විශේෂාංග

සුද්දන්ගේ නිදහස් වූ දා මිස සුද්දන්ට යටත් වූ දා සිංහ කොඩි ලෙළ දෙන්නේ නෑ බොලව්!

පසුගියදා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් විසින් ත්‍රිකුණාමල නාවුක හමුදා කදවුර පරීක්ෂා කළේය. ඉනික්බිති එහි නිලධාරීන් අත් අඩංගුවට ගැනුනි. ඒ ජිනීවාහි ප්‍රතිපල බව බොහෝ දෙනා නොදත්හ. ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්ට මෙරටට පැමිණෙන ලෙස මේ වහල් රෙජීමය ඇරයුම් කර සිටියේය. ඒ පැමිණියේ මේ වහලුන්ගේ ස්වාමීන් මිස වෙන පිරිසක් නොවේ. මේ වැටලීමට පෙර උන්ගෙන් පිරිසක් නාවුක හමුදාපතිද මුණ ගැසුනි. වහල් රෙජීමයක කාටවත් කළ හැකි දෙයක් නැත. ඔවුන් ලබන වසවරේදීත් පැමිණ මේ රටේ අභිමානය සහ ස්වාධිපත්‍යය මහ දවාලේ කෙලෙසනු ඇත. වහලාට කළ හැක්කේ බ්‍රෙෂියරයක් වැනි අහක යන රෙද්දක එල්ලී සැඟවීම පමණි.

බටහිරයන් විසින් උන්ගේ විශේෂ නියෝජිතයෝ මෙරටට එවීමට ඉඩ ලබා ගත්තාට අමතරව මෙරට ස්වෛරීයත්වය කෙලෙසා ගනිමින් බටහිරයන්ගේ වියදමින් ඇති කරන ආයතන ත්‍රිත්වයකට මේ වහල් රෙජීමය විසින් ඉඩ ලබා දුනි. 2016 වසරේ වහල් රෙජීමයට සුද්දා පනවා ඇති එක් වැදගත් කාර්යයකි මේ ආයතන මෙහි ස්ථාපනය කිරීම. එම ආයතන මේවාය.

විදේශිකයින් නඩු කාරයින්, අභිචෝදකයින් වශයෙන් කටයුතු කරන රණ විරුවන්ට එරෙහිව නඩු අසන විශේෂ අධිකරණය – ලංකා හමුදා විසින් යුධ අපරාධ සිදුකළ බව මෙම වහල් රෙජීමය පිළිගත්තේය. ලක් රජය සංවිධානාත්මකව ජාතිඝාතනය ඇතුළු යුධ අපරාධ සිදු කළ බව ඔප්පු කිරීම මෙම අධිකරණයේ අරමුණයි.
සත්‍ය සෙවීමේ කොමිසම – මෙම කොමිසමට ඉදිරිපත්වන කරුණුද ඉහත සුද්දන්ගේ උසාවියට චෝදනා සහ සාක්ෂි වශයෙන් ඉදිරිපත් වනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ක්ෂේත්‍ර කාර්යලයක් – මෙවැන්නක් පිහිටුවීම තුළින් මෙරට ස්වාධීනත්වය සහමුලින්ම පාවා දීමකට ලක්වේ. මේ සියල්ල තුළ රජයේ නීතිපති වරයාට භූමිකාවක් අහිමි වේ.

මේ ආයතන තුන එකට ඒකාබද්ධව ක්‍රියා කරනු ඇත්තේ එක් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනුමටය. ඒ ලංකා රජය විසින් දෙමළ ජාතීන් ජාතිඝාතන සිදු කළ බව කීමටය. ජාතිඝාතනයක් සිදුව ඇත්නම් එම ජාතියට ඒ රජයෙන් වෙන් වීමට ඇති අයිතිය එක්සත් ජාතීන් විසින් පිළිගනියි. එය සමාන වන්නේ හිට්ලර් විසින් ජාතිඝාතනයට ලක් කළ යුදෙව්වන්ට වෙනම රටක් තිබිය යුතුය යන්න එක්සත් ජාතීන් විසින් පිළිගැනීමටය. රාජපක්ෂ රෙජීමය තුළදී ජාතිඝාතනය පිළිබඳ චෝදනාව දෙවරක්ම උතුරු පළාත් සභාවට පැමිණියද විග්නේෂ්වරන්ගේ මැදිහත් වීමෙන් ජාතිඝානත (Genocide) යන වචනය ඉවත් කරවන ලදී. රාජපක්ෂ එය නොඉවසන බව එදා විග්නේෂවරන් ගණන් බලන්නට ඇත. නමුත් සිරිසේන බලයට පත් වී මසක් පමණ ඇතුළත සිංහලයන් විසින් 1948 සිට දිගින් දිගටම ද්‍රවිඩයන් ජාතිඝාතනය කරන බවට යෝජනාවක් විග්නේෂ්වරන් විසින්ම ගෙනවුත් සම්මත කළේය. විග්නේෂවරන්ගේ මේ වෙනස පවසන්නේ බටහිරයින්ගේ සහ ඉන්දියාවේ වහලෙකු මෙහි පාලකයා වන තුරු ඔහු ඉවසා සිටිය බව නොවේද?

