Breaking
22 Feb 2025, Sat

සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම

Published on: Apr 6, 2018 @ 16:40 – විශ්වාසභංග යෝජනාවෙන් රනිල් දිනලා. දිනන්න බැරි විශ්වාසභංගයක් ගෙනාවෙ ඇයි කියලා මා අහන්නෙ නැහැ. විශ්වාසභංගෙ ගෙනාවෙ දිනන්න. එක එක්කෙනාගෙ තක්සේරු වෙනස්. තක්සේරුවක් කියන්නෙ තක්සේරුවක් පමණයි. එය වරදින්න ඉඩ තියෙනවා. මා විශ්වාසභංගයට අකමැති වුණත් එය ගේන්න තීරණය වූ මොහොත ඉඳල ම එයට හැකි පමණින් ආධාර කළා. මට කළ හැකි විශාල ආධාරයක් නැහැ. මා කරන්නේ කාලයට ලිවීම පමණයි. මා දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිළ ආදීන් සමග විශ්වාසභංගය ගැනත් රනිල් ඉවත් කරන වෙනත් ක්‍රම ගැනත් කතාකරන්න උත්සාහ ගත්තත් ඔවුන් මා සමග කතා කිරීමට උනන්දුවක් දැක්වූයේ නැහැ. මට ජන බලයක්වත් සංවිධාන ශක්තියක්වත් බුද්ධියක්වත් උගත්කමක්වත් නැති බව ඔවුනුත් ආචාර්ය මහාචාර්යවරුනුත් දන්නවා.

විශ්වාසභංගෙ දිනුව නම් මොකද වෙන්නෙ. රනිල් දුර්වල වී මෛත්‍රිපාල ශක්තිමත් වෙනවා. විශ්වාසභංගෙ ගෙනාපු අය තක්සේරුව වැරදි වුණත් අවංක ව ක්‍රියා කර ඇත්නම් ඉන් කියැවෙන්නේ ඔවුන් මෛත්‍රිපාල ශක්තිමත් කරන්න වැඩ කර තියෙන බවයි. ඇතැමුන් (දිනේෂ්, ගම්මන්පිළ, එස් බී, දයාසිරි, සුසිල් ප්‍රේමජයන්ත ආදීන් නොව) විශ්වාසභංගය ගැන කතා කෙළෙ අවංක ව නො වෙයි. මා හිතනවා සමහරු රනිල් දිනන බව දැන දැන ම විශ්වාසභංගය වෙනුවෙන් කතා කළා කියා. මා කියන්නේ විජයදාස රාජපක්‍ෂ ගැනවත් රංගෙ බණ්ඩාර ගැනවත් වසන්ත සේනානායක ගැනවත් නො වෙයි. ඒ අය ඊයෙට කලින් මොනව දෙඩෙව්වත් අවසානයෙ දි රනිල්ට පක්‍ෂව ඡන්දය දුන්නා. එහෙත් මා හිතනවා ඔවුන්ට වෙනසක් කිරීමේ අවශ්‍යතාව තිබුණා කියා. රනිල් තියාගන්න අවශ්‍ය සමහරු රනිල් දිනන බව දැනගෙන විශ්වාසභංගෙට පක්‍ෂව ඡන්දෙ දුන්න ද කියලත් හිතෙනවා.

මා රනිල් ඉවත් කරන්න මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්වෙ මෛත්‍රිපාලට ශක්තිය නැති හින්ද තමයි. ශක්තිය තියෙන අයකුට ශක්තිය දෙන්න අවශ්‍ය නැහැ. මෛත්‍රිපාල ආප්ප කෑ විත්තිය (කුඩු කෑ විත්තිය වගේ), මෛත්‍රිපාල පඹයකු බව, මෛත්‍රිපාල කරන්නෙ රඟපෑමක් බව, ඇත්තේ කුමන්ත්‍රණයක් බව පඬියන් නිතර දේවේලෙ කිව්වා. ඒ අතර ඔවුන් කියනවා ජනවාරි අටවැනි දා ඔවුන් මෛත්‍රිපාලට ඡන්දය දුන්න එක මතවාදී ප්‍රශ්නයක් නො වෙයි කියලා. මෛත්‍රිපාල කලින් ආණ්ඩුවෙන් යැවීම ගැන පඬියන් කතාකරන්න අකමැතියි. මෛත්‍රිපාලගෙ දේශපාලනය දැන් අවසන්. ඒ වුණත් ඉදිරියේදීත් ඔහු ගැන කතා වේවි.

