ලෝකයා

සකේ..උපාසකේ වී.. පසුව පුන්සකේ වී …අන්තිමට නපුන්සකේ වූ හැටි……

පසුගිය කාලයේ එජාප යහපාලන ආර්ථික ප්‍රතිපත්තීන් කොයිතරම් විදේශ ආයෝජකයන්ගේ හිත ඇදගත්තාද කිවහොත් විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණියේ දසදහස් ගණනිනි. යුරෝපය, ඇමෙරිකාව, ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් ගණනාවක ගුවන් තොටුපළවල් පිරී ඉතිරී ගියේ ශ්‍රී ලංකාවට ඇදෙන ආයෝජකයන්ගෙනි. මෙයින් රටට විශාල යහපතක් සිදුවූවත් කටුනායක ප්‍රදේශයට නම් තරමක අයහපතක් සිදුවූයේ වී පැදුරක්වත් වේලාගැනීමට බැරිවීමේ තත්වයක් උද්ගතවීම නිසාය. බිමට හරිහැටි අව්ව නොවැටෙන තරමට ගුවන්යානා සෙවනැලි ප්‍රදේශය පුරා ඇදී ගියේය.

ඔය අතර ජපානයේ නරීටා ගුවන් තොටුපළෙන් ෆුල් ලෝඩ් වී පැමිණි ගුවන්යානයක ජපන් ආයෝජකයන් පිරිසකට ලංකාවට එන්න වුනේ  හිටගෙනය. ඒතරමටම ලංකාවට එන ආයෝජකයන්ගෙන් ගුවන්යානය ෆුල් ලෝඩ්වී තිබිණි. මහින්ද මහත්තයා හැදූ හයිවේ එකෙන් පහසුවෙන් කොළඹට පැමිණියත් කොළඹදී ඔවුන් මුහුණදුන්නේ ලොකු අකරතැබ්බයකටය. විදේශ ආයෝජකයන්ගෙන් හෝටල් කාමර පමණක් නොව හෝටල් වල වත්තපිටිය ද උතුරා ගොස් තිබිණි. ජපන්නු කොහොමත් හපන්නුය. පසුබටවන ජාතියක් නොවේ. බොරැල්ලට පැමිණි මේ පිරිස සුපර් මාර්කට්ටුවේ අගුපිලේ ලැගුම්ගත්හ. ඊඒපී එකත් උපවංශ හෝටලයත් මාතර බත් කඩයත් ප්‍රසිද්ධ වැසිකිලියත් අතේ දුරින් පිහිටා තිබීම නිසා වැඩි අපහසුවක් දැනුනේ නැත.

පසුදා උදේ රැයින් නැගිට සිරුරුකිස ආදිය නිමකළ මේ පිරිස වැල්ලවත්තට ගොස් එකතුවූයේ කොටුවේ මුදල් අමාත්‍යංශය ඉදිරිපිටින් ආරම්භවී තිබුණු විදේශ ආයෝජක පෝලිමේ කෙරවලටය. ඩඩ්ලි මහත්තයාගේ ෆැක්ටරියේ හදපු, කොළඹ කාඩයා සමාවන්න හාදයා කොළඹට ඇදපු ගල් අල්ලා ගෝඨාභය මහත්තයා හැදූ පේමන්ට් එක දිගේ දවස් තුනක් අව් වැසි නොබලා ඉදිරියට ඇදුනු මේ පිරිසට හතරවෙනිදා පාන්දර තුනට පමණ  මුදල් අමාත්‍යවරයා හමුවීමට අවස්ථාව ලැබිණි.

කුකුළාත් අතින් අරගෙන මුදල් අමාත්‍ය රවී කරුංකනායකයන් සමාවන්න කරුණානායකයන් හමුවූ මේ ආයෝජක පිරිස අත  වූයේ ශ්‍රී ලංකාව තුළ සකේ කර්මාන්තශාලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිලිබඳ ව්‍යාපෘති යෝජනාය. සකේ යනු ජපාන සම්භවයක් සහිත සහල් වලින් පෙරණ මධ්‍යසාර වර්ගයකි. යෝජනාවලිය කියවා බැලූ ඇමැත්තෝ අමන්දානන්දයට පත්වූහ. ජපනුන් පිරිසද  අමන්දානන්දයට පත්කරවමින් ඇමත්තාණන් ප්‍රකාශකර සිටියේ මෙවැනි ව්‍යාපාරවලට යහපාලන රජය තුළ ප්‍රමුඛස්ථානය ලැබෙන බවත් යහපාලන දින සීය තුළ තමන් විසින් මධ්‍යසාර කර්මාන්තය දිරිමත් කරමින් දැනටමත් එතනෝල් බලපත්‍ර 26ක් නිකුත් කර ඇතිබවත් ඒ අනුව මහින්දගේ කාලයේ වසරකට ගෙන්වූ එතනෝල් ප්‍රමාණයට හතර ගුණයකටත් වඩා වැඩි එතනෝල් ප්‍රමාණයක් මේ යහපාලන දින සීය තුළ ලංකාවට ගෙන්වා තිබීමෙන්ම ඇතිකර ඇති වෙනස  පැහැදිළිවන  බවත්ය. මින් ජපනුන් අමන්දානන්දයට පත්වූවත් ඔවුන් තුළ යම් ශෝකයක්ද විය. ඒ ඇඩම් ස්මිත් වැනි මහා ආර්ථික විද්‍යාඥයකු පවා පරදන බුද්ධි ප්‍රභාවක් ඇති  මෙවන් මුදල් අමාත්‍යවරයකු ජපානයට  නොමැතිවීම නිසාය. ජපනුන් තීරණය කළේ මෙම ව්‍යාපාරයට සුදුසු නමක් දීමේ වගකීම මේ අමාත්‍යවරයාට පැවරීමය. එම වගකීම සතුටින් භාරගත් ඇමැත්තෝ තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ශරීරකෘත්‍යාධිකාරී මණ්ඩලය සමාවන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග සාකච්චාකර ඒ පිළිබඳව ජපනුන්ට දන්වා සිටිනබවට ප්‍රකාශ කළහ. ඉනික්බිති සභාතොමෝ සතුටින් විසිරගියහ. දෙවනුව හැන්දෑවට පොඩි කැසිනෝ සෙල්ලමක් කිරීමට තැනක් අසා දැනගැනීමට ජපන්නු කොළඹ නගරාධිපති මුසම්මිලුන් හමුවීමට ගියහ.

