විශේෂාංග

සීබ්‍රා වගේද කෝබ්‍රා

තවත් අයවැයක් ඉදිරිපත් විය. එය 2002දී එජාප ආණ්ඩුව හදුන්වා දුන් යළි පුබුදුමු ශ්‍රී ලංකා වැඩසටහනේ නව සංස්කරණයකි. ජනතාව මුලාකරන සෙල්ලමකි. පෞද්ගලීකරණයට වැඩි බර තබමින් වෙළෙඳ පොළ මත ආර්ථිකය තීරණය කිරීමට ඉඩදී බලා සිටින අයවැයකි. අයවැයට නිශ්චිත දැක්මක් හෝ අරමුණක් නොමැත.

සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල ජාවාරම්කාරයින්ට බිලිදෙන කොල්ලකෑමකි. ගොවීන්ගේ පොහොර සහනාධාරයට මහ දවල් පොකට් ගසා ඇත. රජයේ සේවකයින් 2016 ජනවාරි සිට බඳවා ගැනීමේදී දැන් ක්‍රියාත්මකවන රාජ්‍ය විශ්‍රාම වැටුප හබක්ය. පාසැල් දරු දැරියන්ගේ නිල ඇඳුමට අමුතු උප්පරවැට්ටියකි. පෞද්ගලික සරසවි හරහා අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයකි. කොන්ත්‍රාත් සේවක වහල් ක්‍රමය තවත් පුළුල්කර ඇත. කම්කරුවන්ට ගොවීන්ට, ධීවරයින්ට, ශිෂ්‍යයින්ට, කාන්තාවන්ට, තරුණයින්ට ඇතුළු කිසිවෙකුට අයවැයෙන් සැබෑ සහන නැත. ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑමට මෙවර අයවැයේ ආර්ථික උපායමාර්ග අසමත්ය. එය පුස් බංකොලොත් අයවැයකි. ජනතාවට මර උගුලකි.

එහෙත් සුද්දන්ට කුණු කොල්ලයට ඉඩම්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විදේශිකයන්ට ඉඩම් පවරා දුන්නේ නැත. සියයට සියයක් බදු පැවරුවේය. ලොකු පෞද්ගලික සමාගම්වලට, ඉහළ පැලැන්තියට සහන හෝල් සේල්ය. දුප්පතුන් පමණක් නොව ඉහළ සහ පහළ මධ්‍යම පාන්තිකයන්ටද අයවැයෙන් හතේ හත වැදෙනු ඇත.

බඩු මිල පහල දැමීම නයි-ඉණිමන් සෙල්ලම කැටයෙන් කරනවා වාගේ වැඩකි. එදා රුපියල් 140ට තිබූ පරිප්පු කිලෝව මෑතකදී 240 දක්වා ඉහළ දැමුවේය. අයවැය මගින් දැන් එය යළි රුපියල් 169 දක්වා පහළට දමා තිබේ. පාසැල් දරුවන්ට නිල ඇදුම් මැසීමට දැන් ලැබෙනුයේ රුපියල් 350ක වව්චරයකි. එදා නිල ඇදුම් ජෝඩු දෙකකට රෙදි ලැබුණේය. පිරිවෙන්හි අධ්‍යාපනය ලබන පැවිදි ශිෂ්‍යයින් 35,662කට සහ ගිහි ශිෂ්‍යයින් 30,542කට 2015 හිමිවිය යුතු සිවුරු සහ නිල ඇදුම් තවමත් ලැබී නැත. දැන් කියනුයේ එය 2016 නිල ඇදුම් සමඟ ලබාදෙන බවකි. අධ්‍යාපනය අයිතීන් ලබාගැනීම ඉදිරියේදී ගඟට ඉනි කැපුවා වගේ වැඩකි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට තීරුබදු රහිතව රුපියල් 50,000ට යතුරු පැදියක් දුන්නේය. ලක්ෂ ගණනක සේවකයෝ එයට හිමිකම් කීය. යතුරු පැදියේ යනවිට වැස්සට තෙමෙන නිසා ඒ වෙනුවට යහපාලනය යටතේ රජයේ සේවකයින්ට දෙන්නට යෝජනා කළේ මෝටර් රථයකි. වාහන මිලට බදු පනවා දැන් එය සිහිනයකි. වෑන් රථයක් ලක්ෂ 30කින්ද, හයිබ්‍රිඩ් රථයක් ලක්ෂ 4කින්ද, ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලක්ෂ 20කින්ද ත්‍රීරෝද රථයක් 150,000කින්ද වැඩිවි ඇත.

