Featured

සයිටම් මුදලාලිට රෙදි නැතිව කඩේ යන කිරිඇල්ලගේ අධිවේගී ගසාකැම …

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ කියුම් කෙරුම් රැසක් දැන් කරළියට පැමිණ අවසන්ය. කිරිඇල්ල යනු සයිටම් මුදලාලිගේ සල්ලිවලට රෙදි නැතිව කඩේ යන්නෙකු බව දැන් නොදන්නා කෙනෙකු නැත. සයිටම් මුදලාලි රකින දෙබෑයන්ගෙන් එක් බෑයෙක් රාජිතය. අනෙක් බෑයා කිරිඇල්ලය. කිරිඇල්ල සල්ලි ගරන්නේ සයිටම් හොර උපාධි කඩයෙන් පමණක් නොවේ. මේ දවස්වල කිරිඇල්ලගේ හොඳම ඉල්ලම වී තිබෙන්නේ ඉදි කෙරෙමින් තිබෙන අධිවේගී මාර්ගයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා වූ දිගුවෙන් කිරිඇල්ලට හොඳ කුට්ටියක් ලැබුණේය. උපදේශනයේ සිට රක්ෂණය දක්වාත්, ව්‍යාපෘතියෙන් සැලසුම් වෙනස් කිරීමේ සිට ගුණාත්මක භාවය පහත දැමීම දක්වාත් මේ වෙනුවෙන් චීනුන්ට අවශ්‍ය පරිදි සියලු දේ වෙනස් කරන්නේ කිරිඇල්ලගේ පමණක් නොව ඔහුගේ දියණියගේ ද අනුදැනුම හා මැදිහත්වීම අනුවය. මේ නිසා අධි සුඛෝපභෝගී බෙන්ස් රථවල සිට මිලියන ගණනින් කොමිස් මුදල් කිරිඇල්ලගේ සාක්කුවට වැටෙමින් තිබේ.

දක්ෂිණ අධිවේගයේ රක්ෂණ කටයුතුවල දී සහ උපදේශන කටයුතුවලදී ද, චීන ජාතිකයන් මෙරට ඉදි කිරීම් කටයුතුවලට සම්බන්ධ කර ගැනීමේ දී ඔවුන්ගේ වීසා මෙන්ම අධ්‍යාපන සුදුසුකම් නොසලකා කටයුතු කරමින් ද කිරිඇල්ලගේ දියණිය විසින් කරන ලද වංචා, දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයක දී ම හෙළි කර ඇත. එතෙකිනුදු නොනැවතුණු කිරිඇල්ල ඇමතිවරයා මධ්‍යම අධිවේගයෙන් සිදු කරන ගසාකෑම් සහ වංචාවන් පිළිබඳව ද දැන් තොරතුරු අනාවරණය වෙමින් තිබේ. මේ කියන්නේ එසේ ඇමති කිරිඇල්ල විසින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමට මැදිහත් වෙමින් අයථා ලෙස තමන්ගේ සාක්කුව පුරවා ගන්නා ආකාරයයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර තුනක් යටතේ සකස් කර ඇති අතර, මේ වනවිට කිරිඇල්ල ඇමතිවරයාගේ අවශ්‍යතා අනුව පළමු හා දෙවැනි අදියර ඉදි කිරීම් පසෙක තබා තෙවැනි අදියරේ ඉදි කිරීම් ආරම්භ කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එයට හේතු වී ඇත්තේ පළමු හා දෙවන අදියර සඳහා ආයෝජනය කිරීමට එකඟව සිටි පාර්ශ්වයන් ඉන් ඉවත් වීම හේතුවෙනි.

පළමු අදියර සඳහා චීනය ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර තිබූ නමුත්, අපේ දේශපාලනඥයන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් චීනයේ එම අදහස වෙනස් වී තිබේ. එයට හේතු වී ඇත්තේ මීට පෙර චීනය විසින් ආයෝජනය කරන ලද ව්‍යාපෘති අසාර්ථක වීම හා විරෝධතා එල්ල වීමයි. මධ්‍යම අධිවේගයේ ඉදි කිරීම් සඳහා පරිසර වාර්තා සකස් කර නොමැති අතර, චීනයේ අදහස වෙනස් වීමට එය ප‍්‍රධාන හේතුවක් වී ඇත.

