Breaking
24 Feb 2025, Mon

සිරිසේන අද පත්තරේ බලපන්……ආණ්ඩුව හාමුදුරුවරුන්ගේ ලේ සොළවලා

ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පොලීසිය අද ලේ දන්දීමක් සූදානම් කරලා. ඒත් ඊයේ ම පොලීසිය පදවි ප්‍රාප්තිය සමරලා හම්බන්තොට දී ලේ අරගෙන. පොලිෂ්පතිත් හම්බන්තොට ගිහිල්ලා. ඔහු හරි නිර්භීතයි. උද්ඝෝෂණ තියෙන තැන්වලට ඔහු පෞද්ගලිකව ම යනවා. ඔහු එදා උතුරේ කටයුතුවලට සහභාගි වුනා ද කියා දන්නේ නැහැ. ඒත් උතුරේ දෙමළ ජාතිවාදීන්ට අද නම් පොලීසිය හොඳින් සලකනවා. ඒ ඊනියා සංහිඳියාව වෙනුවෙන්. පොලීසිය අද මේ පහර දෙන්නේ රට ජාතිය ආගම රැකගැනීම සඳහා පෙරට එන භික්‍ෂූන් වහන්සේට හා දේශප්‍රේමීන්ට. ඒ අය ත්‍රස්තවාදීන් නො වෙයි. ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දෙමළ ජාතිවාදයට දෙන කප්පමක් හැටියට අකුලා ගෙන. දෙමළ ජාතිවාදීන් වඩා ලිහිල් ත්‍රස්තවාදයට එරෙහි පනතටත් විරෝධය පළකරලා. දෙමළ ජාතිවාදීන්ට ත්‍රස්තවාදය අවශ්‍ය බව පැහැදිලියි. පොලීසිය හා හමුදාව උතුරේ දී නිහඬයි. ඊනියා සංහිඳියාවේ උපරිම ඵල නෙලන්නේ දෙමළ ජාතිවාදීන්. අද සිංහලයන්ට කරන්න ඇත්තේ රට බේරා ගැනීම සඳහා ලේ දන්දීමට. ආණ්ඩුව රට බෙදීමට කටයුතු කරන දෙමළ ජාතිවාදීන්ට එක් හැන්දකිනුත් රට ආරක්‍ෂා කිරීමට කටයුතු කරන සිංහලයන්ට වෙනත් හැන්දකිනුත් බෙදනවා. මෙහෙම ලියන එක ජාතිවාදය කියා පඬියන් හා ආණ්ඩුව කියන්න පුළුවන්. එහෙත් එහෙම කරන නිසයි මෙහෙම ලියන්න වෙලා තියෙන්නෙ. එහෙම කරන එක මුළුමනින් ම දෙමළ ජාතිවාදියි. සිංහල විරෝධීයි.

හම්බන්තොට ඊයේ චීන ව්‍යාපෘතියට මුල්ගල් තිබ්බා. අගමැති හා වාචාල ඇමතිවරු එයට සහභාගි වුනා. ඒ අතර සමහර ඇමතිවරුන්ගේ මැරයන් ද සහභාගි වෙලා. කිලිනොචිචියට චාවාකච්චේරියට යාපනයට වඩා පොලිස් හමුදා හම්බන්තොටට යවා ඇත්තේ මැරයන්ට අමතර ව විය යුතුයි. අද ආණ්ඩුව හාමුදුරුවරුන්ගේ ලේ සොළවලා. හම්බන්තොට වැඩ සිටියේ සාමනේර හාමුදුරුවරුන් පමණක් නොවෙයි. එතැන නිකායවල අනුනායක හාමුදුරුවරුන් ද වැඩම කරලා.ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලියි.

ජේ ආර් ජයවර්ධන අනුගමනය කෙළේ ද මේ ප්‍රතිපත්තියමයි. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වූවනට වෙඩි තැබ්බුවා. එහෙත් දෙමළ ජාතිවාදීන් සැනසුවා. ඔහු සිංහල විරෝධියෙක්. සිංහල බෞද්ධ විරෝධියෙක්. රනිලුත් සිංහල බෞද්ධ විරෝධියෙක්. අද පොලීසිය හාමුදුරුවරුන්ට පහර දෙන්නේ දෙමළ ජාතිවාදින් හුරතල් කරමින්. රනිල් මෙයට පෙර වරක් අගමැතිව සිටිය දී ඊනියා සාම ගිවිසුමක් ලෝකයේ සිටි දරුණුම ත්‍රස්තවාදීයා වු ප්‍රභාකරන් සමග අත්සන් කළා. එයින් සිදු වූයේ කොටි සංවිධානය තවත් බලවත් වීම පමණයි. ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය සිංහල බෞද්ධ විරෝධීයි. එහි ලංකාවේ ප්‍රධාන නියෝජිතයා මෙන් ක්‍රියාකරන රනිලුත් සිංහල බෞද්ධ විරෝධීයි. ඔහු සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඔහුට සහතික දෙන රතන හිමියන් හාමුදුරුවරුන්ට පොලීසිය ලවා පහර දෙන විට සදහම් අරණේ භාවනා කරනවා ද? ජාතික හෙළ උරුමය ඊනියා යුග පෙරළියක් කළා යැයි කියන්නේ මේකට ද? ජනතා විමුක්ති පෙරමුණ දැන් බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. ඔවුනුත් මේ ඊනියා යුග පෙරළියට දර දිය ඇද්දා. ඔවුන්ගේ දයලෙක්තික භෞතිකවාදයට මේ වෙනස පෙනුනේ නැද්ද?