අයවැයෙන් වැඩිවූයේ වාහන පමණක් නොවේ. වැඩිකල බදුබර අනුව විදුලි බිල, ජංගම දුරකථන ගාස්තු, හෝටල් සේවා ගාස්තු ඉහලට යෑම නතරකල නොහැක. අලුතින් සමාගමක් ලියාපදිංචියට රුපියල් 60,000කි. එය අහෝසි කිරීමට රුපියල් 250,000කි. ආර්ථිකයේ මර්මස්ථාන ජාවාරම්කාර පැලැන්තියකට අත්පත්කර ගැනීමට ඉඩකඩ සලසමින් සිටී.

තේ දල්ලට මිලක් ලැබුණේද නැත. රබර්ද එසේමය. බදු අඩු නැත. රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා දෙන බව කීවද එයට අදාල වැය ශීර්ෂයක්ද නැත. එහෙත් ඇමති සංඛ්‍යාව හෙට අනිද්දා තවත් වැඩිවනු ඇත. පරාජිත ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් තිදෙනෙක් පඩිනඩි, යාන වාහන ලබාදී මිලියන ගණනක් වැයකර ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් බවට පත්කරමින් ජනතාවට තවත් බරක් පැටවූවේය. මේ සියල්ල අතරතුර දෙමළ බෙදුම්වාදීන් යැයි සැකකර අත්අඩංගුවට ගෙන සිටි ද්‍රවිඩ ජාතින් 269ක් ඇප පිට නිදහස්ය. දෙමළ බෙදුම්වාදයට සම්බන්ධ ජාත්‍යන්තර එන්.ජී.ඕ 8ක තහනම ඉවතටය.

පොහොර සහනාධාරය කප්පාදු කොට ගොවියා කබලෙන් ලිපට දමා ඇත. ආණ්ඩුව කියන්නේ පොහොර සහනාධාරයට ජනතා බදු මුදල් අතිවිශාල ප්‍රමාණයක් වැයවූවද අපේක්ෂිත අරමුණ ඉටු නොවන බවය. ඇතැම්විට ඊළඟ අයවැයේදි මෙම ‘නාස්තිකාර වියදම’ සම්පූර්ණයෙන් කපා දැමීමට වුවද ‘යහපාලන’ ටිකිරි මොළයට දැනුනොත් එහි පුදුමයක්ද නැත. පොහොර සහනාධාරය වෙනුවෙන් යල සහ මහ කන්න දෙකටම දෙන්නේ රුපියල් 25,000කි. එයද හෙක්ටරයකට අඩු ගොවිබිම් වලටය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පොහොර සහනාධාරය නිසා රට සහල් වලින් ස්වයංපෝෂිත විය. සහල් අතිරික්තයක් ලැබිණි. සහල් කිලෝවක මිල 60ට අඩුවිය. වසර 10කට ආසන්න කාලයක් තුළ එය සිදුවිය. පොහොර නොදැමීමෙන් වී පලදාව අඩුවනු ඇත. සහල් මිල ඉහළ යනු ඇත. සහල් කිලෝවක් නිපදවීමට රුපියල් 68ක් අවමය වනු ඇත. අතරමැදියන් සහ වෙළෙදුන් එක්වූ සහල් පාරිභෝගිකයින්ට හතේ හතය. ඇමරිකාවට තිරිඟු පිටි අපනයනය කර ශ්‍රී ලංකාවේ හොද පාරිභෝගික වෙළඳ පොලක් දැන් සාදා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව විවරකර ඇත.

එක ගමක් සංවර්ධනය කරන්නට ලක්ෂ 150කි. ගමට ලක්ෂ 150ක් තබා විමධ්‍යගත මුදල් යටතේ 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවට අතුරු අයවැයෙන් පොරොන්දුවූ ලක්ෂ 100ක මුදලවත් මෙතෙක් ලබාදී නැත. ලබන 2016 විමධ්‍යගත අයවැය යටතේ ලක්ෂ 150ක් දෙන බව කීවද තවමත් කථාව දෝලාවෙන්ය. ගමන පයින්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එක ගමට එක වැඩක් යටතේ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,000කට වසර 5ක් පුරා වාර්ෂිකව රුපියල් දස ලක්ෂයක් ගමේ පොදු වැඩකට ලැබුණේය. එයද ගමේ ක්‍රියාත්මක වන වෙනත් යෝධ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් වලට අමතරවය.

වාර්ෂික වාහන දුම් සහතික පතට රුපියල් 5,000කි. එය රුපියල් 3,900ක වැඩිවිමකි. මාර්ග තදබදය අඩුවන තෙක් අලුතින් කාර් එකක් ගැනීම අයවැයෙන් කල්තැබූ ජනතාවක් සිටින ලෝකයේ එකම රට ලංකාව විය හැකිය. ලංකාවේ වාහන ලක්ෂ 15ක් පමණ වේ. දුම් සහතික දෙන්නේ සමාගම් දෙකකි. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්ය. දුම් විමෝචන ගාස්තුව නිසා රටට බරක් නැති ස්වයංරැකියාවක් වන පාසැල් ලමුන් ප්‍රවාහන වෑන් රථ 40,000කට පමණ අතිරේක බරක් දැරීමට සිදුවේ. ලබන වසරේ පාසැල් වෑන්රථවල යන ලමුන්ගෙන් ඒ සඳහා වැඩිපුර රුපියල් 200ක් ගෙවිය යුතු බව දෙමාපියන්ට දැනටමත් දැනුම්දී ඇත.

