Published on: Jan 11, 2017 – 70-77 කාලයට අදාලව සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ආකාරයට 2009 දී යුද්ධය අවසන් කළ අයගේ සහ 2012 දී ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට සහාය දුන් අයගේත් ප්‍රජා අයිතිය අහෝසි කරයිද?
එදා සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම පසු කාලීනව පැවති ජනාධිපතිවරණයට අහිතකර ලෙස බලපාන ලද අතර වර්තමානයේ වන ක්‍රියාදාමයෙන් විශාල පිරිසකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම සිදුවුවහොත් එය රටේ අනාගත සුරක්ෂාවට කෙසේ බලපාන්නේ ද යන්න විවාදයට ලක්විය යුත්තකි. අද විධිමත්ව සිදු නො වන්නේ එවන් අධ්‍යයනයකි. මේ ඒ සදහා උත්සාහයකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය පවා අහෝසි කල හැකි වරදක් සිදු කර ඇති බව වත්මන් යහපාලන අණ්ඩුවේ ප්‍රධානියෙකු ප්‍රසිද්ධ රැස්වීමකදී පසුගියදා ප්‍රකාශ කර ඇත.
උපුටා ගැන්ම – මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල හැකියි..
එමෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය පවා අහෝසි විය හැකි යයි විදේශ ඇමති මංගල සමරවීර මහතා සඳහන් කර ඇත.විදේශ ඇමතිවරයා පෙන්වා දෙන්නේ 2006 වසරේදී මිග් යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ මේ වන විටආරම්භ කර ඇති බවත්, එම පරීක්ෂණ අවසානයේ ගෝඨාභය මහතා වැරදිකරු වුවහොත් හිටපු අරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රජා අයිතිය පවා අහෝසි විය හැකි බවයි.(මේ වන විට ඒ සම්බන්ධව නඩු පවරා ඇත)
උපුටා ගැන්ම –ගෝටාභයගේ ප‍්‍රජා අයිතිය අහෝසියි..? මංගලගෙන් ප‍්‍රකාශයක්
දේශපාලනිකව වැදගත් දිනයක වූ එක්තරා සිදුවීමක් කෙරෙහි අවධානය යොමු කිරීම මේ අවස්ථාවේ සුදුසුය.එදින මැතිවරණ දිනයකි. මීට පෙර ඇය සිය ඡන්දය පාවිච්චි කළේ සිය පුත් අනුර බණ්‌ඩාරනායක මහතා සමඟ ගොසිනි. නමුත් මෙදින යෙදී තිබූ මැතිවරණයේදී අනුර එජාපයට සම්බන්ධ වී සිටීම නිසා ඇය ඡන්දය පාවිච්චි කිරීමට අත්තනගල්ල ශ්‍රී සංඝබෝධි විදුහලට ගියේ ඇගේ දියණිය සුනේත්‍රාබණ්‌ඩාරනායක සමඟය. ඇය ඡන්ද මධ්‍යස්‌ථානයට ගියත් ඇගේ ඇඟිලි තුඩු අතරේ පැන්සල රඳවා ගැනීමට නොහැකි විය. අත ඉදිමී ඇය අසනීප තත්ත්වයෙන් පසුවීම එයට හේතුවය. එහෙත් ඇය ඡන්ද මධ්‍යස්‌ථානයේ මැතිවරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරියකුට කතා කොට ඇගේ කැමැත්ත ඡන්ද පත්‍රිකාවේ සටහන් කරන්නැයි ඉල්ලා සිටියේ “පුටුවට ලකුණු කරන්න මනාප දාන්න එපා” යනුවෙනි. ඇගේ මේ අන්තිම මැතිවරණ කැමැත්තට, පසු දින මාධ්‍ය විශාල ප්‍රචාරයක් ද ලබා දී තිබුණි.
