Breaking
24 Feb 2025, Mon

සර්ව පාක්‍ෂික කමිටු එපා…..මෛත්‍රිපාල කළ යුත්තේ මහා සංඝයා වහන්සේට විරුද්ධව යෑම නොව, දහතුන හා රනිල් ඉවත් කිරීමට කටයුතු කිරීමයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කියා තිබුණ ව්‍යවස්ථාව ගැන සලකා බලන්න සර්ව පාක්‍ෂික කමිටුවක් පත් කරන්න ඕන කියලා. සර්ව පාක්‍ෂික සම්මේලන, කමිටු පත් කරන්නෙ වැඩක් නොකරන්න නම් ඒක තරමක හොඳ වැඩක්. එහෙත් ඒවට සහභාගි වන අය විවිධ අරමුණු ඇතිව එනවා. මාත් සර්ව පාක්‍ෂික නියෝජිත සම්මේලනය කියලා එකකට සහභාගි වෙලා තියෙනවා. මා නම් සහභාගි වුණෙ අපේ හමුදා ප්‍රභාකරන් පරාජය කරන තෙක්. බොහෝ දෙනා අද මොනව කිව්වත් එදා කිව්වෙ හමුදාවන්ට කොටි පරාද කරන්න බැහැ කියලා. ඒත් මා එකහෙළා ම කිව්වෙ අපට කොටි පරාද කරන්න පුළුවන් කියලා. ඒ අනුව මා ඒ නියෝජිත සම්මේලනයට සහභාගි වුණෙ කොටි පරාජය කරන්න හමුදාවට කල් අරන් දෙන්න පමණයි.

හමුදාච කිලිනොච්චිය අල්ල ගත්තට පස්සෙ මා එයට සහභාගි වීම නැවැත්තුව. මා දැන හිටිය ඉතිරි ටික කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි කියලා. ඒ සම්මේලනයෙන් කිසිම වාර්තාවක් නිකුත් කෙළේ නැහැ. එක් වතාවක් ඉඩම් හා පොලිස් බලතල දහතුන්වැනි සංශෝධනයෙ තියෙන විධියට පැවරිය යුතු ය කියලා යෝජනාවක් ආවා. එයට මා තරයේ විරුද්ධ වුණා. අවසානයේ දී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායක හා නියෝජිත කමිටු සාමාජික රැස්වීමක් කැඳෙව්වා. එහි දී මහින්ද ඉඟියක් දුන්නා එය කෙරෙන්නෙ නැති බවට. කතාව එතැනින් ඉවර වුණා.

එහෙත් සම්මේලනය දිගින් දිගට ම රැස්වුණා. කිසිම තීරණයක් නැහැ. පස්සෙ කම්කරු කොංග්‍රසයෙ යෝගරාජන් හා මුස්ලිම් කොංග්‍රසයෙ කාරියප්පර් ඔවුන් දෙන්න පමණක් අත්සන් කරල සර්ව පාක්‍ෂික නියෝජිත සම්මේලන වාර්තාවක් හැටියට වාර්තාවක් දුන්න. සමහර ජනමාධ්‍යකරුවන් ඒක සම්මේලන වාර්තාවක් ලෙස සැලකුවා. ඒ වන විට සම්මේලනයට මා ගියේත් නැහැ. ඔය කමිටුවල වැඩ කෙරෙන්නෙ එහෙමයි. ඔය කමිටු සම්මේලන මහජන මුදල් කා දැමීමක් පමණයි. කමිටු සාමාජිකයන්ගේ කාලය කා දැමීමක් පමණයි.

මෛත්‍රිපාල සිරිසේන මේ සර්ව පාක්‍ෂික කමිටු කතාව කියලා තියෙන්නෙ සුනේත්‍රාදේවි පිරිවෙනේ පවත්වපු රැස්විමක. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන් ප්‍රකාශ කරලා තියෙනවා ඊනියා ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන් එක ම එක තැනැත්තා මෛත්‍රිපාල බව. අද මේ විසඳන්න ප්‍රශ්නයක් නැහැ. 1833දි ඉංගිරිසින් බෞතීස්ම කරපු දෙමළ ජාතිවාදය නොයෙකුත් අවස්ථා පහු කරලා 2009 දි නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව ඉවර වුණා. ඉන් පස්සේ ඒ ව්‍යාජ ප්‍රශ්නයවත් දේශපාලනික ව නැහැ.

