මහින්ද රාජපක්ෂට දෙමල ඡන්ද නැතිවුනේ සරල හේතුවක් නිසා ය. අවුරුදු පනහක් තිස්සේ දෙමළුන්ට පමණක් අයත් දෙමල මාතෘභූමිය යයි දෙමල ජාතිවාදය විසින් වරගන්වන ලද භුමිය පුරා සිංහල හමුදාවක් ගෙනගොස් දෙමල කොටින් තොග පිටින් මරා දමා දේශපාලන වශයෙන් දෙමල ජාතිවාදයටත් සමාජීය වශයෙන් දෙමල ජාතිවාදයට හසුවූ උතුරේ මිනිසුන්ටත් ලබාදුන් කම්පනය නිසා ය. මේ කම්පනය කෙමෙන් තුනී වෙමින් තිබුණු අතර මහින්ද සැලකිය යුතු දෙමල හදවත් ප්‍රමාණයක් දිනා තිබිණි. 2020 වනතෙක් මහින්ද හිටියේ නම් මහින්ද පරාජය වන්නේ (නිශ්චිත ව ම පරාජය වනු ඇත ) සිංහල ඡන්ද 45 %ක් හා දෙමල ඡන්ද 45% ක් ලබාගෙන යයි මට සිතේ .
මුස්ලිම් චන්ද සම්බන්ධයෙන් කිව යුත්තේ එහි සැලකිය යුතු වගකීමක් බොදුබල සේනාවට සහ ඊට සහය දුන් අයට හිමි නමුත් ඒ වගකීම ඔවුන්ට තනිව හිමි නැති බව ය. මේ රටේ ‘දෙමල ප්‍රශ්නය’ යනු මුලික වශයෙන් දෙමල ජනයා අනෙකුන්ගෙන් තමන්ට ඇතිවන්නේ යයි සිතන ප්‍රශ්නයකි. එහෙත් මේ රටේ ‘මුස්ලිම් ප්‍රශ්නය’ යනු අනෙක් ජනයා තමන්ට මුස්ලිමුන්ගෙන් ඇතිවන්නේ යයි සලකන දෙයකි. මේ අනෙක් ජනයා අතර සිටින මහින්දවාදීන් ප්‍රමාණය සාමාන්‍ය ජනයා අතර සිටින මහින්දවාදින් ප්‍රමාණයට අනුපාතයෙන් සමාන බව මට සැහෙන දැනී ඇති කරුණකි. මහින්දට ට එරෙහිව චන්දය දී මුස්ලිම් අන්තවාදයට කෙලවිමට තැත් කල සිංහල පිරිස සැලකිය යුතු තරමකි . මොවුන් බොහෝ විට යමක කමක් හිමි සිංහල පිරිස් ය.
එමෙන්ම මේ රටේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බව ද පැහැදිලි සත්‍යයකි. මුස්ලිම් අන්තවාදය තිබෙන තාක් කල් සැලකිය යුතු මුස්ලිම් චන්ද ප්‍රමාණයක් ලැබෙන්නේ මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් මගින් නියෝජනය වන මුස්ලිම් අන්තවාදී දේශපාලනයට එකඟතාව දක්වන පුද්ගලයාට ය. මහින්ද මෙහිදී දැක්වූ වැනෙන සුළු පිළිවෙත මහින්දට සිංහල චන්ද එක පසෙකින් ද මුස්ලිම් චන්ද අනෙක් පසින් ද නැතිකර දැමී ය. මහින්ද මුස්ලිම් දේශපාලකයන් ට වරදාන දීම සිංහල චන්දදයකයන් දැක්කේ මුස්ලිම් අන්තවාදයට වරදාන දීමක් ලෙස ය. එහෙත් මුස්ලිම් අන්තවාදය මුස්ලිම් දේශපාලකයන්ට වඩා බලවත් ය. (දෙමල ජාතිවාදය එසේ නොවෙයි. ) මුස්ලිම් දේශපාලකයන්ට වරදාන අතහැර