මේ ආප්ප විප්ලවය විසින් සිංහලේ ගෙලට තොණ්ඩුව දමා ඇති එක් ආකාරයක් පමණි. ලබන ජනවාරි නව වැනිදාට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කිරීමට මෙම වහල් රෙජීමය තීන්දු කර ඇත. එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ව්‍යවස්ථාව උල්ලංඝනය සඳහා අයිතියක් උන්ගේ වහල් රෙජීමයට සුද්දන් විසින් ලබා දී ඇත. ආප්ප විප්ලවයෙන් පසු මෙරට අගමැති දිවුරුම් දුන්නේ, කැබිනට් මණ්ඩලය පත් කෙරුනේ සහ හිටපු අගවිනිසුරු හිටලා නෑ කියලා හිටං සිරිසේන විසින් පළවා හැරියේ ව්‍යවස්ථාවක්, නීතියක්, සදාචාරයක් කිසි ලෙසකින් හෝ අදාළ නොවන ලෙසනි. යහපාලනයට කඩේ ගිය කුහක බුද්ධිමතුන් විසින් ජනවාරි අට වැනිදා සිදු වූයේ විප්ලවයක් යැයි පවසන්නේ මෙලෙස එක පිට එක රටේ ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය වන අතරම තමන් හෙළුවෙන් හෝ පාරේ යා යුතු බැවිනි. තමන්ගේ මල්ලිව ටෙලිකොම් සභාපති කර චතුරිකා දුව ආරක්ෂක අමාත්‍යාංශය වැනි වැදගත් අමාත්‍යාංශයක උත්සවවල ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යවන සිරිසේන සිටින්නේ හෙළුවෙන් නොවේදැයි මේ බුද්ධිමතුන් නොඅසන්නේ හෙළුවෙන් සිටීම ඔවුනට තරම් වෙන කාටවත් හුරු පුරුදු නැති බැවිනි.

සැබැවින්ම මෙය ලංකා රජය විසින් සදන්නට යන ව්‍යවස්ථාවක් යැයි කියනවාට වඩා ගැලපෙන්නේ බටහිරයන් විසින් අප ලවා සාදවන අපේ නොවන අපේ ව්‍යවස්ථාවක් බව පැවසීමයි. මෙම ව්‍යවස්ථාව සැකසෙන්නේ නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස් මතය. ආර් සම්බන්ධන් විපක්ෂ නායකතුමා ව්‍යවස්ථාවේ තමනට ඇති ගැටළු දන්වා යවන්නේ මේ නෝර්වේ රටේ කෙවන් වොලන්ටය.

එක්නැලිගොඩ අතුරුදන් වීමේ පර්යේෂණ වලට මුවා වී දෙවන වතාවට ලංකාව තුළදී බුද්ධි අංශ නිරාවෘත්ත කළේය. අද කොටින්ට ඇප ලබා දිය යුතු බව තීරණය කරන්නේ උසාවිය නොව දේශපාලකයින් විසින්ය. ත්‍රස්තයන් මර්ධනය කර අපට අභය දීමේ පාපයට රණ විරුවන් අද ත්‍රස්ත මර්ධන පනත යටතේම අත් අඩංගුවට ගැනේ. මේ සියල්ල වහල් රෙජීමය විසින් කළ යුතු බවට සුද්දා දුන් ආඥාවන්ය. යුද්ධය පවතින කාලයේවත් රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් පරීක්ෂණ වල කරුණු මාධ්‍ය ඉදිරියේ කියන්න ආවේ නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ලව්වා කියවිය නොහැකි “තාජුඩින් බොරු” අද රාජිත සේනාරත්න ඇමති වරයා විසින්ම පවසයි. යහපාලනය යනු කැබිනට් ඇමතිලා විසින් පොලිස් පරීක්ෂණ අතට ගැනීමදැයි සරත් විජේසුරිය වැනි යහපාලන කුහකයන්ගෙන් අපි අසා සිටිමු.

