Featured

සිරිලක් මෑණියන්ට දාව ඉපදී මේ රටට ජාතියට සාසනයට ජනතාවට නායකත්වය දුන් ඔබට සදා නිවන්සුව අත්වේවා

ඓතිහාසික රයිගම් රාජධානියේ හොරණ වික්‍රමනායක පරපුරත් ඓතිහාසික සීතාවක රාජධානියේ බොරළුගොඩ පරපුරත් අතර ඉතා දීර්ඝ කාලීන සුවිශේෂී බැඳීම් රාශියක් පවතී. ඉන් ප්‍රධානතම වන්නේ පිරිසිදු එඩිතර දේශහිතෛශී අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලි ජාතික දේශපාලන ගමනයි.

1940-50 දශකයන්හිදී ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිඳුන් සමග මුනිදාස වික්‍රමනායක මැතිඳුන් ඉතා සමීප දේශපාලන සටන් හි නියැලෙමින් කටයුතු කරමින් සිටි අතර, 50 දශකයේ මැද බාගයේ මුනිදාස වික්‍රමනායක මැතිඳුන් ඝාතනය වීමත් සමග, ඔහු සහෝදර එවකට එංගලන්තයේ බැරිස්ටර් වරයෙකු වීමට උගනිමින් සිටි එරට ලංකා ශිෂ්‍ය සංවිධානයේ සභාපතිව සිටි තරුණ රත්නසිරි වික්‍රමනායක පෙරලා මව්බිමට පැමිණියේ තම සොහොයුරාගේ අභාවයෙන් ජාතික ගමන් මගේ ඇතිවූ හිඩැස පිරවිමටය.

1956 සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේගයේ විජයග්‍රාහී මහජන එක්සත් පෙරමුණ රජයේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පිලිප් ගුණවර්ධන මැතිඳුන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස දේශපාලන ගමන් මගට පිවිසි රත්නසිරි මැතිඳුන් කුඹුරු පනත, වරාය හා බස් ජනසතු, විවිධ සේවා සමුපකාරය, මහජන බැංකු පනත, විද්‍යෝදය විද්‍යාලංකාර සරසවි පිහිටවීම, කටුනායක ගුවන්තොට තිරිකුණාමලය නැව්තොට ජනසතු කිරීම ආදී දැවැන්ත සමාජ පෙරලියක් ඇතිකරලීම උදෙසා පිලිප් ගුණවර්ධන මැතිඳුන් සමග වැඩ කරන ලදී.

1960 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් පිලිප් ගුණවර්ධන මැතිඳුන් සමග එක්ව ගමන් කරමින් මහජන එක්සත් පෙරමුණ රෝදය ලකුණෙන් හොරණ ආසනයට තරඟ කර මුල්වරට පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරන ලදී.

1960 ජුලි මැතිවරණයේදී එතුමන් ස්වාධින අපේක්ෂකයකු ලෙස හොරණ අසුනට ඉදිරිපත් වෙමින් නැවත වරක් ජය ගන්නා ලදී. ඉන් අනතුරුව එතුමන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.නැවත වරක් 1965 හා 1970 පාර්ලිමේන්තු මැතිවරණය වලදී ශ්‍රීලනිප හොරණ අපේක්ෂකයා ලෙස ජයගත් අතර, 1970දී සමගි පෙරමුණු රජයේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් 1975දී වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන ලදී. 1977 දැවැන්ත පරාජය සමග නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ප්‍රගතිශීලි ව්‍යාපාරය නැවත පණගන්වා නංවාලීම සඳහා ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් ලෙස වගකීම් බාරගන්නා ලදී.80 දශකයේ අතිශයින් වැදගත් සිදුවීමක් මතක් කරලීම කාලෝචිත බව සිතමි.

1982 ජනාධිපතිවරණ ඡන්දය ආසන්න වන විට ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපති වියරු මර්ධනකාරී පාලනය තුල තම ප්‍රධානම ප්‍රතිවාදිය වූ සිරිමාවෝ මැතිනියගේ ප්‍රජ අයිතිය තහනම් කර ඇයට තරඟ කිරීම අහෝසි කර තිබිණි. ශ්‍රීලනිප පක්ෂය තුන් කොටසකට කඩා, පක්ෂ වලංගු භාවය අහෝසිකර, පක්ෂ මුලස්ථානයට සීල් තබන ලදී.

