Breaking
24 Feb 2025, Mon

සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීම

මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් නැත. ඇත්තේ ඇංග්ලො සැක්සන් ප්‍රොතෙස්තන්ත (ක්‍රිස්තියානි) රාජ්‍යයකි. ඒ කතෝලික රාජ්‍යයක් ද නො වේ. අපේ නීතිය ඇංග්ලො සැක්සන් අනුමැතිය ලැබූ රෝම ලන්දේසි ය. පාර්ලිමේන්තුව ඇංග්ලො සැක්සන් ය. ජනාධිපති වඩාත් ළං වන්නේ ඇමරිකානු ඇංග්ලො සැක්සන් ජනාධිපතිට ය. රාජ්‍ය සේවය ඇංග්ලො සැක්සන් ය. ජනමාධ්‍ය ඉන්දියාව අනුගමනය කරමින් ඇංග්ලො සැක්සන් ප්‍රෙතෙස්සතන්ත සංස්කෘතිය ප්‍රචලිත කරයි. අධ්‍යාපනය පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් බුද්ධාගම සුරකින බව කියැවෙයි. අද ලාල් විජේනායකලා වැනි පුස් කෑ මාක්ස්වාදීන් රනිල් සමග එකතුවන්නේ එය ද නැති කිරීමට ය. අද මෙරට වැදගත් මහානායක හාමුදුරුවන් ද නැත්නම් කාදිනල් ද එසේත් නැත්නම් ලංකා (පැරණි ඇංග්ලිකන්) සභාවේ බිෂොප් ද? මහානායක හාමුදුරුවන් බැහැ දැකීමට අටපිරිකර රැගෙන මල්වත්තට හා අස්ගිරියට යන දේශපාලනඥයන්ට උන්වහන්සේලාගෙන් ලැබෙන අනුශාසනාව කුමක් ද? අනුශාසනාවක් ලැබුණත් ඒ පිළිපදින්නේ ද?

ගැමුණු රජුගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා මෙරට තිබුණේ සිංහල බෞද්ධ රාජ්‍යයක්. ගැමුණු රජුට පෙර යක්‍ෂ ජනතාවගේ කාලයේ සිට මෙරට බෞද්ධයන් සිටි නමුත් හෙළ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ සංස්කෘතීන් තිබූ නමුත් සිංහල බෞද්ධ රාජ්‍යයක් තිබුණේ නැහැ. ගැමුණු රජු සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටු වූවා. එහි දී එතුමා යක්‍ෂ, නාග, දේව, අර්ධ නාග, අර්ධ රා’ක්‍ෂස, සිංහ මෙන් ම තවත් ජනතාව ද එකතු කළා. සිංහ වාංශිකයන් පසුව බලවත් වුනා. සිංහල බෞද්ධ රාජ්‍යය ගැමුණු රජු අපට හිමිකර දුන් දායාදයයි. සිංහල ජාතිය පවතින තුරු ගැමුණු රජු සිංහලයන්ගේ වීරයා වන්නේ එබැවිනුයි. එළාර පරාජය කිරීම සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටුවීමෙහි ලා අනිවාර්ය කටයුත්තක් වුනා.

මෙරට නායක්කාර රජු පමණක් නොව 1815 දී තුන්වැනි ජෝර්ජ ද රජවුනේ සිංහල බෞද්ධ රාජ්‍යය පිළිගනිමින්. නායක්කාර රජවරුන් හා සිංහල ප්‍රධානීන් අතර ප්‍රශ්න තිබුණත්් ඒ රජවරුන් සිංහල බෞද්ධ රාජ්‍යය රැක ගත්තා. උපසම්පදාව නැවත පිහිටුවීමට ආධාර කළා. ඔවුන්ගේ සම්භවය තෙළිඟු, ඔවුන්ගේ මුල ආන්ද්‍ර දේශය. ඔවුන්ගේ භාෂාව, එනම් ආන්ද්‍ර තෙළිඟු සිංහලයන් හැඳුන්නුවේ අණ්ඩර දෙමළ කියායි. කොහෙන් ආවත් ඔවුන් සිංහල බෞද්ධ රාජ්‍යයේ සිංහල බෞද්ධ රජවරු. අද එංගලන්තයේ එලිසබෙත් වින්ඩ්සර් ඉංගිරිසි රැජන ලෙස පිළිගැනෙනවා. ඇගේ සම්භවය ග්‍රීක ජර්මානු. නෝමන් රජවරු කතා කෙළේ ප්‍රංශ භාෂාව. ඒත් ඔවුන් ඉංගිරිසි රජවරු. රජකු හැඳින්වෙන්නේ රාජ්‍යයේ නමින් මිස ඔවුන්ගේ සම්භවයෙන් නොවෙයි. පඬියන් මේවා ගැන කියන්නේ නැහැ.