ඇය ඡන්දයේදී තම කැමැත්ත ප්‍රකාශ කර ආපසු එමින් සිටියදී අසනීප තත්ත්වය තරමක් නරක අතට හැරුණි. සුනේත්‍රා මහත්මිය ඇය රෝහලකට රැගෙන යැමට ගත් උත්සාහයට ද විරෝධය දැක්‌වීම නිසා කඩවත නගරයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්‌ථානයකින් ප්‍රතිකාර ලබා ගත් නමුත් ඇයට අප අතරේ රැඳෙන්නට මාරයා අවසර දී තිබුණේ පැය 2 කට අඩු කාලයකි. ඇය අන්තිම හුස්‌ම හෙලුවේ දේශපාලනික වශයෙන් තම පක්‍ෂයට යුතුකම ඉටුකිරීමෙන්අනතුරුවය.
උපුටා ගැන්ම – ඇස් පියසේනගේ සිකුරු දැක්‌ම …සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිවීම
සිරිමා බණ්ඩාරනායක යනු ලෝකයේ ප්‍රථම අගමැතිවරියයි. තවද නොබැදි සමුළුව ලංකාවේ පවත්වමින් ලෝකයට නායිකාවක් වූ මෙන්ම කච්චතිවු දූපත අත්කරගනිමින් රාජ්‍යතාන්ත්‍රක භාවය ඉහළින්ම පෙන් වූ හෙළ බෞද්ධ නායිකාවකි. තවද සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ පුරෝගාමියාගේ ආදරණිය බිරිදය. එමෙන්ම නීති විද්‍යාලයට සිංහල භාෂාවෙන් නීති පාඨාමාලා හදුන්වාදී සිංහලෙන් නීතිය හැදෑරීමට ගම්බද දරුවන්ට අවස්ථාව විවරකර දුන් යුගයේ අයෝමය කාන්තාවයි. එපමණක් නොව එවකටත් බ්‍රිතාන්‍ය විසින් රාජාධිකරණය සරහා පාලනය කළ ලංකාවේ අධිකරණ සහ නීති ක්‍රමය යම් ආකාරයකින් සීමා කළේද 70-77 එතුමියගේ ආණ්ඩුවයි. මේ සියලු ප්‍රගතිශීලී පියවරයන් වහකදුරුමෙන් වූ පිරිසක් එදා සහ අද ද රටේ වෙති.
පහත දැක්වෙන්නේ 1981දී සිරිමාවෝ බණ්ඩාරනායක කියපු කතාවකින් කොටසක්. එවකට ශ්‍රී ලනිප නායිකාව වුණු සිරිමාවෝට ශ්‍රී ලනිප ඇතුළෙන්ම තිබුණේ විශාල විරෝධයක්. ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේයෂ්ඨයන් විශාල පිරිසක් එජාපයට සම්බන්ධ වෙද්දී තවත් ජේයෂ්ඨයන් පිරිසක් ශ්‍රී ලනිප මෛත්‍රි පිල කියලා වෙනම පක්‍ෂයක් පිහිටුවා ගත්තා. මේ පක්‍ෂයේ නායකයා වුණු මෛත්‍රිපාල සේනානායකට ඕන වුණේ ශ්‍රී ලනිප නායකත්වයෙන් තමාව එළවා දමා බලයට ඒමට බවයි සිරිමාවෝ කිව්වේ.
