Featured

සිරිකොතේ වළං හෝදන උන්ට මාව එලවන්න බෑ

සිරිකොතේ වළං හෝදන උදවියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේ උරුමක්‌කාරයන් වන අපිව නෙරපීමට කිසිදු අයිතියක්‌ නැති බව පුත්තලම දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වෙයන් ඊයේ රාත‍්‍රියේ රැස්වූ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් පාරිලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කර පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ තමන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කිරිමට තරම් සුදුසුකම් ඇති නායකයන් පක්ෂය තුල නැති බවයි.

මම විශ්වාස කරන්නේ නැහැ පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරයි කියලා. නමුත් පක්‍ෂයට විරුද්ධව කටයුතු කළ සභාපතිවරු, ලේකම්වරු තමයි ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළේ. අපි උපන් දා සිට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයන්. ඔය කියන සංචාරක කුරුල්ලන්ට වඩා පක්‍ෂය වෙනුවෙන් මගේ පියා, සහෝදරයා ජීවිතය පූජා කළා.

බෝම්බ, වෙඩි, පිහි පාරවල් තවමත් අපේ ඇඟේ තිබෙනවා. ලේසියෙන් අපිව පක්‍ෂයෙන් ඉවත් කරන්න බැහැ. නමුත් එහෙම කරන්න ආවොත් අධිකරණයේදී බලා ගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා. එදා එජාපයෙන් එළියට ආ බණ්‌ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහි කරන කොට හිතන්නේ නැතිව ඇති අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සිරිකොතේ වළං හෝදන්න යයි කියලා.

Top