කළ උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති එම් එම් රංජිත් මහතා එම තනතුරෙන් ඉවත් කර සංධානය පරාජය කිරීමට කටයුතු කළ පේෂල ජයරත්න මහතාට එම තනතුර ලබා දීමයි. එමෙන්ම ජනපතිවරණයේ දී පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද සංධානය පරාජය කිරීමට කටයුතු කළ අදටත් එජාපයේ සාමාජිකයෙකු වන නිශාන්ත වර්ණසිංහ මහතාට බස්නාහිර පළාත් ඇමති ධූරයක් ලබා දෙන ලදී.

නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් බස්නාහිර පළාත් සභාවේ පුරප්පාඩු වුණු මන්ත්‍රි ධූරය හිමි විය යුතුව තිබුණේ මධුමාදව අරවින්ද මහතාටයි. නමුත් ඔහුට එම පත්වීම නොලැබුණි. එසේ නොලැබීමට එකම හේතුව වී තිබුණේ පසුගිය ජනපතිවරණයේ දී පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඔහු සංධානයේ ජයග්‍රහණයට කටයුතු කිරීමයි. මෙම පත්වීම් හරහා සංධාන නායකයින්ට ජනපති ගෙනා පණිවිඩය වූයේ තමන් සලකන්නේ සංධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන අයට නොව සංධානය පරාජයට පත් කිරීමට කටයුතු කරන අයට බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ සමයේ ජනපති සිරිසේන උපරිම ලෙස වෙහෙස වූයේ සංධානය පරාජය කර එජාපයේ ජය තහවුරු කිරීමටයි. එබැවින් පාක්ෂිකයා ඡන්දය ප්‍රකාශ කිරීම අධෛර්යමත් කිරීම සඳහා ඔහු කළ හැකි සෑම දෙයක් සිදු කලේය. සංධානයේ නායකයා ලෙස කටයුතු කරමින් සංධානය පරාජයට පත්වන බවට අනාවැකි පල කලේය. සංධානය ජයග්‍රහණය කළත් මහින්දට අගමැති තනතුර නොදෙන බව පැවසීය. මැතිවරණය පැවැත්වීමට පැය 48කට පෙර සංධානයේ ලේකම්වරයා ඉවත් කර පක්ෂ මූලස්ථානය ද සීල් තබන ලදී. මේ සියල්ලේ ප්‍රතිඵලය වුණේ ලක්ෂ 58ක්ව තිබුණු සංධානයේ ඡන්ද කුට්ටිය ලක්ෂ 47ක් දක්වා පල්ලම් බැසීමයි.ඉහත විග්‍රහය පෙන්නුම් කරන්නේ සංධාන පාක්ෂිකයා ජනපති සිරිසේනව ප්‍රතික්ෂේප කරන්නේ ඔහු වලව්කාරයෙකු නොවීම හේතුවෙන් නොවන බවයි. ඔහු සංධානයට කළ සහ කරමින් පවතින ද්‍රෝහිකම් හේතුවෙන් බවයි. ඔහුට සංධාන පාක්ෂිකයා දිනා ගැනීමට අවංකවම අවශ්‍ය නම් කළ යුත්තේ සංධානයේ පරම හතුරා වන එජාපය සමග පවතින සියළු සබඳතා අත්හැර සංධානයේ ජයග්‍රහණයට කැප වන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කිරීමයි. නමුත් එය ඔහුට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි. අගමැති වීමට නොහැකි වීම පිළිබඳ සිත් වේදනාවෙන් සිටි සිරිසේන මහතා ජනපති පුටුවේ වාඩි කලේ එජාපයයි. ඒ සඳහා එජාප පාක්ෂිකයින් සංධානය සමග ගැටෙමින් ජීවිත ද පූජා කලේය. එබැවින් ඔහු එජාපය අත් හරින්නේ නම් ඔහු තරම් තවත් ගුණමකුවෙකු මේ ලොව නොසිටිනු ඇත. නමුත් ඔහු එජාපයේ ජනපති ලෙස සිටින තුරු එජාපයට සිය යුතුකම් ඉටු කරන තුරු සංධාන පාක්ෂිකයා විශ්වාසය දිනා ගැනීමට නොහැකි වනු ඇත.

රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ මේ වෑයම අවසන් වන්නේ සංධානයට මෙන්ම එජාපයට ද ඔහු ද්‍රෝහියෙකු වීමෙනි. එබැවින් මෙම එකිනෙකට විසංවාද බලවේග දෙකෙන් එකක් දැන්ම තෝරා ගැනීමට ඔහු බුද්ධිමත් විය යුතුය. නැතිනම් දෙපාර්ශවය විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම් කර ඉතිහාසයට එකතු වීමට හිත හදා ගත යුතුය.

-උදය ගම්මන්පිල-

Top