Breaking
24 Feb 2025, Mon

සී අයි ඒ මුදල් රණවිරුවන් දඩයමට

ඔබාමා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට පෙර සී අයි ඒ සංවිධානය මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට සිංහල විරෝධී වැඩවල යෙදීමට මුදල් බෙදීමට ඔහුගේ අවසරය ලබා ගෙන. සී අයි ඒ සංවිධානය පසුපසින් සිට මෙහෙයවන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ඇමරිකන් රාජ්‍ය මණ්ඩලය නමි සංවිධානය මගින් මේ මුදල් දීමට යනවා. මේ මුදල් රණවිරුවන් යුද්ධාපරාධකරුවන් බවට පත්කර දඬුවම් කිරීම සඳහා කටයුතු කරන ඊනියා සංහිඳියාවක් වෙනුවෙන් සිංහලයන්ට විරුද්ධව හා දෙමළ ජාතිවාදයට පක්‍ෂව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන සඳහා ලබා දීමට යනවා. ඔබාමාට ජනාධිපති ධුරයේ සිටිය හැක්කේ තව දින කිහිපයක් පමණයි. සි අයි ඒ සංවිධානය එයට පෙර මුදල් බෙදීමට ඔහුගේ අත්සන ලබාගෙන.

ලෝකය පාලනය කරන්නේ කවුද යන්නත් ඔවුන්ට ලංකාවේ වුවමනා කරන්නේ කුමක් ද යන්නත් මෙයින් ද පැහැදිලි වෙනවා. ඔබාමා කියන්නේ එක්සත් රාජ්‍යවල හිටපු දුර්වල ම ජනාධිපතිවරයෙක්. ඔහු ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයට අවශ්‍ය අන්දමට ක්‍රියා කළ අයෙක්. ලෝකයේ බලගතු ම පුද්ගලයා එක්සත් රාජ්‍යවල ජනාධිපති කිවුවත් ඒ එසේ වන්නේ නැහැ. හිලරි ක්ලින්ටන් ජනාධිපතිනිය වූවා නම් ඇය ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයට අවශ්‍ය අන්දමට ලෝක යුද්ධයක් ඇති කරන්න වුනත් ඉඩ තිබුණා. ඇය දෙමළ ජාතිවාදයට තව තවත් ආධාර කිරීම නම් නියත වශයෙන් ම සිදුවන්න තිබුණා. දෙමළ ජාතිවාදය නන්දිකඩාල් කලපුවෙහි දී දේශපාලන වශයෙන් පරාජය කෙරුණත් තවමත් එය පවත්වා ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය විසින්.

ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙන් බේරාගෙන ඔහු ලංකාවෙන් පිට කිරීමට ජාත්‍යන්තරවාදු සුපිරි ව්‍යුහයට අවශ්‍යතාව තිබුණා. ඔවුන් ඒ සඳහා මහින්දට බලපෑම් කරා. මහින්ද ඒ කිසිවකටවත් යට වූයේ නැහැ. මහින්ද වෙන කිසිවක් නොකළත් සුපිරි ව්‍යුහයේ බලපෑම් නොතකා ප්‍රභාකරන් පැරදවීම පමණක් වුවත් ඔහු ඉතිහාසගත වීමට ප්‍රමාණවත්. මෛත්‍රිපාල රටට ආදරයක් ඇත්නම් තම පෞද්ගලික වෛර පිරිමසා ගැනීමට ගොස් රනිල්ට හා චන්ද්‍රිකාට යටත් වී රට පාවා නොදිය යුතුයි. අපට මෛත්‍රිපාලගෙන් නැවත නැවතත් අසන්නට සිදුවන්නෙ ඒකාධිපතියා බැසිල් ද රනිල් ද යන්නයි. තමා ජනාධිපති ව සිටිය දීත් තම බලතල අතට ගෙන දැනටමත් කටයුතු කරන, ඊනියා සුපිරි ඇමතිකමක් ඇති කර ජනාධිපති බලතල අගමැතිට ලබා ගැනීමට උත්සාහ කරන රනිල් හම්බන්තොට දී ක්‍රියා කළ ආකාරයෙන් ම ඔහු සිංහල විරෝධී භීෂණයේ බෑණා බව මෛත්‍රිපාලට නොතේරෙන තරමට ඔහුගේ දෑස් වෛරයෙන් වැසී තිබෙනවා ද?