නන්දිකඩාල් කලපුවෙ දි පැරදුණෙ ප්‍රභාකරන් විතරක් නො වෙයි. 1833 සිට එක් එක් අවස්ථාවෙ දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඉංගිරිසින්ගේ හා පසුව ඉන්දියානුවන්ගේ අනුග්‍රහයෙන් හා ආධාරයෙන් කටයුතු කළ රාමනාදන්, අරුණාශලම්, පොන්නම්බලම්, සුන්දරලිංගම්, නාගනාදන්, චෙල්වනායගම්, අමිර්තලිංගම්, සම්බන්දන්, විග්නේස්වරන් ආදීන් සියල්ල ම පැරදුණා. එදා දහතුන්වැනි සංශෝධනය හා ඉන්දු ලංකා ගිවිසුමත් දේශපාලනික ව පරාජය වුණා. අද ඒ ව්‍යාජ ප්‍රශ්නය පවත්වාගෙන යනු ලබන්නෙ ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියානුවන් විසින්.

ඔවුන් ඒ පවත්වාගෙන යන්නෙ සිංහල බෞද්ධයන්ට විරුද්ධව. ඉන්දියාව බෞද්ධයනට සලකන්නෙ නැහැ. ඒ ගැන මායාවතීගෙන් දැනගන්න පුළුවන්. ඉන්දියාවෙ බෞද්ධයන්ට සලකන්නෙ කුල හීනයන් ලෙස. 2009න් පස්සෙ මහින්ද දේශපාලනික ව පැරදිලා තිබුණ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නෛතික ව ඉවත් කෙළේ නැහැ. ඔහු ඩලස්, රාජිත, ඩිව්, තිස්ස, වාසු, දයාන් ආදීන්ට යටවුණා. ඔහු අප කී දේ සතපහකට ගණන් ගත්තෙ නැහැ. අදත් ගණන් ගන්නෙ නැහැ.

අභයතිස්ස හාමුදූරුවන් ප්‍රකාශ කරන විධියට මෛත්‍රිපාලට ඊනියා ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන් නම් ඒ දහතුන ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමෙන් පමණයි. අද මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු තෛනිකායික මහා සංඝයා වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරන්න කියායි. එහි තේරුම දැන් මේ අවස්ථාවේ දී දැනට තියන ව්‍යවස්ථාව දැනට ක්‍රියාත්මක කරන ආකාරයෙන්, පොලිස් ඉඩම් ආදී බලතල නැතිව, ආණ්ඩුකාරයන් ද සහිතව විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකර ක්‍රියාත්මක කරන්න යන්නයි. එහි තේරුම සර්ව පාක්‍ෂික කමිටු සම්මේලන ආදියත් මේ අවස්ථාවෙ අවශ්‍ය නැති බව.

මෛත්‍රිපාල ඒ බව තේරුම් ගත යුතුයි. සරව පාක්‍ෂීක කමීටු පත් කිරීම කාලය ඉල්ලා ගැනීමක් වුවත් එය මහා සංඝයා වහන්සේගේ අනුශාසනාව ප්‍රතික්‍ෂෙප කිරීමක්. මෛත්‍රිපාල රනිල් මෙන් ම සංඝයා වහන්සේට විරුද්ධ ව කටයුතු කරනවා ද? මේ ප්‍රශ්නය විසඳීමට තාවකාලික ව නමුත් ක්‍රමයක් තියෙනවා. ඒ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමයි. ජනාධිපතිට රනිල් ඉවත් කර වෙනත් අයකු අගමැති ලෙස පත් කිරීමට බලතල තියෙනවා. අද එක් එක් අය පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනවා. අද කළ යුතු ප්‍රධාන කාර්යයක් වන්නේ මෛත්‍රිපාල හා මහින්ද කණ්ඩායම් එකතු කිරීමයි. එයට අර පෞද්ගලික න්‍යාය පත්‍ර කාරයන්ගේ සහාය ලැබෙන්නේ නැහැ.

අද මහා සංඝයා වහන්සේ මේ අවස්ථාවෙ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කර අවසන්. ඒ සමග සර්ව පාක්‍ෂික කමිටුත් ප්‍රතික්‍ෂෙප කර තියනවා. මෛත්‍රිපාල කළ යුත්තේ මහා සංඝයා වහන්සේට විරුද්ධව යෑම නොව, දහතුන හා රනිල් ඉවත් කිරීමට කටයුතු කිරීමයි.

නලින් ද සිල්වා

2017 නොවැම්බර් 01

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.