තුන්වැනි ජෝර්ජ් වෙනුවෙන් 1815 දී බූවුන්රිග් සිංහල නායකයන් සමග ගිවිසුමක් අත්සන් කෙළේ සිංහල බෞද්ධ රාජ්‍යය දිගට ම පවත්වාගෙන යෑමට පොරොන්දු වෙලා. සිංහල නායකයන් සමහර විට හිතන්න ඇති නායක්කාර රජවරුන් වගේ ම වින්ඩිසර් රජවරුත් සිංහල බෞද්ධ රාජ්‍යය පවත්වාගෙන යාවි කියලයි. 1815 ගිවිසුමේ වැදගත් වගන්ති දෙක සිංහල සිරිත (නීතිය) අනුව රට කරවන බවත් බුද්ධාගම හා දේවාගම (සිංහල බුද්ධාගම) රැකගෙන පෝෂණය කරන බවත් කියැවෙන වගන්ති. ඒ වගන්තිවලින් කියැවෙන්නේ ඉංගිරිසින් සිංහල බෞද්ධ රාජ්‍යය දිගට ම පවත්වා ගෙන යෑමට පොරොන්දු වූ බවයි. ඒත් ඉංගිරිසින් අවුරුදු දෙකක් යෑමට පෙර ඒ වගන්ති කැඩවා. 1817 අපේ පළමු නිදහස් සටන ඇරඹුණේ ඒ වගන්ති කඩා මෙරට ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි රාජ්‍යයක් පිහිටුවපු නිසා. ඒ අරඹපු සටන තවමත් ඉවර නැහැ.

අපට 1948 දී නාමික නිදහසක් ලැබෙන විට අපට ලැබුණෙ ජෙනිංග්ස්ගෙ ව්‍යවස්ථාව. ඒකට සෝල්බරි ව්‍යවස්ථාව කියලත් කියනවා. ඒක සම්පුර්ණයෙන් ම ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි රාජ්‍යය පවත්වාගෙන යෑම සඳහා වූ ව්‍යවස්ථාවක්. ඒකෙන් එංගලන්තයේ රජු අපේ රජු ලෙස පිළිගැනුණා. ඒ රජුගේ නියෝජිතයා මෙරට අග්‍රාණ්ඩුකාරයා වුනා. මෙරට පාලනය වුනෙ ඉංගිරිසියෙන්. ජී ජී පොන්නම්බලම්වත් චෙල්වනායගම්වත් ඒකට විරුද්ධ වුනේ නැහැ. චෙල්වනායගම් ඈංග්ලිකන් සභාවෙ මදුරාසි ප්‍රදේශ පල්ලියේ සාමාජිකයෙක්. පොන්නම්බලම් හින්දු වෙන්න ඇති. පොන්නම්බලම් පනහට පනහ ඉල්ලුවා. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කරන විට නම් චෙල්වනායගම් විරුද්ධ වුනා. මොවුන් ඇංග්ලො ක්‍රිස්තියානි රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ජාතිවාදයට මුවා වෙලා. ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතිය සිංහල බෞද්ධයන්ට විරුද්ධව සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට මුල ඉඳලම යොදා ගත්තෙ දෙමළ ජාතිවාදය. ජාතිවාදයක ලක්‍ෂණ අතර වෙනත් ජාතියක් පරාජය කිරීම, වෙනත් ජාතියක් පහත්කර සැලකීම මෙන් ම වෙනත් ජාතියකට (සංස්කෘතියකට) හිමි තැන හෝ හිමි විය යුතු තැන හෝ අහිමි කිරීමත් වෙනවා. මේ රටේ සිංහල ජාතිවාදයක් නැහැ. ඇත්තේ දෙමළ ජාතිවාදයක් හා ඉන් ආභාසය ලබන මුස්ලිම් ආගමිකවාදයක්.

1972 දී බණ්ඩාරනායක මැතිනිය නැවතත් අර වගන්ති දෙක ව්‍යවස්ථාවට ඇතුල් කළා. චන්ද්‍රිකාගේ පාලන කාලයේ හැරුණු විට සාමාන්‍යයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රධාන ආණ්ඩු ඇති විට සිංහල බෞද්ධ සංස්කෘතියට යම් වැදගත්කමක් ලැබුණා. ඒත් තවමත් මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි. අප එය පිහිටුවා ගත යුතුයි. ජාතික ව්‍යාපාරය ඒ සඳහා සටන ඉදිරියට ගෙන යා යුතුයි. පඬියන් බෙරිහන් දුන්නාට වත්මන් ලෝකයේ අනාගමික රාජ්‍ය නැහැ. කැමරන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්‍රයිස්ට්චර්ච්හි දී ඉතා පැහැදිලිව කියා තිබෙනවා බිරිතානිය ක්‍රිස්තියානි රටක් බවත් එසේ කීමට බිය විය නැති බවත්.

ගැමුණු රජුට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටුවීමට එළාර පරාජය අනිවාර්ය හා ප්‍රමාණවත් වූවා. 1948න් පසු, එනම් 1815න් පසු සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීමට දෙමළ ජාතිවාදය පැරදවීම අනිවාර්ය හා ප්‍රමාණවත් වීමට තිබුණා. අප දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළා. ඒත් අපට නැවතත් ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි පාර්ලිමේන්තුව හරස් වුනා. දෙමළ ජාතිවාදය පරාජය කිරීම නීති පොතට ඇතුල් කිරීමට අපට නොහැකි වූවා. ඒ කරගැනීම සඳහා පළමුව සිංහලයන් එකතුවිය යුතුයි. සිංහලයන් එකතු කිරීම ජාතික ව්‍යාපාරයේ කටයුත්තයි.
නලින් ද සිල්වා

2016 ජූනි 29

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.