“1977ට පෙර ඉඳලම මෛත්‍රිපාල සේනානායක මහත්මයා මාව ශ්‍රී ලනිපයෙන් එළවන්න කුමන්ත්‍රණය කළා. දැන් 13 දෙනාගේ කල්ලියක් හදාගෙන මාව බලයෙන් ඉවත්කරන්න ආවට ඒක එතුමාට කරන්න ලැබෙන්නෙ නැහැ.පුවත්පත්, ගුවන්විදුලි හැම එකක්ම මට විරුද්ධව ප්‍රචාර ගෙනියනවා. මට දැන් රැස්වීම් තියන්නත් බැරි නිසා ඒ තුනම දැන් මට නැතිවෙලා. අනික රැස්වීම්, සම්මන්ත්‍රණ කොච්චර තිබ්බත් ඒවා පුවත්පත්වල පළවෙන්නේ නැහැ. නමුත් මෛත්‍රිකල්ලියේ සෑම දෙයකටම ප්‍රචාරය ගුවන් විදුලි, පුවත්පත්වලින්ද ලබාදෙනවා.1962දිත් මට විරුද්ධව කුමන්ත්‍රණ තිබ්බා. ඒ වෙලාවේ මාව බේරගත්තේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා. 71දීත් මට විරුද්ධව ගහපු කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මම හොඳට දන්නවා. හැබැයි ඒක රහසක්. 77දී ඇමැතිකම් භාරගෙන වැඩ කරමුයි මෛත්‍රිපාල මට කිව්වේ ඒ පිටිපස්සෙ කුමන්ත්‍රණයක් අටවාගෙන. මම ඒක ප්‍රතික්‍ෂේප කළ නිසා එදා සිටම මෛත්‍රිපාල සේනානායක ඉන්නේ හිතේ අමාරුවෙන්.පක්‍ෂයට හානියක් වෙන එක මොහොතකවත් මම නායකත්වයේ ඉන්නේ නැහැ. පාක්‍ෂිකයෝ කියනවා නම් මගේ නායකත්වය මම මෛත්‍රිපාලට දෙන්න සූදානම්.”මේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය තමන්ගෙ පක්ෂෙ නායකයින් තමන්ට කරපු කරදර ගැන කියපු දේවල්.
1977 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ආසන 140 ක්, එනම් 5/6 ක බලයක් දිනා දෙමිනි. ශ්‍රී. ල. නි. ප. ආසන 8 කට බැස්සේය. එයින් සමහරක් ආසන දිනා ගත්තේ, බහු මන්ත්‍රී ආසන වූ හෙයිනි.1980 දී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කරන ලදී.
ඉතිහාසය නැවත නැවත ලියවෙන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එදා සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දීග කන එක අහම්බයක් නොවෙයි. එදා සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඇතුලේ ඉදල උදව් කළ අය සිටි බව මැතිණියගෙ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලියි.
ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ලෙස ඇමතිවරුසංඛ්‍යාව වැඩිකර ගැනීම සදහා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගෙන ජනතා මුදල් අවභාවිතා කරමින්, ජනතාව මත හෙළන බදු වැඩිකරමින් රට පාලනය කිරීම වත්මනෙහි ප්‍රසිද්ධ දෙයක්. මහ බැංකු බැදුම්කර ගණු දෙනුව වර්තමාන යහපාලන සංහිදියා ආණ්ඩුවේ එක වරදක් පමණයි. ඊනියා ජාතික ආණ්ඩුවක් අටවගෙන තමන්ට හිතෙන හිතෙන ආකාරයට රට පාලනය කරන්න යහපාලන සංහිදියා කණ්ඩුයම කටයුතු කරන්නේ 1977 දී ජේ.ආර් 5/6ක බලයක් අරගෙන ඒකාධිපති විදිහට රට පාලනය කළා වගේ.
ඒ විතරක් නොවේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ යහපාලන සංහිදියා මෙහෙයුමකුත් වත්මනෙහි කරළියේ පවතිනව. ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනසම්මතයට පටහැනිව, මැතිවරණ පොරොන්දුවලට පටහැනිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ජනතාවගේ මුදල් වැය කරමින් පවත්වාගෙන යනවා. මේ සියලු වියදම් උපයා ගැනීමට ජනතාව මත ඇති බදු බර වැඩි කරනවා.
පසුගියදා සම්මත කරගත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතට මුල් වී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය (International Convention for the Protection of All Persons from Enforced Disappearances)සහ අතුරැදහන් වූ තැනැත්තන් පිළිබද කාර්‍යාල පනත දෙස බැලීමේදී ද මේ යහපාලන සංහිදියා අණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කරන ආකාරය පැහැදලියි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පතේ 27.(iii)වගන්තියේ දැක්වෙන ප්‍රතිපාදනවලට මුල් වී ඇති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය”International Convention for the Protection of All Persons from Enforced Disappearances) ජනාවගේ දෑසට වැලි ගසමින් මේ පාලකයින් සම්මත කරගත්තෙත් මෙම ඉලක්කයට යන්න යි.