එහිදී රත්නසිරි මැතිඳුන් පිලිප් ගුණවර්ධන පුත් දිනේෂ් ගුණවර්ධන හා මුල්වී හදිසි සුවිශේෂී රැස්වීමක් නුගේගොඩ ටී.බී .ඉලංගරත්න මැතිඳුන්ගේ නිවසට කැඳවා තිබිණ. එයට ශ්‍රීලනිපය වෙනුවෙන් සිරිමාවෝ මැතිනිය, කොබ්බැකඩුව මැතිඳුන්, රත්නසිරි මැතිඳුන්, විජය හා චන්ද්‍රිකා, සමග ම.එ.පෙ. වෙනුවෙන් දිනේෂ් ගුනවර්ධන හා විජය රත්නායක සහභාගී විය.එම සාකච්ජාව මුල් වුයේ තහනම් වූ ශ්‍රීලනිප ‘අත ලකුණ’ වෙනුවට මඑපෙ ‘රෝදය ලකුණින්’ හෙක්ටර් කොබ්බැකඩුව මැතිඳුන් හට ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමට සියලු පාර්ශව එකඟ වීමයි.

ජේ.ආර්. ජයවර්ධන පරාජයට පත් වූ එකම අවස්ථාව 1956 මඑපෙ ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේදීය. එබැවින් නැවත වරක රෝදය ලකුණින් ජනාධිපති ප්‍රතිවාදිය ලෙස හිටපු ගොවිකම් හා ඉඩම් ඇමැති ලෙස මහත් සේවාවක් කල හෙක්ටර් කොබ්බැකඩුව මහතා තමන්ට ප්‍රබල තර්ජනයක් වේවි යන බියෙන්, තුනකට කැඩී තුබූ ශ්‍රීලනිප ‘අත ලකුණ’ නැවත නිදහස් කරන ලදී.1980 දශකයේදී එජාප වියරු ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති පාලනය තුල රත්නසිරි මැතිඳුන් හට පොදු මහා ජනතාව වෙනුවෙන් සටන් කිරීම හේතුවෙන් හිර අඩස්සියේ සිරබත් කන්න සිදු විය. එතුමන්ගේත් ප්‍රජා අයිතිය නැතිවිය. දේශපාලන පොර පිටියට තහංචි විලංගු වැටිණ.එනමුත් නැවත රත්නසිරි වික්‍රමනායක මැතිදුන් 1993දී බස්නාහිර පළාත් සභාව ජයගෙන, 1994දී පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණෙන් පාර්ලිමේන්තුවට කළුතර දිස්ත්‍රික්කයෙන් පිවිසි අතර 1994 සිට 2000 දක්වා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යධුරය හොබවන ලදී.

1994 ප්‍රගතිශීලි කඳවුර ඉතාමත් අසීරුවෙන් එජාප පරදා ලබාගත් ජය, චන්ද්‍රික කුමාරතුංග වැරදි පීල්ලක ගමන් කරවමින් සිටි මොහොතකය. මඑපෙ ප්‍රමුඛ ප්‍රගතිශීලි ජාතික බලවේග 1994දී පොදු පෙරමුණ සමග හවුල් නොවුයේ ඒකීය රාජ්‍ය පිලිබඳ කොන්දේසි චන්ද්‍රික කුමාරතුංග පිළිනොගත් නිසාවෙනි. ඇය ෆෙඩරල් වාදීව සිතමින් සිටිමින් කටයුතු කල නිසාය. එම ෆෙඩරල් පැකේජයට එරෙහිව රටපුර දැවැන්ත සටන් ව්‍යාපාරයක් මඑපෙ ඇතුළු ප්‍රගතිශීලි ජාතික සංවිධාන එවිට දියත් කර තිබිණ. මේ අතරතුර එනම් 1999 ජනාධිපතිවරණ කාලයේදී, ප්‍රභාකරන් හට වසර 10කට උතුරු නැගෙනහිර ලබාදෙනවා කියා කියූ රනිල්ට එරෙහි සටනේදී චන්ද්‍රිකා කුමාරතුංග හට 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලැබීමට නම් එවකට පොදුජන එක්සත් පෙරමුණේ කොටස් කරුවන් නොවූ මඑපෙ ප්‍රධාන ප්‍රගතිශීලි ජාතික බලවේග අවශ්‍ය බව නිර්භයව කියා සිටියේ රත්නසිරි මැතිඳුන්ය.
ප්‍රකාශයකට සීම නොවී ඔහු මැදිහත් වී මඑපෙ නායක දිනේෂ් ගුණවර්ධන සමග චන්ද්‍රිකා කුමාරතුංග අතර සුවිශේෂී ගිවිසුමකට අත්සන් තැබිණ. එනම් ඒකීය රාජ්‍යයත් සම්බුද්ධ සාසනයත් පිලිබඳ යම් හෝ ව්‍යවස්ථා වෙනසකට ගමන් කරන්නේ නම් ඊට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ පුර්ණ ආශීර්වාදය තිබිය යුතු බවත්, එසේ නොමැතිනම් ඊට එරෙහිව සියලු ජාතික බලවේග පෙළගස්වා එය පැරදවීමට මඑපෙ පුර්ණ නිදහසත් අයිතියත් ඇතිබව සඳහන් ගිවිසුම රත්නසිරි මැතිඳුන් විසින් පොදුජන එක්සත් පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් සකසා අත්සන් තබවන ලදී.