ඉන්දියානුවන් මෙරට රැකියා වෙළදපල ආක්‍රමණය කරන සීපා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්ය. තොරතුරු නැතිව කහනවා මෙන් රටේ ආරක්ෂක තොරතුරු පමණක් ඉල්ලා සිටි නිර්මාල්, විජේසුරිය වැනි බුද්ධිමතුන් විසින් ස්වදේශික ජනයාගේ බඩට වදින මේ ගිවිසුම්වල කෙටුම්පත් හෙළි කරන ලෙස ඉල්ලා නොසිටින්නේ උන් සේවය කරන්නේ මෙරටට එරෙහි බලවේගවල වහලුන් ලෙස නිසා නොවේද? රනිල් ළඟ කුළියට වැඩ කරන තවත් වහලෙක් කීවේ හමුදාව කොන්ත්‍රාත්තු වලට කුළියට මිනී මැරූ බවය. අද රනිල්ගේ රිලා නැට්ටන් මේ රටේ කෙරුමන් බවට පත් කර ඇත. සුද්දාට වහල්කම් කරන තරමට උන් හැමට වාසිය.

තොණ්ඩුව සිංහලේ ගෙල වටා රදවා ඇත. ඔබාමා සහ මෝඩි අත කඹයේ අනෙක් කෙළවර ඇත. තොණ්ඩුව ලක් මෑණියන්ගේ ගෙල වටා පැළදවීම සඳහා අවැසි බටහිර වහලෙක් මෙරට නායකත්වයට පත් කර ගැනුමය 2015 ජනවාරි මස 8 වැනිදා සිදු වූයේ. ඒ කපුකමට එදා දායක වූ කේ. ඉලන්ගෝ නැමති ඉන්දියානු රෝ සංවිධානයේ නියෝජිතයා එවක රජය විසින් රටින් පිටුවහල් කළේය. ඒ මතින් ගොඩනැගෙන වහල් රෙජීමයට බලයට පත් වීමට උපකාර කරනු පිණිසම මාර්තු මස සුද්දෝ ජිනීවා යෝජනා නොගෙනාහ. අගෝස්තු ඡන්දය සිරිසේනගේ සාහසික සහයෝගයෙන් රනිල්ට දිනන්නට ඉඩ තබමින් ඔවූහූ ජිනීවා තොණ්ඩුව ඔවුන්ගේ මෙරට නව වහල් රෙජීමයට භාර දුන්නේ සැප්තැම්බර් මාසයේදී මහ ඡන්දයෙන් පසුවය. මේ වහලුන් විසින් සිංහලේ ගෙල වට තොණ්ඩුව පළදද්දී බටහිර බලවේග විසින් තම අතෙහි කඹයේ අනෙක් කෙළවර තබා ගත්තේය.

සිංහලේ ගෙලට තොණ්ඩුව දමා සියල්ල සූදානම් කළ අභාග්‍යසම්පන්න වසරකි 2015. එය 1815 ට දෙවැනි නොවේ. සුද්දන්ගේ නොපනත්කම නොඉවසු සිය ස්වාධිපත්‍යයට ගරු කළ සුජාත ලක් මාතාවගේ දු පුතුන් 1818 වන විට යළි සංවිධානය වී සිංහලේ සටනට එක් විය. අද මේ වහල් රෙජීමය අපට ජාතික කොඩි ඔසවන්න කියන්නේ උන් කළ වහල් කම් සමරන්නද?

මීට පෙර මෙරට සිටි සුද්දන්ගේ වහලෙකු වු ප්‍රභාකරන් මියගිය දා මේ සිංහලේ සිංහ කොඩි ලෙළ දුන්නේ කිසිවකුගේ ඉල්ලීමකින් තොරවය.

සුද්දන්ගේ නිදහස් වූ දා මිස සුද්දන්ට යටත් වූ දා සිංහ කොඩි ලෙළ දෙන්නේ නෑ බොලව්!

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

Top