Breaking
25 Feb 2025, Tue

සිරිසේන …දෝෂාභියෝගය අත ලගයි… මෛත්‍රිට මහින්ද සරණයි

කොහේ ද යන්නෙ කියා ඇසූ විට මගේ මිතුරකු පැවසුවේ වයසට කියායි. අප සියළු දෙනාම තරුණ, මහළු කවුරුත් වයසට යනවා. මහළු අයට එය වැඩියෙන් තේරෙනවා. මාත් මහළුයි. මගෙත් කාලෙ ගෙවිලා. බොහෝ දෙනකුට මැන්ටල් එකක් පමණයි. ජනමාධ්‍යයෙ හා ජාතික ව්‍යාපාරයෙ තැනක් දෙන්නෙ ම නැහැ. මුහුණු පොතේ ඉන්නෙ ඒකයි. මුහුණු පොතේ බොහෝ දෙනකු මට ඊයේ උපන්දින සුබපැතුම් එවා තිබුණා, ඒ සැමට පින්. ජනමාධ්‍යයට ගෑවිච්ච කිසිවකු සුබ පතලා තිබුණෙ නැහැ. මුහුණු පොතේ බොහෝ දෙනකුගේ මුහුණු දකින්න ලැබෙන්නේ නැහැ. දැකලත් නැහැ. ඒකට කමක් නැහැ. මේ දිනවල උපන්, උපදින අයගේ රවි නීචයි. රවි ප්‍රධාන ග්‍රහය නිසා එහෙම වෙන එක එච්චර හොඳ නැහැ. පඬියකු කියාවි රවි ග්‍රහයකු නොව තාරකාවක් කියලා. ඒ ග්‍රහයා හා ග්‍රහවස්තුව කියන්නෙ දෙකම එකක් කියලා අරගෙන. පඬියන්ට වරදින්නෙ එහෙමයි. රාහු කේතුත් ග්‍රහයො. ඒවා අහසෙ දකින්න නැහැ. ඒත් රාහු හඳ වගේම ඉරත් ගිලගන්නවා. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඇති වන්නෙ එවිටයි. සිංහල අවුරුද්ද පොත කියෙවුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. රවි නීච වුනත් සමහරුන්ට නීච භංග රාජ යෝග යෙදෙනවා. වාසනාවකට මට එහෙම යෝගයක් නැහැ. තිබුණ නම් 2020 ජනාධිපති සිහින මවන්න තිබුණා!

අද රටේ දේශපාලනයේ ජනාධිපතිලා අගමැතිලා ඇමතිලා හිටියත් ජීවත්වෙන්නෙ එක චරිතයයි. ඒ මහින්ද රාජපක්‍ෂ. අනෙක් චරිත දේශපාලන වශයෙන් ගත්තොත් එක්කො මැරිලා, නැත්නම් අවතාර. ඒ කියන්නෙ විජාතික බලවේග විසින් මෙහෙයවන්නන්. රනිල්ට බටහිර හා ඉන්දියාව ආධාර කරනවා. ඉන්දියාවට බටහිර ආධාර කරනවා. දැන් මෛත්‍රිපාලට ආධාර කරන්න කවුරුවත් නැති පාටයි. රාජිත අද මෛත්‍රිපාල එක්ක හිටියත් හෙට රනිල් එක්ක ඉඳීවි. චම්පකට විරුද්ධ ව එ ජා පක්‍ෂය මීගමු මුහුද කළඹනවා. මෙගාපොලිස් කටු ඔටුන්නක් පමණයි. එය යුදෙවු ක්‍රිස්තියානි කියමනක්. ෆවුසිට විරුද්ධව නඩු. ඩිලාන් කියනවා ඒ ගොල්ලො ඊනියා සම්මුතිවාදී ආණ්ඩුවෙ සමකොටස් කාරයො කියලා. ඒක එහෙම නොවෙයි කියලා අප මුල ඉඳලම දැනගෙන හිටියා. රන්ජන් රාමනායක ඩිලාන් කියන එක පිළිගන්නව ද? නිමල් සිරිපාල ආණ්ඩුවෙන් එළියට එන්න ලැහැස්තියි. ඒත් දැන්ම එන එකක් නැහැ.

