Breaking
25 Feb 2025, Tue

ස්වාධීන කොමිසන් සභා ස්වාධීන ද?

ඉහත සඳහන් මාතෘකාව දුටු ගමන් ඇතැමුන් එහි පරස්පරයක් තියෙනව කියලා කියයි. මගේ පාසල් මිතුරකු මේ ළඟදි මගේ ලිපිවල වාක්‍ය අසම්බන්ධ හදිසියේ වෙනස්වන බව සඳහන් කර තිබුණා. තවත් පාසල් මිතුරකු කියා සිටියේ ගණිතඥයකු ලෙස මා තර්කානුකූල නැහැ කියා. පළමුවැන්නා ජාතිකත්වයට පක්‍ෂයි. දෙවැන්නා ජාතිකත්වයට විරුද්ධයි. මා කිසි දිනෙක ගණිතඥයකු වී සිටියේ නැහැ. මගේ තර්ක ගැන බොහෝ දෙනකු එතරම් පැහැදීමක් නැහැ. ඒත් මට ඇතැම් දේ නොකියා ඉන්න බැහැ. උදය ගම්මන්පිල වැට් පනතට විරුද්ධව උසාවි ගිහිල්ලා. ඒ ගැන මගේ පැහැදීමක් නැහැ. ඔහු වැට් බද්දට විරුද්ධ වෙන්නෙ පළාත් සභාවල බලය ආරක්‍ෂා කරගන්න. බොහෝ දෙනාට මා කියන්නෙ කුමක් දැයි ප3හැදිලද වන එකක් නැහැ. පළාත් සභාවල බලය ටිකකින් හරි අඩුවෙනව නම් වැට් බද්දට වඩා එය වැදගත්. බන්දුල ගුණවර්ධන හා සිසිර ජයකොඩි කියන්නෙත් ගම්මන්පිල කියන දේ ම දැයිි පැහැදිලි නැහැ.

අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවලා. ජනාධිපති එය පිළිගත්තේ ද නැත් ද යන්න පැහැදිලි නැහැ. ඒ ගැන අද දැනගන්න ලැබේවි. සමහරවිට ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගන්නත් බැරි නැහැ. ඒ ගැන අප එතරම් කරදර වන්න ඕනත් නැහැ. ආණ්ඩුවේ අර්බුදය මතුපිටට එන්නෙ මේ ආකාරයට. ඒත් මේ අර්බුදය තාවකාලිකව වුනත් සමනය කරගනීවි. ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් කියලා කිව්වට දහනවවැනි සංශෝධනය අර්ථයෙන්වත් එහෙම ජාතික ආණ්ඩුවක් නොවෙයි. මෙය එ ජා පක්‍ෂ ආණ්ඩුවක්. අර්බුදය ඒකයි. මේ ගමන අර්බුදය මතුවුනේ මෛත්‍රිපාලගෙ පුතා මුල් කරගෙන.

මේ ඊනියා ස්වාධීන කොමිසම් වග කියන්නේ පාර්ලිමේන්තුවටයි. ඒවා අමාත්‍යාංශයකට අයත් වන්නේ නැහැ. ප්‍රශ්නය වන්නේ මේ ඊනියා ස්වාධීන කොමිසම් කොච්චර ස්වාධීන ද කියන එකයි. කොමිසම් පත්කිරීම හා එහි ක්‍රියාකාරීත්වය ආදිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 අ පරිච්ඡෙදයේ සඳහන් වෙනවා. මේ ස්වාධීන කොමිසම් හා සභාපතිවරුන් පත්කෙරෙන්නේ ව්‍යස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපති විසිනුයි. ප්‍රශ්නය වන්නේ ව්‍යවස්ථාදායක සභාව කොපමණ ස්වාධීන ද යන්නයි. එහි සභාපතිවරයා වන්නේ කතානායක. වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායක ස්වාධීන ද? අපක්‍ෂපාත ද? යුක්ති ගරුක ද? කරු ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට තරග කර පරාජය වූ අයෙක්. ඔහුට ඇමතිකමක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට කතානායක පදවිය ලැබුණා. ඔහුට අද එ ජා පක්‍ෂයට හා අගමැතිට විරුද්ධව වැඩ කළ හැකි ද? ඔහු තවමත් එ ජා පක්‍ෂයේ. ඒකාබද්ධ විපක්‍ෂය ඔහුගේ අපක්‍ෂපාතීත්වය ගැන කියන්නේ කුමක් ද? ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට චරිත සහතික දීමට ඉදිරිපත් වෙයි ද? ඔහු ඒකාබද්ධ විපක්‍ෂය නොපිළිගන්නේ නීතිය නිසා පමණක් ද?

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අතර අගමැති හා විපක්‍ෂ නායක ඉන්නවා. බැලූ බැල්මට එතැන ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒත් ඒ බැලූ බැල්මට. මේ විපක්‍ෂ නායකයා එක්සත් ජාතික පෙරමුණට විරුද්ධ ව යන අයකු නොවෙයි. අගමැති එක්සත් ජාතික පෙරමුණේ. විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ. අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරියක් තේරී පත් වී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන්. එය එසේ වන්නේ කෙසේ ද? ලංකාවේ ඇත්තේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ද?

ව්‍යස්ථාදායක සභාවේ එක් සාමාජිකයකු ජනාධිපති විසින් පත්කරන ලද මන්ත්‍රීවරයෙක්. මේ පාර්ලිමේන්තුවේ එසේ පත්කර තිබෙන්නේ ඇමතිවරයකු. ඔහුගේ මතය කාගේ මතය විය හැකි ද? පස්දෙනකු පත්කෙරෙන්නේ අගමැතිගේ හා විපක්‍ෂ නායකයාගේ නිර්දේශ මත ජනාධිපති විසින්. ඉන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුයි. අගමැති හෝ විපක්‍ෂ නායක හෝ අයත් නොවන පක්‍ෂයකින් මන්ත්‍රීවරයකු ද ව්‍යවස්ථාදායක සභාවට පත්වෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ සම්මුතිය අනුව එය අපක්‍ෂපාතී ද? ස්වාධීන ද? මේ සුද්දන්ගේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට උරුම කර දී තිබෙන දේ. ව්‍යවස්ථාදායක සභාවේ දහදෙනාගෙන් නව දෙනකු ම පත්කෙරෙන්නේ ජනාධිපතිට අගමැතිට හා විපක්‍ෂ නායකට අවශ්‍ය ආකාරයට. අර ස්වාධීන කොමිසම් කියන ඒවාට සාමාජිකයන් හා සභාපතිවරුන් නිර්දේශ කෙරෙන්නේ මේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ද කියන එක තමයි ප්‍රධාන ම ප්‍රශ්නය. අප මෙතරම් රැවටෙන්නේ ඇයි?

ව්‍යවස්ථාදායක සභාව අපක්‍ෂපාතීවත්, ස්වාධීනවත් වන්නේ නැහැ. ඒකෙන් පත්කෙරෙන ඊනියා ස්වාධීන කොමිසම් සභා ගැන කියනුම කවරේ ද?

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 18

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.