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ගිවිසුමට තවමත් අත්සන් කර නැති බව කියනවා. අත්සන් කර නැති ගිවිසුමකින් ආරම්භ කිරීමට යන ව්‍යාපෘතියකට මුල් ගල් තැබීමට ලංකාවේ චීන තානාපති සහභාගි වෙලා. දැන් කොණ්ඩෙ බැඳපු චීනුන් නැහැ. තානාපති මුල් ගල් තැබීමේ උත්සවයට ගිවිසුමක් නැතිව සහභාගි වන්නේ අහවල් දේකට ද? ගිවිසුමක් අත්සන් කරත් නැතත් ආණ්ඩුව චීනුන්ට රට විකුණලා. චීන කොන්දේසිවලට යටත් වෙලා ඇති. ආණ්ඩුව චීනයට යම් යම් පොරොන්දු දීලා ඇති. චීනය දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදයේ දී අපට උදවු දුන් එක ඇත්ත. එහි ජාතිකත්වයක් තිබෙන බවත් ඇත්ත. එහෙත් එපමණින් අප චීනයේ කොන්දේසිවලට යට විය යුතු නැහැ. ආණ්ඩුව චීන කොන්දේසිවලට යට නොවී නම් චීන තානාපති මුල් ගල් තියන්න සහභාගි වන එකක් නැහැ. අවුරුදු එකසිය අනූ අටකට බදු දෙන එක සින්නක්කර විකිණීමකට දෙවැනි නැහැ. අද බදු ගිවිසුම් අත්සන් කරන අය විතරක් නොවෙයි ඔවුන්ගෙ මුණුබුරන්වත් බදු ගිවිසුම ඉවර වෙන කොට ජීවත් වන්නේ නැහැ. ආණ්ඩුවකට තම ආණ්ඩු කාලයට වඩා වැඩි ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ නොතිබිය යුතුයි.

මා හොඳාකාරව දන්නා දෙයක් තිබෙනවා. ඒ මෛත්‍රිපාල හම්බන්තොට ප්‍රහාරය ගැන කිසිවක් නොදන්නා බව. ඔහු අද සියල්ල පුවත්පත් මගින් දැන ගනීවි. එහෙමත් නැත්නම් සාගල රත්නායකගෙන් අසාවි. සාගල රනිල්ගේ ගෝලයෙක්. සාගලත් පොලිෂ්පතිත් වැඩ කරන්නේ මෛත්‍රිපාලට ඕන අන්දමට නොව රනිල්ට ඕන විධියට. ඒ විතරක් නොවෙයි. මෛත්‍රිපාල වැඩ කරන්නෙත් රනිල්ට ඕන විධියට. මෛත්‍රිපාලට අනුව ඒකාධිපතියා රනිල් ද බැසිල් ද? ඒ කවුරු වුනත් මෛත්‍රිපාලට රට වෙනස් කරන්න පුළුවන්. ඒත් ඒ සඳහා හෘදය සාක්‍ෂියක් ඕන. රට ජාතිය ආගමට හිතවත් වෙන්න ඕන. නිතර දෙවේලෙ ගල් විහාරය ළඟින් ගියත් සමහරුන්ට දේශප්‍රේමයක් ඇති වන්නේ නැහැ. රාජපක්‍ෂලා සමග තිබෙන වෛරයට ඒ ඔක්කොම යටයි. ඒ වෛරය නිසා රනිල් දේශප්‍රේමියකු ලෙස පෙනෙනවා ඇති. මෛත්‍රිපාල සිංහලයෙක් නම් ජාතිප්‍රේමියෙක් නම් අදින් පසු යහපාලන ගිවිසුම අවසන් නිසා රනිල් හලන්න ඕන.

මේ ආණ්ඩුව පත් කෙරුණේ විජාතිකයන් විසින්. ඒ නව ව්‍යවස්ථාවකින් රට බෙදීමට. නව ව්‍යවස්ථාවක් ඇති කරන්න ආණ්ඩුවට ජනවරමක් නැහැ. එක්සත් ජනතා නිදහස් පෙරමුණට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ලැබුණේ මන්ත්‍රී ධුර 105ක් පමණයි. එය 150ට නොව 113ටත් අඩු බව පාසල් ගිය ඕනෑම අයකු දන්නවා. සංධානය නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට ජනවරමක් ඉල්ලුවේ නැහැ. රනිල්, ජේ ආර් මෙන් ම සිංහල විරෝධය සතපහකට ගණන් ගන්නේ නැහැ. ඔහු ඒ සියලු විරෝධ ඉතා අමානුෂික ආකාරයකට මර්දනය කරනවා. ජේ ආර් ඉන්දු ලංකා ගිසුමට ඇති වූ විරෝධය මර්දනය කෙළේ ජ වි පෙරමුණේ ආධාරයෙන් ජීවිත දසදහස් ගණනින් බිලි ගනිමින්. අදත් රනිල් තම ස්වාමිවරුන් වූ බටහිර ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේ අවශ්‍යතා අනුව සිංහලයන් මර්දනය කරන බව හම්බන්තොට ප්‍රහාරයෙන් පැහැදිලි වෙනවා.
නලින් ද සිල්වා
2017 ජනවාරි 08

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.