ටෙලිකොම් සහ මොබිටෙල් සමාගමේ ගෝරියකි. ඇතුළත් ගැටය. පිටත් ගැටය. රෝස මලේ නටුවේ කටු කියමින් ටෙලිකොම්හි අධ්‍යක්ෂක ධුරයට සිය පුත්‍රයා පත්කර පැණි උරන්නේ පවුල් පාලනයට තැවතීමේ තිත තබනවා කීයූ පරාජිත අපේක්ෂිකාවකි. ටෙලිකොම් සමාගම තවත් පෞද්ගලික දුරකථන සමාගමක් වෙළෙඳපොලේ නියමිත මිලට වඩා ඇමරිකන් ඩොලර් මිලියන 30කට ආසන්න වැඩි මිලකින් ලබාගන්නට යෑමෙන් දැන් එතෙන ලොකු ගාල ගෝට්ටියකි. යහපාලන ඇත්තෝම හත්පොලේම ගාගෙන දබරකර ගනිති.

ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනයට සියයට 6ක් වෙන්කර ඇතැයි කී කථාව ටොම් පචයා චිත්‍රපටියද පැරදවීමකි. සියයට 6 හදා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියළු ඉඩම්, ගොඩනැගිලි, පාසැල්, ඩෙස් පුටු, භාවිතාවන වාහන, මහින්දෝදය විද්‍යාගාර, පාසැල් වැසිකිලි සහ කැසිකිලි ඇතුළු හැට හුට හමාරක් සමඟය. හැට හෝ හුට කෙසේ වෙතත් ෆූටා(විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය) නායකයින්ට නම් පැමිණි දුක් පැණි රසය. යහපාලනය වෙනුවෙන් උදු වැපුරූ ෆූටාවේ ඇතැම් ඇදුරෝ මුං බලාපොරොත්තු විය. අධ්‍යාපනයට සියයට 6 වෙන්කල තියරිය සොයාගත් කයිකන් අප්පු කළේ කයිකන් අප්පුට අවශ්‍ය විදිහටය. අධ්‍යාපනයට මුදල් හිඟවූවද පොලිස් කොට්ඨාශ ගණන 428 සිට 600 දක්වා වැඩිකර ඇත.

වැඩි පඩි සහ සම්පත් සොයා උගතුන් රට හැර ගියේය. රාජ්‍ය සේවයට එන උගතුන් සහ බුද්ධිමතුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලැබුණේ බුද්ධිගලනය නතර කිරීමේ එක් පියවරක් වශයෙනි. රජයේ ජේෂ්ඨ නිලධාරින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, සරසවි කථිකාචාර්යවරුන්, ගණකාධිකාරිවරුන් වැන්නෝ මෙම බලපත්‍රයට හිමිකම් කීහ. දැන් ඔවුනට මෙවර අයවැයෙන් වාහන බලපත්‍රය අහෝසිය. උගතුනට සහ බුද්ධිමතුන්ට අපමණ අගයකි. තීරු බදු රහිත බලපත්‍ර වලින් රජයට අහිමිවන ආදායමට වඩා බුද්ධිගලනයෙන් මව්බිමට සිදුවන පාඩුව මිල කල නොහැක.

බැංකුවලට 2016 සිට කල්බදු ලීසිං තහනම්ය. දිවිනැගුම බැංකුවේ අරමුදල් ජාතික ඉතිරිකිරිමේ බැංකු සමඟ එකාබද්ධ කර ඇත. දිවිනැගුම ප්‍රතිලාභින්ට ඉන් කිසිම සුගතියක් නැත. ගෑස්, කිරිපිටි මිල ඇතුළු අතවශ්‍ය භාණ්ඩ වර්ග 11ක මිල පහත හෙලීම ඇස් බැන්දුමකි. මේවා හිඟන්නන්ට පවුඩර් දෙනවා වාගේ වැඩක්ය. උපරිම මිලක් නියම කලද පාලන මිලක් නැත. දේශීය කිරිපිටි අඩුකිරීමෙන් බඩේ පහර වැදුනේ කිරි ගොවියන්ටය. කුඩා තේවතු හිමියන්ට, රබර් වතු හිමියන්ට, අල ගොවින්ටද සහතික මිලක් මෙම අයවැයෙන් ලබාදී නැත.

