Breaking
25 Feb 2025, Tue

සිංහලයා මෝඩයා කැවුන් කන්න යෝධයා යන්න කාගේ නිර්මාණයක් ද කියා මා දන්නේ නැහැ. එය සිංහලයන්ගේ කියමනක් නොවන බව නම් පැහැදිලියි. ඒ සිංහලයන් තමන්ට ම මෝඩයන් කියා නොගන්නා නිසා යැයි පඬි ප්‍රතිචාර දක්වන අයකු කියන්න බැරි නැහැ. මා දැන් ප්‍රතිචාර කියවන්නේ නැත්තේ පඬි ප්‍රතිචාර කියවීම සෞඛ්‍යයට අහිතකර නිසයි. මෙහි ප්‍රතිචාර දක්වන ඇතැමුන් සිතන්නේ මා කිසිවක් නොදන්නා මෝඩයකු කියායි. ඇතැම් විට මා ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොව, ඔබ සිතාගෙන සිටින කරුණුවල විසංවාද ඇති බව ඔබට ම තේරුම් ගැනීමටයි.

සිංහලයා මෝඩයා යන්න සිංහලයන්ගේ නිර්මාණයක් නොවන්නේ සිංහලයන් එලෙස ඒකවචනයෙන් සාධාරණ (පොදු) ප්‍රකාශ නොකරන නිසයි. එසේ කී විට පඬියන්ට තේරෙන එකක් නැහැ. ඒත් ප්‍රතිචාර නම් දක්වාවි. එක වචනයෙන් සාධාරණ ප්‍රකාශ කරන්නේ ඉංගිරිසියෙන්. මෑන් ඉස් අ පොලිටිකල් ඇනිමල් කියන්නේ සාධාරණ ප්‍රකාශයක්. එය එක් මිනිසකු සඳහා කරන්නක් නොවෙයි. සිංහලෙන්් එය කියනවා නම් කියන්නේ මිනිසුන් දේශපාලන සත්වයන් කියායි. අද බොහෝ ප්‍රචලිත හියුමන් රයිට්ස් යන්න සලකන්න. ඒ මනුෂ්‍යයන්ගේ ඊනියා අයිතීන් ගැන කියැවෙන්නක්. සිංහලෙන් එය මිනිස් අයිතිවාසිකම් විය යුතුයි. සිංහල සම්ප්‍රදායෙහි සාධාරණීකරණය බහුවචනයෙන් කෙරෙන්නක්. අද ඉංගිරිසිය කටගාගත් ඇතැමුන් සිංහල සම්ප්‍රදායවත් ඉංගිරිසි සම්ප්‍රදායවත් නොදැන ඉංගිරිසින්ගේ ඒකවචනයෙන් ඇති සාධාරණ ප්‍රකාශ සිංහලෙනුත් ඒකවචනයෙන් ම අනුකාරක ව ප්‍රකාශ කරනවා. සිංහලයා මෝඩයා යන්න සිංහල සම්ප්‍රදාය අනුව නම් සිංහලයන් මෝඩයන් යනුවෙන් කියවිය යුතුයි. සිංහලයන් තමන් මෝඩයන් බව ප්‍රකාශ කරමින් සිංහල සම්ප්‍රදාය අමතක කර සිංහලයා මෝඩයා කියා කියනවා.

අද සිංහලයන් නම් මෝඩයන් පමණක් නොවෙයි නිවටයන් ද වෙනවා. අප රණවිරුවන් දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කළා. එයට මහින්ද රාජපක්‍ෂ දේශපාලන නායකත්වය දුන්නා. ගෝඨාභය රාජපක්‍ෂ මග පෙන්නුවා. ඔවුන් අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවල ගත්තා. ඒත් සිංහලයන් මහින්ද පරාජය වන්න ඉඩ ඇරියා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වූවා නොව පරාජය කරනු ලැබුවා. මෝඩ සිංහලයන් යම් පිරිසක් එසේ වන්නට ඉඩ දුන්නා. ඒ විශේෂයෙන් ම නාගරික මධ්‍යම පාංතිකයන් හා අක්මුල් නැති තාක්‍ෂණික තරුණයන්. මහින්ද පැරදුණේ මුස්ලිම් හා දෙමළ ඡන්ද නොලැබුණු නිසා නොවෙයි. සිංහල ඡන්ද ලක්‍ෂ දෙකක් පමණ එහා මෙහා වුන නිසා. මුස්ලිම් හා දෙමළ ඡන්ද ලැබෙනවා නම් හොඳයි. ඒත් ඒ ඡන්ද නැතිව වුවත් දිනන්න පුළුවන්.

