Breaking
24 Feb 2025, Mon

සිරිසේන පුලුවන් එලිසබෙත් රැජින ගාවට ගිහින් කියපන් කැප්පෙටිපොළ රාජද්‍රෝහීකම නැති කරන්න කියලා…

බොහෝ දේ ගැන කතාකරන්න තියෙනවා. හම්බන්තොට වරාය චීනයට බදු දීම, වරායේ කිහිප දෙනකු එකතු වී ලෝකයේ උසම නත්තල් ගස සෑදීමට යැම, කාදිනල්තුමාගේ නියෝජිතයා එයට පළමුව ආශිර්වාද කිරීම, පසුව කාට කාටත් දිළින්දන් මතක්වීම, දිළින්දන් නගා සිටුවීමට කිසිවකුට නොහැකිවීම, කෝප් වාර්තාව දෙවැනි වරටත් අතුරුදහන් කිරීමට පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීමට අදහස් කිරීම, මෛත්‍රිපාල එයට දක්වන ප්‍රතිචාරය, එට්කා ආදී වශයෙන් මාතෘකා රාශියක් තිබෙනවා. ඒ අතර නොපෙනෙන මානය, බටහිර විද්‍යාව, ජාතිකත්වය, වකුගඩු රෝගය, බුදුදහම ආදී එදිනෙදා කරුණු ඉක්මවා යන මාතෘකා ද තිබෙනවා. ඒ සියල්ලම තිබිය දී අප අද කැප්පෙටිපොළ වීරයා ගැන කතා කරනවා.

අද රටේ ඇත්තේ වැඩ බැරි ටාසන්ලාගේ ආණ්ඩුවක්. රනිල් හා ආණ්ඩුව කරන්නේ තාමත් හැම එකට ම මහින්දට හා ඊනියා රාජපක්‍ෂ රෙජිමයට බැණ වැදීම පමණයි. රනිල් පහුගිය දා තවත් විහිළුවක් සපයා තිබුණා. ඔහුට අනුව මහින්ද රාජපක්‍ෂ අවුරුදු දෙකක් තිබිය දී ජනාධිපතිවරණයක් පවත්වා ඇත්තේ ජාතික ණය බරින් නිදහස් වීමට නොහැකි නිසයි. එයින් කියැවෙන්නේ මහින්ද ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ ම තමන්ට කරන්න බැරි නිසා ආණ්ඩුව රනිල්ට භාර දී මැදමූලනට යෑමටයි. මහින්ද දැනගෙන තිබෙනවා තමා පරදින බව. රනිල්ට අනුව මහින්ද පරාජය වීම සඳහා ම ජනාධිපතිවරණයක් පැවැත් වූ ලෝකයේ පළමු ජනාධිපතිවරයා වෙන්න ඕන.

මේ වැඩ බැරි ටාසන්ලා තම නොහැකියාව වසා ගැනීමට හා ව්‍යවස්ථා සම්පාදනය ජනතාවට අමතක කරවීමට රනිල්, කිරිඇල්ල, හැරිසන් ආකෘතිවල විහිළු සපයන අතර මෛත්‍රිපාල වෙනම පොතක් පෙරළනවා. ඒ පොතේ සමහර පිටුවල ජාතිකත්වය ගැන ද ලියැවී තිබෙනවා. මෛත්‍රිපාල අද කියන දේ හෙට නිෂේධ කරනවා. පහුගිය දා ඔහු එතෙර සිටින වෛද්‍යවරුන්ට ආපසු ලංකාවට ඒමට ආරාධනය කළා. ඊයේ මෙරටට විදේශ විනිමය උපයන මවුවරුන්ගේ දරුවන් අමතා කීවේ වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ආදීන් වී පිටරට ගොස් සේවය කර රටට වැඩ කරන්න කියා. ඔහු ඒ දරුවන්ගෙනුත් විදේශ විනිමය බලාපොරොත්තු වෙනව වගේ.

මෛත්‍රිපාල ජනාධිපති ලෙස වැඩක් කරලා. ඔහු කැප්පෙටිපොළ නිළමෙතුමා (මට අර නිළමෙ සර් මතක් වෙන්නෙ කරුමෙකට වෙන්න ඕන) ඇතුළු කිහිප දෙනකු රණ ශූරයන් බවට පත්කරලා. ඔහු හිතන විධියට කැප්ටෙිපොළ නිළමෙතුමා ඊයේ වන තුරු දේශද්‍රෝහියෙක්. දැන් මෛත්‍රිපාලට පින් සිද්ද වෙන්න රණ ශූරයෙක්. අපට නම් කැප්පෙටිපොළ නිළමෙතුමා ඇතුළු පිරිස දේශප්‍රේමී වීරයන් වී බොහෝ කල්. ඔවුන් 1817 සිට ම අපේ වීරයන්. ඔවුන් දේශද්‍රෝහීන් රාජද්‍රෝහීන් බවට පත්කෙරුණේ බ්‍රවුන්රිග් විසින්. සමහරවිට මෛත්‍රිපාලටත් බ්‍රවුන්රිග් අනුව යමින් ඔවුන් ඊයේ වන තුරු රාජද්‍රෝහීන් වෙන්න ඇති.