එහිදී 1999 දෙසැම්බර චන්ද්‍රික කුමාරතුංග ජයලබා, 2000 අගෝස්තුහිදී ගිවිසුම උල්ලංඝණය කිරීමට උත්සහ කල මොහොතේදී ඒකීය රාජ්‍ය හා සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන්න අවශ්‍ය සියලු ශක්තින් යොදන්න යැයි රත්නසිරි මැතිඳුන් නොභියව මඑපෙ නායක දිනේෂ් ගුණවර්ධන වෙත පුර්ණ ආශිර්වාදය එක්කරන ලද අතර, එතුමන්ගේ ජේෂ්ඨ පුත් විදුර වික්‍රමනායක දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වය යටතේ එම සටනට එක් කරන ලදී.
මෙම ක්‍රියාදාමයේ ප්‍රථිපලයක් ලෙස චන්ද්‍රික කුමාරතුංග විසින් ගෙනෙන ලද පැකේජය මඑපෙ ඇතුළු ජාතික බලවේගයන්ගේ දැවැන්ත මහජන විරෝධය ඉදිරිපිට පාර්ලිමේන්තුව තුලදී ෆෙඩරල් පැකේජය ගිනිබත් වී අළුදූවිලි වී ගියේය. ඒත් සමග චන්ද්‍රික කුමාරතුංග හට දේශපාලන වශයෙන් අත පුච්චා ගන්නත් සිදුවුණා. සිදුවූ දෙයක තරම වටහාගත් චන්ද්‍රික කුමාරතුංග එසැනකින් රත්නසිරි මැතිඳුන් අගමැති ලෙස පත් කරනලදී.
මා දන්නා පරිදි රත්නසිරි මැතිදුන් ලංකාවේ සිව්වරක් අග්‍රාමාත්‍යධුරය හොවබන ලදී.

ප්‍රථමයෙන් 2000 අගෝස්තු මසදී සිරිමාවෝ මැතිණිය අග්‍රමත්‍යධුරයෙන් මෙන්ම දේශපාලන ජිවිතයෙන් හදිසියේ සමුගන්වන ලද මොහොතේ චන්ද්‍රික කුමාරතුංග විසින් රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලදී. ඉන් ඉක්බිතිව දින දෙකතුනකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර 2000 ඔක්තෝබර පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් පොදුජන එක්සත් පෙරමුණ නැවත රජයක් බිහිකරමින් එහි අග්‍රාමාත්‍ය ලෙස රත්නසිරි මැතිඳුන්කටයුතු කරන ලදී.2001 වසර මැද බාගයේ ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ පොදුපෙරමුණ ආණ්ඩුවේ කොටසක් කඩාගෙන ජී.එල්. පීරිස් හා එස්.බී. දිසානායක ඇතුළු මන්ත්‍රී පිරිසක් එජාප ය හා එක්වී ආණ්ඩුවක් සෑදීමට ගත උත්සහය මදකට හෝ පරාජය කලේ රත්නසිරි මැතිඳුන්ගේ ගෞරවාන්විත ජාතික දේශපාලන ගමන පිළිගත් ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම ඔහු යටතේ පොදුපෙරමුණට ‘පරිවාස ආණ්ඩුවක්’ සැදීමට ශක්තිය දීම නිසාය. මේ තෙවනවර අගමැති වීමය.හදිසියේ විසුරුවා හැරීමෙන් 2001 අග පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ හට ආණ්ඩු බලය අහිමි වුවද යලි කළුතර දිස්ත්‍රික්කයෙන් දිනු රත්නසිරි මැතිඳුන් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩයම විපක්ෂයේ අසුන්ගත්තේ එතුමාගේ නායකත්වය යටතේය. එනම් රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස 2002දී කටයුතු කරන ලදී.