තම දේශපාලන අරමුණු ඉටුකරදීමට මුස්ලිම් අනතවාදය බල කලේ ය. මුස්ලිම් අන්තවාදය මහින්දට කිවේ බොදුබල සේනා වැනි සංවිධාන නැත්තට නැතිකරදමා මුස්ලිම් අන්තවාදයට පාර සම්පුර්ණයෙන් ක්ලියර් කර දෙන ලෙස ය. (බොදුබල සේනාව මහින්දට රටට සහ සමගියට කෙලවූ බව ඇත්ත ය. එහෙත් එය මුස්ලිම් අන්තවාදයට අභියෝග කලේ ය .) මහින්ද බොදුබල සෙනාවටත් බදුර්දින්ලාගේ හකීම්ලාගේ ජාතිවාදයටත් යන දෙකට ම ඉඩ දුන්නේ ය. ඊට මුස්ලිම් රටවල් වලින් ඔහුට ලැබුණු දේශපාලන සහයත් සිංහල චන්ද මත වැඩියෙන් රැඳී ඇති ඔහුගේ දේශපාලන පදනමත් හේතු වන්නට ඇත. මරණ තුනක් ඇති මිනිසෙකු වැඩකරන අයුරින් ම ඔහු වැඩ කලේ ය. ඔහු කල වැරැද්ද මරණ තුනෙන් මිදීම ගැන කල්පනා නොකර පැණි කෑම ය.
කෙසේ වෙතත් දැන් සියල්ල වී අහවර ය. ඉදිරි කාලයේ දේශපාලනය තුල දෙමල ජාතිවාදී මත බලවත් වීමත් ඒවාට උත්තේජන ලැබීමත් නොවැලැක්විය හැක. ඒ ඔස්සේ දෙමල චන්ද රනිල්- මෛත්‍රීපාලට තව තවත් ලං වනු ඇත. දැන් රනිල් හා මෛත්‍රිපාල එළවිය හැක්කේ සිංහල චන්ද වලිනි. දෙමල චන්ද ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැක. මුස්ලිම් අන්තවාදය ප්‍රතිපෝෂණය කිරීම නැවතී ඇතිනිසා මුස්ලිම් චන්ද ලබාගැනීමට කල්පනා කිරීමේ වරදක් නැත.
කෙසේ වෙතත් මහින්දට හෝ රනිල්- මෛත්‍රීපාලට එරෙහි බලවේගයකට ලැබෙන මුස්ලිම් හා දෙමල චන්ද සාමාන්‍යයෙන් සිංහල ජාතිකත්වයට කොහොමටත් පක්ෂ චන්දයන ය. එවැනි පිරිස එකෙක් දෙන්නෙක් නොවෙයි. ලංකාවේ සියල්ලන්ට සිංහල අනිවාර්ය විය යුතු බව වැනි මමවත් නොකියන දේ කියන මුස්ලිම්- දෙමල මිනිසුන් සිටිති. විමල් විරවන්සගේ කතා යන තුරු බල සිටින දෙමල මුස්ලිම් මිනිසුන් වෙති. සිංහල අකුරක් නොදන්නා වචනයක් කිව නොහැකි එහෙත් ජාතික ගිය අකුරක් නෑර සිංහලෙන් කටපාඩමින් සීරුවෙන් සිටගෙන අභිමානයෙන් කියන දෙමල මිනිසුන් සිටිති. මහින්දට චන්දය දෙන දෙමල මුස්ලිම් මිනිසුන් චන්දය දෙන්නේ වාසුදේවගේ හෝ ඩිලාන් පෙරේරා ගේ හෝ දයාන් ජයතිලකගේ හෝ බයිලා වලට නොවෙයි. ඒ මතවාද වලට සමීප දෙමල මුස්ලිම් මිනිසුන් මෛත්‍රීපාලට රනිල්ට මිස මහින්දට චන්දය දෙවි ද ? මහින්දට චන්දය දෙන සුළුතරයක් වන දෙමල මුස්ලිම් මිනිසුන්ට සිංහල ජාතිකත්වය ප්‍රශ්නයක් නොවෙයි.
ශිරන්ත චාමර