සිරිමාවෝ මැතිණිය සම්බන්ධව ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියා කළ අකාරයට වඩා සූක්ෂම ලෙස වර්තමාන යහපාලන සංහිදියා පාලකයින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත් නොහරින සියලු දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමටත් ඉන් නොනැවතී ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ මර්ධනකාරී මාර්ගයන්ට අවතීර්ණ වෙමින් ඉන්නා ආකාරයත් පෙන්නුම් කරයි. වත්මන් ආණ්ඩුවේ ඉන්නා අධික ඇමති මණ්ඩල නඩත්තු කිරීමටඊනියා ජාතික ආණ්ඩුව කටයුතු කරන්නේ රාජපක්ෂ පාර්ශවයට එරෙහිව නඩු පිට නඩු දමමින් අධිකරණයට සහ FCID ගෙන එමින් හෙම්බත් කිරීමට කටයුතු කරමිනි. එදා ජේ.ආර්.ජයවර්ධන පළිගන්නා ලද්දේ සිරිමා බණ්ඩාරනායකගෙන් සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගෙන් වුවත් අද දහස් ගණනින් රාජපක්ෂවාදීන්ගෙන් හො යහපාලන සංහිදියා විරෝධීන්ගෙන් පළි ගනු ලබයි.
ඒ පමණක් නොව මේ පළිගැනීමට හසුවන කණ්ඩායමේ ප්‍රධාන කුලක දෙකක සාමාජිකයින් සිටින බවද පෙනී යයි.
මේ සම්බන්ධව මෙම ලිපියේ ලේඛකයා විසින් වර්ෂ 2013 පෙබරවාරි වලදී 2012 දෝෂාභියෝග සමය සහ අධිකරණයේ ස්වාධීනත්වය කෘතිය (ISBN 978-955-98639-1-5) එළිදක්වමින් අනාගතයේ සිදුවන විපර්යාසයන් පුරෝකථනය කර තිබුණි. එය වැඩි දුරටත් පැහැදිලි කිරීම සදහා එකී කෘතියේ 8, 9 සහ 10 පිටු මෙහි පහත දක්වා ඇත.
නැවත සිරිමාවෝ මැතිණියගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය සහ 1977 මැතිවරණයෙන් පසු ඇති වූ තත්ත්වය දෙසට යොමු වුවහොත් වැඩි දුර කරුණු අනාවරණය වෙයි.
1977 ජුලි 20 දින පැවැති මැතිවරණයෙන් ජය ලැබූ එජාපය එතැන් සිට සති කීපයක් තුළ ව්‍යවස්‌ථා සංශෝධන හා අණපනත් කීපයක් සම්මත කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දුන්නේය. එහි පළමුවැන්න ‘සර්ව බලධාරී’ විධායක ජනාධිපති ක්‍රමය පිහිටුවන ව්‍යවස්‌ථා සංශෝධනයයි. දෙවැන්න තම ප්‍රබලම දේශපාලන විරුද්ධවාදිනිය වු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය කලකට තරග බිමෙන් ඉවත් කර තැබීමේ යෝජනාවය. එවකට එජාප රජයේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඊ. එල්. සේනානායක මහතා රජය පත්ව සිව්වන සතියේදී පමණ පාර්ලිමේන්තුවට ලිපි ගොනුවක් ඉදිරිපත් කරමින් වේගවත් කථාවක් කළේය. එහිදී ඔහු සඳහන් කළ එක් කරුණක් මෙසේය.
