Breaking
5 Feb 2025, Wed

“ස්වාධීන” ලේබලය අලවාගෙන මැතිවරණ කොමිසම ව්‍යවස්ථාවට පයින් ගහලා … දේශප්‍රියගේ නරිවාදම් සහ මැතිවරණ කොමිෂන් සභාවේ මේ අවනීතික, නිර්ලජ්ජිත ක්‍රියාව

Published on: Jun 23, 2020- මැතිවරණ කොමිෂන් සභාවට “ස්වාධීන” ලේබලය අලවා ඇත්තේ ඔවුන්ට ස්වාධීන යයි සිතෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට නොව, සමස්ත ඡන්ද දායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ ස්වාධීනත්වයට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මැතිවරණ කොමිසමට (මැ.කො.) “ස්වාධීන” ලේබලය අලවා ඇත්තේ ඔවුන්ට ස්වාධීන යයි සිතෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට නොව, සමස්ත ඡන්ද දායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ ස්වාධීනත්වයට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කිරීමටයි.

මැතිවරණ කොමිෂන් සභාව, තමන් වෙත නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සමාජ ජාල ක්‍රියාකාරකම් පාලනය කිරීමටත්, පලාත් පාලන කොමසාරිස්වරුන් හා සභා ලේකම්වරුන් පාලනය කිරීමටත් කටයුතු කිරීම කනගාටුවට කරුණක් යැයි තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාව අනුව, පාර්ලිමේන්තුව විසින් නීති සෑදිය යුතු බවට නියමයක් දක්වා ඇති කරුණු 9 කි. ඒ අනු ව්‍යවස්ථාවේ අවසානයේ ඇති අතුරු විධානයේ මෙසේ දැක්වේ. “එසේ වුව ද, එවැනි යම් නීතියකින් 89 වන සහ 91 වන ව්‍යවස්ථාවල දැක්වෙන නුසුදුසුකම්වලට තවත් නුසුදුසුකම් එකතු නොකළ යුත්තේ ය.” මැතිවරණ කොමිසණ් සභාව, රාජ්‍ය සේවකයින්ට සමාජ ජාලා තහනම් කරමින්, විනය පරීකෂණ පවත්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින්, පාර්ලිමේන්තුවට තේරී පත්වීම සදහා ‘‘නුසුදුසුකමක් අලුතෙන් නිර්මාණය කිරීමට‘‘ උත්සහ දරයි.

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ ව්‍යවස්ථාවේ (4) වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය මගින්, රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක් එවැනි භාවිත කිරීමක් වළක්වාලීමට කොමිෂන් සභාවට බලය ලැබී ඇත. පළාත් පාලන ආයතනයක යම් නිශ්චල දේපළක් හෝ චංචල දේපළක් හෝ සම්බන්ධයෙන් විධාන කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් ලබා දී නැත.

* මෙසේ තිබිය දී, පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් පවත්වනු ලබන කාල සීමාව තුළ, පළාත් පාලන ආයතනවල දේපළ භාවිත කිරීම පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව විධාන නිකුත් කිරීමේ හැකියාවක් නැත. තෝරාගත් පලාත් පාලන සභිකයින් පිරිසකට පමණක් රාජ්‍ය දේපල අයථා පරිහරණය, නිවාඩු ලබා ගැනීම වැනි අනීතික සීමාවන් ලිඛිතවම පැනවීමේ අනිටු ප්‍රතිඵලය වන්නේ, එවැනි යමක් කර ඇතැයි යනුවෙන් සඳහන් කරමින් එසේ කරන ලද තැනැත්තා ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව ඡන්ද පෙත්සමක් මගින් ඔහු මන්ත්‍රී ධුරයට තෝරා පත් කර ගැනීම ශුන්‍ය හා බලරහිත කරන ආඥාවක් ඉල්ලා යම් තැනැත්තකුට අධිකරණයට යාමට අවස්ථාව සලසා දීමකි. ඒ විධාන අනුව වරදක් කර ඇතැයි යන්න අධිකරණය විසින් තීරණය කිරීමට අවස්ථාව සලසා දීමක් ද මෙයින් අදහස් වේ. එවිට ඒ තැනැත්තාගේ මන්ත්‍රී ධුරය බලරහිත හා ශුන්‍ය කරනු ලබන්නේ ඔහු නුසුදුස්සකු වූ සේ සලකා ගෙන ය. (උදාහරණයක් ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් ව සිටින අපේක්ෂකයින් අතුරින් සභාපතිවරු තිදෙනෙකුට පමණක් මැ.කො.ස. විසින් ලිඛිත දැන්වීමක් සිදු කිරීම. සෑම දිස්ත්‍රික්කයම ඇත්තේ මෙවැනි තත්වයකි)

* මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණයකට යම් අයකු තෝරා පත් කර ගැනීමට ‘නුසුදුසු කමක් අලුතෙන් නිර්මාණය කිරීමට‘ කටයුතු කර ඇත. මෙරට ලියාපදිංචි කිසිදු දේශපාලන පක්ෂයක්, මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක්, පාර්ලිමේන්තුව සතු බලය ද ඉක්මවමින් මහින්ද දේශප්‍රිය, රත්නජීවන් හූල්, හා අබේසේකර යන සමාජිකයින්ගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාව දරණ උත්සාහයට විරෝධය පළ කර නැත.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන, දේශන පවත්වන, විරෝධතා පවත්වන සිවිල් සංවිධාන මැ.කො. සමාජ ජාල වාරණයට එරෙහිව නිහඬව සිටීම පුදුම සහගතය. විශේෂයෙන්ම, රාජකාරි උපදෙස් පවා සමාජ ජාල මාධ්‍ය මගින් ලබාදීම පුරුද්දක් කොට ගෙන සිටින මැ.කො. සභාවේ සභාපතිවරයාගේ ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන්නේය.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

* මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති 2020. 06. 06 දින නිකුත් කර ඇති අංක 2178/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති විධානවල පළාත් පාලන ආයතනයක යම් සභිකයකු පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයකු වන විට, ඔහුට පමණක් වන සේ විශේෂ නුසුදුසුකමක් ඇතුළත් කර ඇත. පාර්ලිමේන්තුවට වත් කළ නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත නියමය ද අබිබවා යමින් පාර්ලිමේන්තුවට වඩා ඉහළ අධිකාරයක් ඇති ව මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටී. ඉදිරියේ දී මෙය මනාප අංක ප්‍රදර්ශනය වැනි මැතිවරණ ප්‍රචාරයේ සියලු අංග වෙත දිගුවීම නොවැලැක්විය හැකිවනු ඇත. මෙය සම්පූර්ණයෙන් ම, නීතියේ ආධිපත්‍යය බලහත්කාරයෙන් මැ.කො. තමන් අතට ගැනීමකි. එසේම, පළාත් පාලන ආයතනයක සභිකයකු වීම නිසා වෙනත් අපේක්ෂකයන්ට වෙනස් වූ ආකාරයෙන් සැලකීමක් ද වේ. එයින් ද, කොටසකට පමණක් (තෝරාගත් අපේක්ෂකයින් පිරිසකට පමණක්) එම නීතිය ක්‍රියාත්මක කිරීම අතිශයින්ම වැරදි පූර්වාදර්ශකයකි.

* මැතිවරණ කොමිෂන් සභාවේ මේ අවනීතික, නිර්ලජ්ජිත ක්‍රියාව හේතුවෙන් පළාත් පාලන ආයතනයක සභිකයකු වශයෙන් සිටිය දී, පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයකු වන තැනැත්තන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

2020 ජූනි 23

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.