මා කලින් වතාවක සඳහන් කර ඇති පරිදි චන්ද්‍රිකාගේ ආණ්ඩුව 1998 දී ඊනියා නිදහසේ පනස්වසර සැමරීමට වේල්ස් කුමාරයා නමින් ප්‍රචලිත චාල්ස් වින්ඩ්සර් ගෙන්නුවා. මහනුවර මගුල් මඩුවේ පැවති උත්සවයක දී චන්ද්‍රිකා ද ඉංගිරිසියෙන් කතා කර නිදහසේ පනස්වසර සැමරුවා. මෛත්‍රිපාලත් සමහරවිට එදා නුවර යන්න ඇති. චින්තන පර්ෂදයේ අප නම් එදා ගියේ වෙල්ලස්සට. ඒ වේල්ස් කුමරයා සමග නොව වෙල්ලස්සේ කුමාරයා සැමරීමට. අපට එදත් කැප්පෙටිපොල නිළමෙතුමා ඇතළු පිරිස වීරයන්. අපේ සැමරුම් උත්සවයට විජිතමුණි සොයිසා නම් විරුද්ධ වුනා. ඔහු ඒ උත්සවය නවත්වන්න උත්සාහ කළා. ඔහුට අප රාජද්‍රෝහීන් වෙන්න ඇති. ඔහු කැප්පටිපොළ නිළමෙතුමාත් රාජද්‍රෝහියකු ලෙස සලකන්න ඇති. අප ඔහු එදත් සතපහකට ගණන් ගත්තේ නැහැ. අප උත්සවය පැවැත්වුවා. වෙල්ලස්සේ කුමාරයා සැමරුවා. චන්ද්‍රිකාගේ මිනිසුන්ට දේශප්‍රේමීන් පෙනෙන්නේ ජාතිවාදීන් ලෙස, නැත්නම් අර කවුදෝ අනුව යමින් තක්කඩියන් ලෙස. කැප්පෙටිපොළ නිළමෙතුමාත් පඬියන්ට අනුව තක්කඩියකු වන්නට ඇති.

මෛත්‍රිපාලගේ ජනාධිපති ආඥාව නැති වුනාට කැප්පෙටිපොළ නිළමෙතුමා ඇතළු පිරිස සිංහලයන්ට තවදත් දේශප්‍රේමී රණ ශූරයන්. ලෝකයේ බොහෝ රටවල නගරවලට බටහිරයන් දුන් නම් වෙනස්කර ඉංගිරිසියෙන් ද පැරණි නමින් හඳුන්වනවා. බීජිං, කොල්කතා ඒ සඳහා උදාහරණ. එත් අපට තාමත් මහනුවර කැන්ඩි. මෛත්‍රිපාලට පුළුවන් ද කැන්ඩි ඉංගිරිසියෙනුත් මහනුවර කරන්න. මහින්දත් ඒක කෙළේ නැහැ. කොහොමටත් මේ රටේ පඬියන් ට්‍රින්කො මිසක් ත්‍රිකුණාමලයට හරි ගෝකණ්නට හරි යන්නෙ නැහැ. බැටී මිසක් මඩකලපු යන්නෙ නැහැ.

මෛත්‍රිපාලට කරන්න වැඩක් තියෙනවා. තාමත් ඉංගිරිසින්ට අනුව කැප්පටිපොළ නිළමෙතුමා ඇතුළු පිරිස රාජද්‍රෝහීන්. ඔය එංගලන්තෙ ගිය වෙලාවක අත්වැසුම් ඇතුව හරි නැතුව හරි ඒ නෝනා (එලිසබෙත් වින්ඩ්සර්) හරි මේ නෝනා (එංගලන්තෙ අගමැතිනි) හරි හම්බ වුනොත් කැප්පටිපොළ නිළමෙතුමා ඇතුළු පිරිසගෙ රාජද්‍රෝහිකම නැති කරන්න කියනවා ද? කැප්පෙටිපොළ නිළමෙතුමා ඇතුළු පිරිස රාජද්‍රොාහීන් වෙන්නෙ එංගලන්තෙ මිසක් ලංකාවෙ නොවෙයි. ඔවුන්ගෙ රාජද්‍රෝහීකම නැති කරන්න ඕන එංගලන්තෙ මිසක් මෙහෙ නොවෙයි. මෛත්‍රිපාලට ඒ වැඩේ කරන්න බැරි නම් අර නිතර එංගලන්තෙට යන චන්ද්‍රිකා නෝන ලව්ව ඒ නෝනට හරි මේ නෝනට හරි කියවලා ඒ වැඩේ කරවනවද?

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 09

කැප්පෙටිපොළ නිළමෙතුමා පසු වදන

පසු වදනඃ

1817 -18 මෙරට ඇති වුනේ ඉංගිරිසින්ට විරුද්ධව කරන ලද පළමු නිදහස් සටන. අප ඒ බව කියන්නේ 1998ත් කලින්. එය කැරැල්ලක් වුනේ ඉංගිරිසින්ට. ඒත් අදත් ලංකාවේ ජනමාධ්‍යවල ප්‍රබුද්ධ කියන ජනමාධ්‍යවේදීන් තවමත් ඒ නිදහස් සටනට කියන්නේ කැරැල්ල කියා. මෛත්‍රිපාල කියන්නෙ කොහොමද කියලා හරියට කියන්න බැහැ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.