සිංහලයන් නිවටයන් වන්නේ විග්නේස්වරන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ප්‍රකාශවලට ප්‍රතිචාර නොදක්වන නිසා නොවෙයි. අද බොහෝ දෙනකු, ආණ්ඩුව හැරෙන්න, විග්නේස්වරන්ට විරුද්ධව ප්‍රතිචාර දක්වනවා. අප මේ වෙලාවෙ සිංහලයනි නැගිටිව් කියා කියන්න ඕන නැහැ. ඒ අර ඊනියා රාජ්‍ය නොවන පඬියන්ට බයේ නොවෙයි. විග්නේස්වරන්ගේ ප්‍රකාශ හමුවේ ඊනියා රාජ්‍ය නොවන පඬියන්ගෙ මුක පූට්ටු වුනත් සිංහලයන් නැගිටිව් කිවුවොත් ඔවුන්ගේ සියළු මුක විවර වෙනවා. විග්නේස්වරන් මෙලෙස යම් යම් ප්‍රකාශ කරන්නේ මූලික වශයෙන් සිංහලයන් කුපිත කිරීම සඳහායි. දෙවනුව ඔහු හා සම්බන්ධන් අතර දෙමළ ජනයාගේ නායකත්වය වෙනුවෙන් තරගයක් පවතින නිසා. මේ ආණ්ඩුවට විරුද්ධව සිංහලයන් නැගිටිව් කියා කියන්න ළඟදී ම සිදුවෙනවා.

සිංහලයන් කුපිත කර ඔවුන්ගේ ප්‍රතිචාරවලට තවත් ප්‍රතිප්‍රතිචාර දක්වා සිංහලයන්ට විරුද්ධව නැවතත් ලෝකය පුරා බටහිර ජනමාධ්‍ය ආධිපත්‍ය මගින් ප්‍රචාර කිරීමට බටහිරයන්ගේ සැලැස්මක් තිබෙන බව පෙනෙනවා. විග්නේස්වරන් පැහැදිලි ව ම තමන් පළාත්සභා මහඇමති ලෙස ඒකීය රාජ්‍යය රැකීමට දුන් දිවුරුම කඩා තිබෙනවා. හිටපු විනිසුරුවකු ලෙස ඔහු කරන කියන දේ අඩුම තරමෙන් නීතියට එකඟවන්න ඕන. දිවුරුම කඩකළ විග්නේස්වරන් තවදුරටත් මහාඇමති ධුරයේ කටයුතු කරන්නේ කෙසේ ද? පළාත්සභා යනු මෙරට නීතියට පිටින් ඇති ආයතන නොවෙයි. මේ ආණ්ඩුවට විග්නේස්වරන්ට විරුද්ධව නීත්‍යානුකුල පියවරක් ගැනීමටවත් ශක්තියක් නැහැ. ආණ්ඩුව ඒ තරමට ම නිවටයි. මෛත්‍රිපාල මේ සියල්ල සම්බන්ධයෙන් නිහඬ ඇයි?

සිංහලයන් නිවටයන් වන්නේ ඔවුන් මේ නිවට ආණ්ඩුව පත්කර ගත් බැවිනුයි. සිංහලයන් සියළු දෙනා මෛත්‍රිපාලට හරි රනිල්ගෙ ආණ්ඩුවට හරි ඡන්දය දුන්නත් නැතත් නිවට ආණ්ඩුව පත්කර ගැනීම ගැන පොදුවේ වගකිව යුතුයි. මෙය පොදු කියමනක් මිස ඒ ඒ පුද්ගලයා වෙනුවෙන් කරන්නක් නො වෙයි. මේ ආණ්ඩුවේ නිවට බව ප්‍රදර්ශනය වූ ප්‍රධාන ම අවස්ථාව ජෙනීවා යෝජනාවට අනුග්‍රහය දැක්වීම ලෙස පෙන්වන්න පුළුවන. රටේ ස්වෛරීභාවය පාවාදුන් ඒ යෝජනාවට ආණ්ඩුව අනුග්‍රහය ලබා දුන්නා. එමගින් ආණ්ඩුව රාජ්‍ය විරෝධී වූවා. රාජ්‍ය විරෝධී ආණ්ඩුවක් රාජ්‍ය විරෝධී විග්නේස්වරන්ට විරුද්ධව මොනවා කරන්න ද?
නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 30

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.