දුන් පොරොන්දුව අනුව එක්සත් ජාතික පක්ෂයේ ශරීරකෘත්‍යාධිකාරී මණ්ඩලය සමාවන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කෙරිණි. කරූ ජයසූරියයන්ගේ  මතය වූයේ මෙම සකේ ව්‍යාපාරය “උපාසකේ” ලෙස නම් කළයුතු බවයි. මක්නිසාදයත් එජාපයට දැනටමත් අහිමිව ඇති සිංහල බෞද්ධ චන්ද පදනම ඉදිරියේදීවත් හිමිකරගෙන පබාටත් නොපැරදීමට නම් මෙවැනි ලිබරල් ප්‍රවේශයන් අවශ්‍ය හෙයිනි. නමුත් රවී කරුංකනායකයන් සමාවන්න කරුණානායකයන් වැනිම කුෂාග්‍ර බුද්ධියෙන් යුතු  ලෝ ප්‍රකට ආර්ථික විද්‍යාඥයන්  දෙපලක් වන හර්ෂ ද සිල්වානන් සහ එරාන් වික්‍රමරත්නයන්ගේ අදහස වූයේ මෙම සකේ ව්‍යාපාරය “පුන්සකේ”  ලෙස නම් කළයුතු බවයි. ඔවුන්ගේ නව ලිබරල්වාදී ප්‍රවේශය වූයේ එජාපය යටතේ ලබා ඇති, චීනයද තැතිගන්වන මහමෙරක් වන් දැවැන්ත ආර්ථික වර්ධනය එමගින් සංකේතවත් කළහැකි බවයි. නමුත් රනිල් වික්‍රමසිංහයන්ගේ අදහස වූයේ ඒ නාමයද උචිත වූවත් ඉන් චම්පික රණවකයන්ගේ සිත් රිදී එය දේශපාලන අර්බුදයක්‌ දක්වා වර්ධනය වියහැකි බවයි. නමුත් ජාතික හෙළ උරුමයේ බරපතල බෙදීම සැලකිල්ලට ගත් සජිත් ප්‍රේමදාසයන්ගේ අදහස්වූයේ චම්පිකයන් හක පළාගෙන  ඇති නිසා කිසිදු දේශපාලන අර්බුදයක්‌ ඇති නොවන බවයි.  කල්පනාවටබට  වික්‍රමසිංහයන්ගේ   මතකයට නැගුණේ ගුරුළුගෝමීන් විද්‍යාචක්‍රවර්තීන් පවා මුලුගන්වන උපුල් ශාන්ත සන්නස්ගල ශුරින්ය.

සන්නස්ගල ශුරින් වහා සබයට කැඳවන ලදුව ගැටලුව උන් හමුවේ තැබිණි. උන්ගේ අදහස වූයේ එජාපයේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබිඹු කෙරෙනා නාමයක් වඩාත් උචිත බවයි. සිතුවිළි සයුරේ කිමිදගිය සන්නස්ගලයෝ ඉනික්බිති පතෙක යමක් සටහන්කර  කර වික්‍රමසිංහයන් අතට පත් කළහ. ඒ කියවා බැලූ වික්‍රමසිංහයන් ප්‍රීතියෙන් පිනා යනු සභාතොමෝ දුටහ. පත අතින් අත යැවිණි. මංගල සමරවීරයන්, අකිල විරාජ් කාරියවසමයන්, සාගල රත්නායකයන්, සුජීව සේනසිංහයන් ඇතුලු පිරිස සතුටු කඳුළු වගුළහ. “නපුන්සකේ ව්‍යාපාරය”  ලෙස පතේ සඳහන්ව තිබිණි.  

අපේ කාලයේ අති ප්‍රාඥ ආර්ථික විද්‍යාඥ චන්දරේලාගේ අන්දරේ ස්මිත්ගේ සටහනකි.

Top