Breaking
23 Feb 2025, Sun

සමාජ මාධ්‍ය වාරණය දැවැන්ත ජනමත සංහාරයක පළමු පියවරයි

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් පාලනයට යැයි කියමින් පැය 72 ක කාලයකට ආණ්ඩුව පැනවූ  සමාජ මාධ්‍ය වාරණය දින හයක් ගතවී ඇති මේ මොහොතේද ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීම මෙරට අදහස් ප්‍රකාශනය පිලිබඳ භයානක පෙර නිමිත්තකි.එකී වාරණය ඉවත් කරනවා වෙනුවට ආණ්ඩුවේ ප්‍රධානීන් සමාජ මාධ්‍ය වාරණය සාධාරණීකරණය කරමින් සිදු කරන ප්‍රකාශ එම සැකය තීව්‍ර කරවයි.මේ අතර සමාජ මාධ්‍ය වාරණය සම්බන්දයෙන් විදේශ උපදෙස් ලබා ගැනීමට පවා  ආණ්ඩුව සූදානම් වන බවටද වාර්තා පළවේ.එම වාර්තා අසත්‍ය බව ආණ්ඩුව ප්‍රකාශ කර නොමැති තත්වයක් තුල ඒවා සත්‍ය ලෙස පිළිගැනීමට අපට සිදුවේ.

මේ සියලු කරුණු සලකා බැලීමේදී අපට පෙනී යන්නේ ආණ්ඩුව තමන්ට එරෙහිව නැගෙන ජනතා විරෝධය යටපත් කිරීමට මහනුවර ගැටුම් දඩමීමා කරගෙන ඇති බවය.සමාජ මාධ්‍ය අද දවසේ කොතරම් ප්‍රභල සන්නිවේදන මාධ්‍යයක් ද යන්න මේ ආණ්ඩුව ඉතා හොඳ අවබෝධයක් තිබේ.තමන්ට බලයට පැමිණීමට සමාජ මාධ්‍ය විශාල වැඩ කොටසක් කළ බව ඔවුන්ම පිළිගෙන ඇති බැවිනි.එසේ වුවද ආණ්ඩුව බලයට පැමිණි පසු ඇතිකරන බව කියූ ‘යහපාලනය’ වෙනුවට ජනතා මුදල් සොරකම් කරමින්,රටේ සම්පත් විකුණමින්,රටේ ස්වාධිපත්‍යය හෑල්ලුවට ලක් කරමින්,ජනතාව මත ජීවන බර පටවමින්,ඇතැම් විටෙක ජනතාවට විහිළු සපයමින්ද ගෙන ගිය පාලනයට ප්‍රථමයෙන් ප්‍රහාර එල්ල වුයේද සමාජ මාධ්‍ය ඔස්සේය.

මේ නිසා මහනුවර ගැටුම් ඇතිවීමට පෙර සිටම සමාජ මාධ්‍ය සේම අනෙකුත් මාධ්‍යද පාලනය කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබූ බව පැහැදිලිය.අගමැති වරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත තර්ජනය කරද්දී ජනාධිපතිවරයා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වාරණය අවශ්‍ය බව හැඟවෙන අධිකාරීමය ප්‍රකාශ නිකුත් කල අන්දම අපට මතකය.ඒ අනුව මේ වන විටද ඇතැම් වෙබ් අඩවි මෙරට තුල තහනම් කොට ඇත .එනිසා මේ මොහොතේ සමාජ මාධ්‍ය මත පනවා ඇති වාරණය කිසිසේත්ම මහනුවර ගැටුම් සමතයකට පත් කිරීමේ සද් චේතනාවෙන් පනවන ලද්දක් ලෙස පිලි ගැනීමට අප සූදානම් නැත.මන්ද යත් මෙම වාරණ සමගම තාවකාලිකව යැයි කියමින් හදිසි නීතිය රට පුරා පැනවීමටද ආණ්ඩුව පියවර ගත් බැවිනි.

2020 දක්වා ඉදිරි වර්ෂ දෙක මැතිවරණ වර්ෂ දෙකකි.පළාත් සභා,පාර්ලිමේන්තු මෙන්ම ජනාධිපතිවරණයද මේ කාලය තුල පැවැත්වීමට නියමිතව තිබේ.පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමෙන්  ආණ්ඩුවඅන්ත පරාජයක් ලැබූ පසු ජනමතය තව තවත් ගොනුවෙමින් ඇත්තේ ආණ්ඩු විරෝධී කඳවුරු වෙතය. ජනතා අදහස් නිදහසේ සංසරණය වීම එම තත්ත්වය වේගවත් කිරීමට හේතුවකි.එනිසා කුමන ක්‍රමයකින් හෝ ජනතා අදහස් සංසරණය වලක්වා ලීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රමුඛ අවශ්‍යතාව වී තිබේ.ඒ සඳහා පළමු පියවර තබන්නට මහනුවර ගැටුම් ආණ්ඩුවට හොඳ ප්‍රවේශයක් ලබා දුන් අතර මී ලඟට ආණ්ඩුව ප්‍රධාන ධාරාවේ  මාධ්‍ය පාලනයටද දැනටත් වඩා යොමු නොවනු ඇතැයි සහතික විය හැක්කේ කාටද ?

මේ නිසා සමාජ මාධ්‍ය වාරණය ආණ්ඩුවේ තවත් තකතීරු වැඩක් ලෙස උපහාසයට ලක්කොට අද නිහඩව සිටීම  හෙට දවසේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අහිමි කිරීමට හේතුවක් වනු ඇත.යම් හෙයකින් විවිධ කරුණු ඉදිරි පත් කරමින් හදිසි නීතිය යලි යලිත් පැනවීමට පවා ආණ්ඩුව පසුබට නොවනු ඇත.ඒ නිසා ආණ්ඩුවේ මෙම මර්දනකාරී සැලසුම පරාජය කිරීමේ වගකීම මාධ්‍ය සංවිධාන වල පමණක් වගකීමක් නොකොට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය , සමාජයේ සියලුම උගතුන් ,බුද්ධිමතුන් ,වෘත්තිකයන් ,කලාකරුවන්,සිවිල් සංවිධාන,ශිෂ්‍ය සංවිධාන,ආදී වශයෙන් සමාජයේ සියලු බලපෑම් කණ්ඩායම් වල වගකීමක් කර ගනිමු !  මෙහිලා මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙස මහන්සි වූ උගතුන් ,බුද්ධිමතුන් ,මාධ්‍ය සංවිධාන, හා සිවිල් සංව්ධාන වලට විශේෂ වගකීමක් පැවරෙන බවද සිහිපත් කිරීමට කැමැත්තෙමු.

 

කුලශ්‍රී කාරියවසම්

කැඳවුම්කරු

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.