මේ දහනවවැනි සංශෝධනයෙ ඊනියා ජාතික ආණ්ඩුව දෙදරලා. ආණ්ඩුවට තවමත් අවුරුද්දයි මාස දෙකයි. අවුරුදු හතරහමාරක් යනකම්, ඒ කියන්නෙ තව අවුරුදු තුනයි මාස හතරක් යනකම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. මෛත්‍රිපාල ඉන් පසුවවත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියයි ද කියන එක ප්‍රශ්නයක්. වර්තමාන තත්වය යටතේ ඡන්දයක් තිබ්බොත් මෛත්‍රිපාලගෙ අපේක්‍ෂකයන්ට ඇපත් නැහැ. පාර්ලිමේන්තු ඡන්දෙ තියා පළාත් පාලන ආයතන ඡන්දෙවත් තියන්නෙ නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් සමුපකාර ඡන්දෙත් කල්දාවි. අවුරුදු පහ ගෙවෙන්න ඉස්සෙල්ල පාර්ලිමේන්තුව තමන් ම විසුරුවා ගන්න එකක් නැහැ.

මහින්ද පරාජය කරන්න කියලා හදාගත්තු පෙරමුණු දැන් වලංගු නැහැ. දැන් තියෙන්නෙ ආණ්ඩුව ඇතුළෙ සටන්. පිටත් සටන්. අන්තො ජටා බහි ජටා. මෛත්‍රිපාල එක්ක ඉන්න චම්පක වගේ ඇමතිවරු ඔහුට සටනින් ඉවත්වෙන්න දෙන එකක් නැහැ. එහි අවසන් ප්‍රතිඵලය දෝෂාභියෝගයක් වෙන්න බොහෝ ඉඩ තියෙනවා. ඒත් අතරමැද සටන් විරාම තියේවි. දෝෂාභියෝග යෝජනාවක් පිළිගන්න හොඳ කතානායක කෙනෙකුත් ඉන්නවා. මෙහෙම කතානායක කෙනෙක් ලංකාවෙ තියා ලෝකෙ වෙන කොහේවත් ඉඳලා නැතිව ඇති.

දෝෂාභියෝගෙන් මෛත්‍රිපාල පැරදුනොත් රනිල් ජනාධිපති කරගන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ. ඒත් දෝෂාභියෝගය ජයගන්න නම් තුනෙන් දෙකක් ඕන. දෝෂාභියෝගය දැන්ම එන එකක් නැහැ. ඒත් ඒක ගැන හිතන එක නරක නැහැ. ගඟ හත්ගවුවක් තියලා අමුඩ ගහන්න ඕන නැහැ. ඒත් අමුඩෙ හොයාගන්න එකේ වැරැද්දක් නැහැ. මහින්ද අමරවීර කියලා තිබුණ ප්‍රශ්නෙ තිබුණෙ අල්ලස් හෝ දූ’ෂණ හෝ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරිය එක්ක පමණයි කියා. මේ පොඩි ළමයි කියන කතා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෛත්‍රිපාල කණ්ඩායම හා එ ජා පක්‍ෂය අතර. හිත හදාගන්න අමරවීරලා කියන කතා ගණන් ගන්න ඕන නැහැ.

මෛත්‍රිපාල පොදු අපේක්‍ෂකයා වුනෙ රාජපක්‍ෂලා එක්ක තරහට. ඔහු කිවුවෙ තමාට ඇමතිවරයකු වෙලත්, තැනක්, වැදගත් කමක්, බලයක් තිබුණෙ නැති බව. දැන් ප්‍රශ්නය ජනාධිපති වෙලත් බලය ලබාගන්න සටන් කරන්න සිදුවීම. මෛත්‍රිපාලව අවසානයෙ දි රකින්න පුළුවන් මහින්දට විතරයි. ඒ දෝෂාභියෝගයට තුනෙන් දෙක ලැබීම වැළැක්වීමෙන්.
නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 21

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.