දෙවැනි අදියර සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත්ව සිටින්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ලංකා බැංකුවයි. පළමු අදියරේ වැඩ කටයුතු ආරම්භ නොකළ තත්ත්වයක් යටතේ දෙවැනි අදියරේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යෙදුව ද මේ වනවිට එය ද නතර වන තත්ත්වයක් ඇතිව තිබේ. ඒ අදාළ ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමට සහ මුල් සැලැස්මට පටහැණිව ඉදි කිරීම් සිදු කිරීම නිසා ඇති වී තිබෙන මහජන විරෝධය නිසාය. ඇමරිකානු ඩොලර් බිලියන 137ක් ආයෝජනය කිිරීමට නියමිත අතර, විදෙස් ආයෝජකයන් ආයෝජනය කිරීමට ඉදිරිපත් නොවීම නිසා කිරිඇල්ල ඇමතිවරයා දේශීය ආයෝජකයන් හරහා හෝ මුදල් ලබාගෙන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා උත්සාහ දරමින් සිටී. පසුගිය දා ප‍්‍රසිද්ධියට පත් වූ ඇමති කිරිඇල්ලගේ බත්තරමුල්ලේ සිට ත‍්‍රිකුණාමලයට සිදු කරන ලද ගුවන් චාරිකාවට මුදල් ලබාගෙන ඇත්තේ ද මෙම කොටස සඳහා වෙන් කර ඇති මුදල්වලින් ය.

කෙසේ වෙතත්, දැන් ඇමතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ පළමු සහ දෙවැනි අදියරයන් එසේම තිබිය දී ව්‍යාපෘතියේ තුන් වන අදියර ක‍්‍රියාවට නැඟීමට ය. ඒ සඳහා මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේ ඉදි කිරීම් සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතිය උල්ලංඝනය කර අදාළ මාර්ගය ඉදි කිරීමේ කොන්ත‍්‍රාත්තුව ජපන් ටයිසේ කෝපරේෂන් සමාගමට පැවරීමට අනුමැතිය ලබා දී ඇත්තේ ඇමති කිරිඇල්ලගේ සෘජු මැදිහත් වීම නිසාය.

මං තීරු හතරකින් සමන්විත කිලෝමීටර් 32.5ක් දුරැති තුන්වන අදියරේ ඉදි කිරීම් කටයුතු ඇරඹෙන්නේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේය. මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරේ ඉදි කිරීම් සඳහා කොන්ත‍්‍රාත්තුව ජපන් සමාගමකට පිරිනැමීමත්, අරමුදල් මූලාශ‍්‍රය සඳහා ජපන් බැංකුවක් තෝරා ගැනීමත් ජපන් තානාපති කාර්යාලය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අතර සිදුව ඇති රහස් ලිපි හුවමාරුවක් මඟින් මේ සඳහා ඇමතිවරයාගේ සම්බන්ධය පැහැදිලිවම හෙළිදරවු වී තිබේ.

2015 වසරේ දෙසැම්බර් මස 08 වන දා කැබිනට් අනුමැතිය හිමි වූයේ කිලෝමීටර් 6.5 බැගින් මාර්ගයේ ඉදි කිරීම් කොටස් කර දේශීය කොන්ත‍්‍රාත්කරුවන් පස් දෙනකුට අදාළ ඉදිකිරීම් පවරා දීමටය. ඒ සඳහා තෝරා ගන්නා කොන්ත‍්‍රාත්කරුවන්ට මහා භාණ්ඩාගාරය මැදිහත් වී දේශීය හෝ විදේශීය බැංකුවලින් මූල්‍ය පහසුකම් සලසා දීමට ද තීරණය කර තිබිණි. අමාත්‍ය මණ්ඩල තීරණය වෙනස් කරමින් ජපන් ටයිසේ කෝපරේෂන් සමාගමට ටෙන්ඩරය ප‍්‍රදානය කර තිබෙන්නේ කිලෝමීටර් 32.5ක සමස්ත දුර ප‍්‍රමාණයේ ම ඉදි කිරීම් කටයුතු ආවරණය කිරීම සඳහා ය.

මාර්ගය ඉදි කිරීමේ කොන්ත‍්‍රාත්තුව සඳහා ටයිසේ සමාගම නිර්දේශ කරන්නේ ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයයි. එම සමාගමට අමතරව ජපන් තානාපති කාර්යාලය විසින් පෙන්ටා ඕෂන් කන්ස්ට‍්‍රක්ෂන් සහ වකචිකු කන්ස්ට‍්‍රක්ෂන් යන සමාගම් දෙක ද නම් කර තිබිණි. ජපන් තානාපති කාර්යාලය අදාළ සමාගම් නම් කිරීමට හේතු වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර් සූරියආරච්චි විසින් ජපන් තානාපති කාර්යාලයට යොමු කරන ලද විශේෂ ලිපියක් නිසා ය.