කම්කරු නීති සංශෝධනයට ලක්කිරීමේ යෝජනාවකි. පෞද්ගලික අංශයට දින 5 සතියක් අයවැයෙන් ලබාදීම හාම්පුතුන්ට සේවක ශ්‍රමය සූරාකෑමට හොද ඉල්ලමකි. සතියකට දින 5ක් සේවකයින්ට ෂෝක්ද? මෙම වසරේදී ජාතික කම්කරු සභාවට දින 5 යෝජනාව ඉදිරිපත් කළේ හාම්පුතුන්ගේ සම්මේලනය මගිනි. එසේ නොමැතිව එම සභාව නියෝජනය කරන පිළිගත් වාත්තීය සමිති 47න් එකක් හෝ නොවේ. හාම්පුතුන්ගේ සම්මේලනය එහිදී ඉල්ලා සිටියේ කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍ර ක්ෂයවීම්, ඉන්ධන, විදුලිය, ජලය, ආහාර,දුරකථන ගාස්තු, අනෙකුත් සේවා සෙනසුරාදා දිනයේත් වැයවීමට සාපේක්ෂව ආදායම අඩු බැවින් එදින සේවකයින්ට නිවාඩු දිනයක් බවට පත්කොට සතියේ දින පහේ සේවා කාලය පැය 9ක් කිරීම දෙපාර්ශවයටම වාසිදායක බවය. එහිදී වෘත්තීය සමිති පෙන්වා දුන්නේ පැය 8 පැය 9 බවට පත්කිරීමෙන් කම්කරු ප්‍රඥ්ඥප්තිය පවා උල්ලංඝණය කෙරෙන බවකි. වැඩිවන පැයට ප්‍රමාණවත් අතිකාල දීමනාවක් හාම්පුතුන් එහිදී ඉදිරිපත් නොකළේය. එම යෝජනාව විසදුමක් නොමැතිව ගලායමින් තිබියදී මෙවර අයවැය මගින් එය බෞතීස්ම කිරීමේ ප්‍රයත්නයක් දරා තිබේ. දිනකට පැය 9 සේවයේ කටුනායක සහ බියගම ආයෝජන කලාපයේ කම්හල් කිහිපයක දැනටම ක්‍රියාත්මක නොවෙනවා නොවේ.

විදේශකයින්ට මෙරට ඉඩම් අයිතියට තිබූ සීමා ඉවත් කිරීම, ආයෝජන සඳහා බදු සහන ලබාදීම, සුපිරි බද්ද අහෝසි කිරීම ආදිය මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. දිනකට පැය 9 ‍ක සේවා මුර යෝජනාව සලකා බලන්නට සිදුවෙන්නේ මෙහෙව් පසුබිමකය. අයවැයෙන් පාර කැපෙනු ඇත්තේ සැබෑ ආයෝජකයින්ට නොව ශ්‍රම මංකොල්ලකරුවන්ටය. ද්විත්ව පුරවැසි ඉල්ලා සිටි 14,525කින් දැනටමත් 3,000කට උත්සවශ්‍රීයෙන් පුරවැසිකම් ලබාදී ඇත. ඔස්ට්‍රේලියානු පුරවැසියන් 648කට එමගින් ශ්‍රී ලංකා පුරවැසිකම හිමිවූවද කුමාර් ගුණරත්නම් තවමත් සිටින්නේ කෑගල්ල බන්ධනාගාරයේය.

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනි සිටින ශ්‍රිලනිප ජනතා හිතවාදී මන්ත්‍රීවරුන්, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 41කි. කථානායක පිළිගත් විපක්ෂයට ඇත්තේද මන්ත්‍රීධූර 22කි. ඒ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් 16ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6කි. අයවැය හමුවේ ඔවුන්ගේ භුමිකාව දෙස රටම බලා සිටී.

බම්බුවේ තැම්බුවත් ගොට්ටේ තැම්බුවත් හැලියේ කටට රෙද්ද බැඳලා තැම්බුවත් කුරක්කන් පිට්ටු නං කුරක්කන් පිට්ටුමය. එමෙන්ම උණ පුරුකේ ඇද හරින්නට බැරිවා සේ එජාප ආණ්ඩුවල අයවැය කැරැට්ටුවද දන්නෝ දනිති. අයවැයට පක්ෂ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට අලුතින් වාහනයක්, ඉන්ධන සමගින් රියදුරෙක් සහ සෙසු සංතෝසම්ද ලැබෙනු ඇත. ජනතාවට දුක ශ්‍රිලනිප වාහෙලා පිරිසක්ද මේවාට හෝයියා කීමට දියවන්නාවේ සිටීමය. සීබ්‍රා වගේද කෝබ්‍රා කියන්නේ මේවාටය.
ධර්මන් වික්‍රමරත්න
journalists@gmail.com

Top