අද සී අයි ඒ සංවිධානය කියන්නේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට රුසියාව ආධාර කළ බවයි. එය ඇත්ත ද නැද්ද යන්න කියන්න බැහැ. එහෙත් ඒ එසේ නම් ඉන් කියවෙන්නේ සී අයි ඒ සංවිධානයට හිතන තරම් ශක්තිමත් නැති බවයි. සී අයි ඒ සංවිධානයට බැරි වෙලා තියෙනවා රුසියාව ට්‍රම්ප්ට ආධාර කිරීම වළක්වන්න. සුපිරි ව්‍යුහයට සී අයි ඒ වැනි ඔත්තු සේවා මෙන් ම බුද්ධිමතුන් ද (ලංකාවේ නො වේ. ලංකාවේ බුද්ධිමතුන් නැහැ. ඉන්නේ පඬි අනුකාරක අහිනක් පමණයි) බහු ජාතික සමාගම් ද අයත් වෙනවා. අප වැනි රටවල ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිවල් සමාජ ආදියෙහි ඇත්තේ මේ සුපිරි ව්‍යුහයෙන් වැටුප් හා වරප්‍රසාද ලබන පුහු දාසයන් ටිකක් පමණයි. අද දෙමළ ජාතිවාදය ද, විශේෂයෙන්ම බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනතාව ද මෙහෙයවනු ලබන්නේ මේ ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය මගින්.

සී අයි ඒ සංවිධානයට අවශ්‍ය ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයට වුවමනා පරිදි සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් නැති කිරීමට. සුපිරි ව්‍යුහය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම සඳහා දෙමළ ජාතිවාදය යොදා ගන්නවා. සුපිරි ව්‍යුහයට ඇති බලගතු ම තර්ජනයක් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි කී විට පඬියන් අපට හිනහවෙනවා. බොහෝ ජනමාධ්‍යවේදීන්ට මේ බව තේරෙන්නේ නැහැ.

කොහොමටත් සිංහලයන්ට ප්‍රවාදාත්මක ව හිතන්න බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රවාද නැහැ. එය නරකක් නොවෙයි. අප වියුක්ත නොව සංයුක්ත ප්‍රවාද ඉදිරිපත් කරන්නකුට පවා එයා තියරි කාරයා කියා ගරහනවා. අප ප්‍රත්‍යක්‍ෂයට හුරු වූ සංස්කෘතියක සාමාජිකයන්. බුදුන් වහන්සේත් ප්‍රවාද (තියරි) අනුදැන වදාළේ නැහැ. ඒත් අද දවසේ ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය පරාජය කිරීමට නම් බටහිර නොව අපේ ප්‍රවාද අවශ්‍යයයි. අප අපේ ප්‍රවාද ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ එබැවිනුයි.

සී අයි ඒ සංවිධානය ඔබාමා හරහා මෙරට සිංහල විරෝධී රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලබා දෙන්නේ සැලැස්මකට අනුව. අප ඒ සැලැස්ම හා ඒ පිටුපස ඇති ක්‍රියාදාමය ප්‍රවාදයක් ඇසුරෙන් තේරුම් ගත යුතුයි. අප ඒ සඳහා දරණ වෑයම සිංහල සමාජය සතපහකට ගණන් ගන්නේ නැහැ. ඔවුන් දත්ත එකතු කිරීමක පමණක් නිරත වෙනවා. සී අයි ඒ සංවිධානය ඔවුන්ගේ මෙරට දාසයන්ට මුදල් දීම සිංහලයන්ට තවත් දත්තයක් පමණයි.

බටහිර රටවල් මේ සුපිරි ව්‍යුහයෙන් කැඩෙන්න උත්සාහ කරනවා. බ්‍රෙක්සිට් හා ට්‍රම්ප් ඒ සඳහා උදාහරණ. ට්‍රම්ප් හා සී අයි ඒ සංවිධානය අතර ගැටුමක් තිබෙනවා. අවාසනාවකට ඒකාබද්ධ විපක්‍ෂය එය තේරුම් ගන්නේ නැහැ. අප ඒකාබද්ධ විපක්‍ෂයට ට්‍රම්ප්ට ලිපියක් මගින් කරුණු පැහැදිලි කර ඔහු හමුවීමට කටයුතු කරන මෙන් කියා තිබුණත් ඔවුන් එසේ කරන්නේ නැහැ. ඔවුන්ටත් ප්‍රවාද නැහැ. ඔවුන් සිද්ධියෙන් සිද්ධියට ප්‍රතිචාර දැක්වීමක් පමණක් කරනවා. අප ට්‍රම්ප් හමුවිය යුත්තේ ඔහුට අපේ රටේ කටයුතුවලට මැදිහත් වන ලෙසට ඉල්ලීමට නොව මැදිහත් නොවන ලෙස ඉල්ලීමටයි. මැදිහත් නොවීම යනු සී අයි ඒ සංවිධානයට ඉහත කී අයුරින් ලංකාවේ ඔවුන්ගේ දාසයන්ට මුදල් දීම වැනි දේ නොකිරීමට අණ දීමයි.
නලින් ද සිල්වා
2017 ජනවාරි 09

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.