එම කාල සිමාව අතරමගදී ශ්‍රීලනිප අනාගතය දෙස බොහොම උපේක්ෂාවෙන් බලා විපක්ෂනායක ධුරයෙන් ඉල්ලා අස්වී දීර්ඝ කාලීන දේශපාලන සටන් ක්‍රමෝපාය මනාව දත් එතුමන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත්කර, තනතුරට වඩා වැදගත් වැඩකට අත ගසන ලදී . ඒවනවිට රනිල් වික්‍රමසිංහ විසින් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් වෙත මව්බිමේ මහපොළවෙන් 1/3ක් මහමුහුදෙන් 2/3ක් පාවාදී අවසන්ය. නොර්වය ඇතුළු යුරෝපා සංගම් අප රට තුල පිනුම් ගසමින් ඔවුනගේ බූදලයක් සේ මව්බිමේ ඉරණම වෙනස් කරන්නටත් අපගේ ජාතික වස්තුන් උරුමයන් සොරා-සූරා ගන්නටත් පටන්ගෙන හමාරය. ජාතික ආරක්ෂාව බුද්ධි අංශ දරුණු ලෙස පාවාදී හමාරය.මේ පසුබිම තුල රත්නසිරි මැතිඳුන් දිනේෂ් ගුණවර්ධනයණ් සමග එක්ව පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රී සන්ධානය නිර්මාණය කරනුයේ වඩාත් පුළුල් වූ ජාතික හා ප්‍රගතිශීලි බලවේග එකතු කරලීමටය. මෙම සන්ධානය රටපුර දැවැන්ත සටන් සිදුකරමින් ඉදිරියට පැමිණ අවසනදී ඓතිහාසික ගිවිසුමක් ඇති කරලීමට මුල්විය.

එනම් ශ්‍රීලනිප-ජවිපෙ-මඑපෙ මුල්වී ‘එක්සත් ජනතා නිදහස් සන්ධාන’ බුලත් කොළය නිර්මාණය කර, චන්ද්‍රික කුමාරතුංග හට බලකරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගියා. 2004දී බුලත් කොලේ පළමු නායකයා ලෙස පත්වුයේ රත්නසිරි වික්‍රමනායක මැතිඳුන්. 2004 එජනිස බුලත් කොලය ජනවරමින් ආණ්ඩුවක් බිහි කරන ලදී. එය 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ සටනින් ජයගන්වා නව රජයක් බිහි කරන ලදී. එම නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වන වරටත් රත්නසිරි මැතිඳුන් දිව්රුම් දෙන ලදී. මව්බිමේ තීරණාත්මක හෝරාවකදී පාර්ලිමේන්තු බහුතරයක් හරිහැටි නොමැතිව අගමැති ලෙස සුවිශේෂී ජාතික වගකීමක් රත්නසිරි මැතිඳුන් ඉටුකලා. ත්‍රිවිධ හමුදාවට දිරිදෙමින් කිසිදු අඩුවක් වීමට ඉඩනොදී පාර්ලිමේන්තුව තුලින් අවශ්‍ය සියලු අණපනත් හදිසිනීති රෙගුලාසි ආදිය සාදවා, අයවැය වැයශිර්ෂ කිසිවක් අඩුවක් පැරදුමක් නොවන්නට වග බලා කටයුතු කලා.

මෙහිදී මා හට හොඳින් මතක සිද්ධියක් නම් ඇමරිකාවේ නිව්යෝර්ක් පන්සලේදී මහා සඟ රුවන ප්‍රමුඛ එරට වාසි ශ්‍රී ලාංකික ප්‍රජාව හා රත්නසිරි මැතිඳුන් හමුවූ මොහොතේ, එතුමන් ඉතාමත් දේශප්‍රේමි විචක්ෂනශිලි වගේම රාජතාන්ත්‍රික භාවයකින් යුක්තව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රජාව අප වෙත ගෙන එනු ලැබූ බාධා කරදර මැඩ සමනය කිරීමට සිදුකරන ලද මෙහෙයුම දියත් කිරීමයි.මෙලෙස බලන කල රත්නසිරි මැතිඳුන් පිලිබඳ ප්‍රසිධියේ කතා නොකෙරුණ සිද්ධි කිහිපයක් කීමට මා දැරූ උත්සාහය දෙස ආපසු හැරී බලනවිට, පසුගිය දශක පහ පුරාවට එනම් වසර 50ක දීර්ඝ දේශපාලන ගමනක් තුල ඔහුගේ කතාව මව්බිමේ කතාව හා එකට ගෙතී බැඳි පවතිනුයේ උපන්බිමට කිසිදා ණයනැති ජාතිමාමක රාජ්‍යතාන්ත්‍රික සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේගයේ ගුණ සුවඳ හොදින් හඳුනන රටට ජාතියට සාසනයට ජනතාවට එඩිතර ප්‍රතාපවත් සුපිරිසිදු ජාතික නායකයෙකු ලෙසය.රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් සිරිලක් මෑණියන් වෙත සිදුකල අසීමිත සේවාව ඔහුව අප රටේ ජනාධිපති වීමට තරම් සුදුසුකම් තිබුණේ යැයි කීමට මා නොපැකිළෙමි.

රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් හට එම වාසනාව ඇතිව නැවතත් අප අතරම සිරිලක් මෑණියන්ට දාව ඉපදී මේ රටට ජාතියට සාසනයට ජනතාවට නායකත්වයදී, සදා නිසංසල නිවන්සුව අත්වේවායි පතමි!
යදාමිණී ගුණවර්ධන
බොරළුගොඩ දීය.

Top