‘අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමිය ඇයට අයත්ව තිබී රජයට පවරා දුන් ඉඩම්වල වටිනාකම දස ගුණයකින් වැඩි කිරීම සඳහා බිංදුවක් එකතු කර තිබෙනවා’ යෑයි සේනානායක මහතා චෝදනා කළේය. නමුත් මෙම චෝදනාව අමූලික බොරු චෝදනාවක් බව පසුව අනාවරණය විය.
එදා බණ්‌ඩාරනායක මැතිනිය එම චෝදනාව ප්‍රතික්‍ෂේප කර ඕනෑම සාධාරණ පරීක්‍ෂණයකින් එම චෝදනා ඔප්පු කරන්නැයි රජයට අභියෝග කළාය. එවේලෙහි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු “බිංදුමතී ගෙදර පලයන්” යෑයි පාර්ලිමේන්තුව තුළ මොර දුන්නෝය. එම හැසිරීම අනුමත කළ නොහැකි බව අවබෝධ කර ගත් එවකට කථානායක ආනන්ද තිස්‌ස ද අල්විස් මහතා සභාව කල් තැබීමට සූදානම් වෙත්ම සභා ගැබට පිවිසි එවකට අගමැති ඡේ. ආර්. ජයවර්ධන මහතා සන්සුන් වන ලෙස මන්ත්‍රීවරුන්ට අතින් සංඥා කළේය.
අනතුරුව වසර 2 1/2 කට පසුව 1980 ඔක්‌තෝබර් 16 දින සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට ඡන්දය විමසීමේදී එදා යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් තිදෙනකු මෙදා රජයේ ද අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන්නේය. බණ්‌ඩාරනායක මැතිනිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරයකු ද අද පාර්ලිමේන්තුවේ සිටින්නේය. ඒ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාය.
කඩිමුඩියේ කොමිසම පත් කළ අන්දමත් එහි තීරණත් අවසානයේදී වසර 2 1/2 කට පසු 1980 ඔක්‌තෝබර් මස 16 වැනි දින පාර්ලිමේන්තුව බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අන්දමත් මැනවින් විස්‌තර කෙරෙන පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව දෙසට අපි අවධානය යොමු කරමු.
දිනය 1996 අප්‍රේල් 08 වැනි දින හැන්සාඩ් කොලම 1254
විෂය -සිරිමාවෝ ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිනිය විෂයෙහි 1980.10.16 දිනැති සම්මුතිය නිෂ්ප්‍රභ කිරීම
යෝජනාව ඉදිරිපත් කරමින් අධිකරණ හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා ඉතා අනුවේදනීය කතාවක් කළේය. 1980 ඔක්‌තෝබර් 16 වැනිදා බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෙදූ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සදාචාරාත්මක දේශපාලනයට පටහැනි, ද්වේශ සහගත සිද්ධීන් සියල්ල එකින් එක පීරිස් මහතා විස්‌තර කළේය.
කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද රෙගුලාසි, කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද විශේෂ කොමිෂන් ආඥා පනත් සහ කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද දඬුවම් සියල්ල දින වකවානු සහිතව මහාචාර්ය පීරිස් සභාවට පෙන්වා දුන්නේය.
බණ්‌ඩාරනායක මැතිනිය එදා ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීන්දුවෙන් පසු කළ සමුගැනීමේ ප්‍රකාශය ද අමාත්‍ය පීරිස් සභාගත කළේය.
බණ්‌ඩාරනායක මැතිනිය පවසා සිටියේ ප්‍රජා අයිතිය ඇතිව හෝ නැතිව තමා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කරන සේවය ජීවිතාන්තය දක්‌වා ඉටු කරන බවය.
මේ හැන්සාඩ් වාර්තා සියල්ල අඩංගු පොතක් අනාගත පරම්පරාව සඳහා සුරක්‍ෂිතව තබා ගැනීම පිණිස මුද්‍රණය කර ජනතාව අතර ප්‍රචලිත කිරීමට විදේශගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී පිරිසක් පියවර ගනිමින් සිටින නිසා මේ අවස්‌ථාවේ ඉහත කී විවාදයට සම්බන්ධ වූ කථිකයන් කළ ප්‍රකාශ කීපයක් පමණක් මේ ලිපියට අඩංගු කරමි.