එකී රහස්‍ය ලිපියට අනුව ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවේ දී ජපන් සමාගම් තුනෙන් සමාගම් දෙකක් මිල ගණන් ඉදිරිපත් නොකරන බව පවසා ඉවත් වී ඇත.

එම ඉවත් වීමත් සමඟ ටයිසේ සමාගමට ටෙන්ඩරය ප‍්‍රදානය කෙරෙන්නේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගෙන නොවේ. ව්‍යාපෘතියේ ඉංජිනේරුමය වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය විස්සක්ව තිබිය දී ජපන් සමාගමට ටෙන්ඩරය පිරිනමන්නේ රුපියල් බිලියන 159.2 කටය. එය ඉංජිනේරුමය ඇස්තමේන්තුවට වඩා 30%ක වැඩි වීමකි.

ජාතික ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අනිවාර්ය කෙරී ඇති ලංසු බැඳුම්කරය ඉදිරිපත් කිරීමට ද ජපන් ටයිසේ කෝපරේෂන් සමාගම සමත්ව නැත. ජපන් ටයිසේ සමාගම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් මූලාශ‍්‍රය ලෙස තෝරාගෙන තිබෙන්නේ ජපානයේ මිට්සුබිෂි බැංකුවයි. එම බැංකුවේ ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැනනුවන් වන අර්ජුන් ඇලෝසියස් ය.

කෙසේ නමුත් අග‍්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ද මේ ගනුදෙනුව සම්බන්ධව මැදිහත්ව ඇති බවයි. පළමු අදියරේ ඉදි කිරීම් සඳහා ජපානයේ ටයිසේ කෝපරේෂන් සහ ෆුජිටා කෝපරේෂන් යන සමාගම් දෙක ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ අතර, ෆුජිටා සමාගම ටයිසේ සමාගමට වඩා මිලියන 12ක් අඩුවෙන් ලංසු තබා තිබිණි. කෙසේ වෙතත්, කිරිඇල්ල ඇමතිවරයා සිය තනි කැමැත්තට ටයිසේ සමාගමට ඉදිකිරීම් කටයුතු පවරා තිබේ. ටයිසේ කෝපරේෂන් සමාගම ජපානයේ සිදු කළ අසාර්ථක ව්‍යාපෘති හේතුවෙන් අසාදු ලේඛනගත කොට ඇති සමාගමකි. එම සමාගම විසින් ජපානයේ ඉදි කළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් අසාර්ථක වී ඇති අතර ඒ කිසිවක් නොසලකා ඉදිකිරීම් කටයුතු ටයිසේ සමාගමට ලබා දීමට කිරිඇල්ල ඇමතිවරයා කටයුතු කර තිබේ.

එසේම මධ්‍යම අධිවේගයේ ඉදි කිරීමේ උපදේශන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ දැමීමට ද ඇමතිවරයා මැදිහත් වී තිබේ. ඒ අනුව උපදේශන ගාස්තු සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 2,845ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබෙන්නේ පසුගිය ජූලි මස 25 වන දාය. ඒ අනුව මධ්‍යම අධිවේගයේ උපදේශන ගාස්තුව එක් කිලෝ මීටරයක් සඳහා රුපියල් ලක්ෂ අටක් ඉක්මවයි.

පොදු පෙරමුණු ආණ්ඩුවේ ඇමතිකමක් කරමින් සිටි කිරිඇල්ල එක්සත් ජාතික පක්ෂයට යාම නිසා අවුරුදු 15ක් පමණ විපක්ෂයේ සිටින්නට සිදු විය. ඒ නිසා දැන් ඒ අවුරුදු පහළොවේම ඇරියස් ඉක්මනින් කවර් කරන්නට කිරිඇල්ලට සිතෙනවා වන්නට ඇත. ලැබී ඇති ඇමතිකම් දෙකෙන්ම එක විට ඉහගෙන කන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසාය. එහෙත්, මේ ගසාකෑම් ඒ තරම් කාලයක් සිදු කරන්නට හැකි බවක් පෙනෙන්නට නැත. මේ වනවිට කෝප් කමිටුවෙන් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ නිසා නුදුරේ දී ම කිරිඇල්ලගේ මේ හොරාකෑම් කරුණු කාරණා සහිතව ජනතාව හමුවේ හෙළිදරවු වනු ඇත.

ලංකා ඉරිදා සංග්‍රහය

Top