අමාත්‍ය ජී. ඇල්. පීරිස් මහාචාර්යවරයාගේ දීර්ඝ කතාවෙන් පසු නැගී සිටියේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යි.
වික්‍රමසිංහ මහතා ඉතා කෙටි කතාවක් කළේය. ඔහු කියා සිටියේ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලද්දේ නීත්‍යනුකූලව කොමිෂන් සභාවක තීන්දුව අනුව බවය. එම නිසා එක්‌සත් ජාතික පක්‍ෂය මේ විවාදයට එක් නොවන බවත්, මේ යෝජනාව ඵල රහිත බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. තම පක්‍ෂය විවාදයට සම්බන්ධ නොවී සභාවෙන් පිට වී යන බව පැවසූ වික්‍රමසිංහ මහතා එක් මන්ත්‍රීවරයෙක් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළේය.
අනුර බණ්‌ඩාරනායක මහතා 1980 දී කොමිෂන් සභා තීන්දුවට විරුද්ධව ඡන්දය දුන් නිසා ඒ මහතාට සභාවේ නැවතී නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට පක්‍ෂයේ අවසරය ඇති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉන්පසු එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටවී ගියහ.
ඉක්‌බිති නැගී සිටියේ ලක්‍ෂ්මන් ජයකොඩි ඇමැතිවරයා ය. ඔහු ද කොමිෂන් සභාව පිහිටුවීමේදී අනුගමනය කළ සදාචාරාත්මක නොවූ ක්‍රියාමාර්ග දැඩිව විවේචනය කළේය.
ජයකොඩි මහතාගෙන් පසු නැගී සිටියේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මඩකලපුව දිස්‌ත්‍රික් මන්ත්‍රීජෝසප් පරරාජසිංහම් මහතාය. 1980 ඔක්‌තෝබර් මාසයේ පමණක් නොව ඊට පෙර 1977 අවිනීත බිංදු කතාව සිදුකළ අවස්‌ථාවේ එදා විපක්‍ෂ නායක ධුරය දැරූ ඒ අමිර්තලිංගම් මහතා ඇතුළු දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද ඒකාධිපතිත්වයට විරුද්ධවද ක්‍රියා කළ අන්දම ඔහු සභාවට මතක් කර දුන්නේය.
පරරාජසිංහම් මහතාගෙන් පසු නැගී සිටියේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය. ඒ මහතා ද එදා කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු රාශියක් හෙළි කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් පසු ඉතා සන්සුන්ව සභාව ආමන්ත්‍රණය කළ අමාත්‍ය බර්නාඩ් සොයිසා කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද කොමිෂන් සභා රෙගුලාසි, නීතියට සම්පූර්ණයෙන් පටහැනි බව පෙන්වා දෙමින් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා නිකුත් කළ ප්‍රකාශයන් සභාගත කළේය.
බර්නාඩ් සොයිසා මහතාට පසුව කතා කළ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාය නීතිමය කරුණු රාශියක් පෙන්වා දෙමින් එදා පැවැති ඒක පුද්ගල කොමිෂන් සභාව සම්පූර්ණ දේශපාලන බලපෑම්වලට යටත් වූවක් බව ඔහු පෙන්වා දුන්නේය.
ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඇමැතිවරයාගෙන් පසු සභාව ඇමතූ නීලන් තිරුචෙල්වම් මහතා බණ්‌ඩාරනායක මැතිනිය ජාතියට කළ සේවය විස්‌තර කළේය. කිසිම පැකිලීමකින් තොරව යෝජනාවට පක්‍ෂව තමා ඡන්දය දෙන බව ද තිරුචෙල්වම් මහතා ප්‍රකාශ කර සිටියේය.
ඉනික්‌බිතිව සභාව ඇමතූ අමාත්‍ය අෂ්රොෆ්මහතා ප්‍රශ්න කළේ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් රට මුදාගෙන ලංකාව ස්‌වෛරී ජනරජයක් කළ නිසාද යන්නයි.
රාජරත්නම් මන්ත්‍රීවරයාගේ දෙමළ කථාවෙන් පසු ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා තමා කවදත් වැඩ කළේ ප්‍රතිපත්ති ගරුකව සිතට එකඟව බව පවසමින් 1970 දී සිය පියාණන්ට ද විරුද්ධව බණ්‌ඩාරනායක මැතිනියට ආධාර කළ අන්දම විස්‌තර කළේය.
ගුණවර්ධන මහතාට පසු සභාව ඇමතූ ඩී. එම්. එස්. බී. දිසානායක ඇමැතිවරයා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය නිර්දය ලෙස විවේචනය කළේය.
ඩී. සිද්ධාර්ථන් මහතා පැවසුවේ එදා තම දිවංගත පියාණන් වූ ධර්මලිංගම් මන්ත්‍රීවරයා බණ්‌ඩාරනායක මැතිනිය වෙනුවෙන් කළ කතාව ගැන තමා ආඩම්බර වන බවය.
සිංහලෙන් කතා කළ සතාසිවම් මහතා බණ්‌ඩාරනායක මැතිනිය වතු කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව වෙනුවෙන් අර්ථසාධක අරමුදල් ඇති කිරීමට ගත් පියවර සභාවට සිහිකර දුන්නේය.
ජී. ඇල් පීරිස් ඇමැතිවරයා කෙටි පිළිතුරු කතාවක් කළේය.
ඉන්පසු ඡන්ද විමසන ලදී. පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ නම් මේ වැදගත් අවස්‌ථාවේ වාර්තා කිරීමට අවශ්‍ය යෑයි රිචඩ් පතිරණ ඇමැතිවරයා කළ යෝජනාවට සභාව එකඟ විය. සභාවේ සිටි මන්ත්‍රීවරු 124 දෙනාම යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් අතර බණ්‌ඩාරනායක අගමැතිනිය ඡන්දය දීමෙන් වැළකී සිටියාය. (උපුටා ගැනීම පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තා සහ http://www.divaina.com/2015/10/16/feature02.html
නීතිය සහ බන්ධනාගාර පෙන්වමින් පුරවැසියන් යටත් කර ගැනීමත්, තමන්ට අවනතවන්නන්ට තනතුරැ වරප්‍රසාද යාන වාහන වැඩි වැටුප් හිමිකර දීමත් රට යටත්විජිත කරණය කිරීමේ මූලික පියවර බව යහපාලන-සංහිදියා පාලකයන් මැනවින් දනී. බ්‍රිතාන්‍ය ගැතී නීතී විශාරදයින් අවස්ථාව එළඹෙන තෙක් සිට දේශිය චින්තනය සහ පෙරදිග නිදහස් සිතුවිළි සහ නිදහස් අධ්‍යාපනයත්, ලංකාවට ආවේණික කෘෂි ආර්ථිකය විනාශ කරමින් කටයුතු කරයි. මේ සියල්ලෝගේ උත්සාහය යටත්විජිත ගැති වහල් බවේ ලාංකිකයන් රදවා ගැනීම වන අතර එය රටට කරන ලොකුම සතුරු කමයි.
වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂනායකයින් මේ සිදුකරන්නේ 1972 සිරිමා බණ්ඩාරනායක සිදුකළ ස්වදේශීය සහ ස්වභාෂා හිතැති නීති ප්‍රතිසංස්කරණ අහෝසි කිරීම සදහා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළ වුන් සමග ඒකාබද්ධ වීමයි.ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මේ සදහා ඉඩ දිය නොහැකි බවට විවාදයක් නැත.
වැඩි දුරදැන ගැනීමට කියවන්න
නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි
B.Sc(Col),PGDC(Col)
2017.01.11