මා මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්වෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 43(3) හා 42(4) අනුව්‍යවස්ථා යටතේ. 43(3) යටතෙ අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් කරන්න පුළුවන්. 42(4) යටතෙ නව අගමැතිවරයකු පත් කරන්න පුළුවන්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය දේශපාලන ශක්තිය නැත්නම් හයිය. විඥානය ශක්තියක් නම් විඥානය හයියක් ද කියලා අහන්න එපා. කොහොමත් මෛත්‍රිපාලට විධායක බලය තිබුණත් දේශපාලන ශක්තිය නැහැ. මෙයට ටිකක් සමානයි 1815 න් පසු රජවුණු විල්බාවේ. ඔහුට රජකම තිබුණ නමුත් දේශපාලන (රාජ්‍යපාලන) ශක්තිය තිබුණෙ නැහැ. මුතුකුඩ නාට්‍යය විකාශය කරන නාළිකාවෙ ප්‍රධාන ඇත්තන් මුතුකුඩ නරඹන්නෙ නැතිව වගෙයි. සෙංකඩගල නිළමෙල විල්බාවෙට ඒ දේශපාලන ශක්තිය දුන්නෙ නැහැ. විල්බාවෙ හා මෛත්‍රිපාල හැම අතින් ම සමාන කියන එක නොවෙයි මෙයින් කියැවෙන්නෙ. රජකම තිබූ පළියට ම මිනිහකු රජකු වන්නේ නැහැ. එයට දේශපාලන ශක්තියක් අවශ්‍යයි. මහින්ද මෛත්‍රිපාලට ඒ ශක්තිය ලබා නොදුන්නෙ කලක් මහා අදිකාරම් ව හිටි පිළිමතලාවෙගෙ පුතා පිළිමතලාවෙ නිළමෙ විල්බාවෙට ශක්තිය නොදුන්න වගේ. පඬියන් කියන ශක්තිය දීමට ඒ දවස්වල (1815) මැතිවරණ තිබුණෙ නැති බව පඬියනුත් දන්නවා.

විල්බාවෙට රජකම අහිමි වුණා විතරක් නොවෙයි, සිංහලයන්ට රාජ්‍යය ද අහිමි වුණා. අදත් සිංහලයන්ට රාජ්‍යයක් නැහැ. අප පහුගිය වසර තිහකට වැඩි කාලයක් තිස්සෙ උත්සාහ කෙළෙ මේ රාජ්‍යය ලබා ගන්න. ඒත් ඊයෙ ඒ බලාපොරොත්තුව සදහට ම නැති වුණා ද කියලත් හිතෙනවා. මෛත්‍රිපාලට ජනාධිපතිකම ඉදිරියේ දී නැති වේවි. අපේ ප්‍රශ්නය මෛත්‍රිපාල නොවෙයි. අපේ රාජ්‍යය, එනම් ගැමුණු රජුගේ රාජ්‍යය අපට 1815 දී නැති වීම. 1815, 2015, 1818, 2018 අතර සමානකම් මෙන් ම අසමානකම් ද තියෙනවා. මට වෙලාවකට හිතෙනවා සුද්දන්ගේ 1815 මැයි 2 ව්‍යාපෘතිය 2018 අප්‍රේල් 4 සම්පූර්ණ වුණා කියලා. අද ඩොයිලි වෙන කිසිම දිනකට වඩා බලවත්.

මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දීලා සුළුතර ආණ්ඩුවක් පිහිටෙව්ව නම් (සංධානයෙ අනූහය ම එකතු වුණත් සුළුතරයක් මිස බහුතරයක් නො වෙයි) ඔය හමීම්ලා බද්‍යුද්දීන්ලා, රංගෙ බණ්ඩාරලා විජේදාසලා වසන්ත සේනානායකලා ආදීන් ඒ ආණ්ඩුවට එකතු වෙලා නිසැකයෙන් ම බහුතරයක් හදනවා. ඊයෙ ඡන්දය දීමෙන් වැළකිලා හිටපු නිමල් සිරිපාලලත් ඒ ආණ්ඩුවෙ. ඔය මන්ත්‍රීලා ඡන්දෙ දෙන හැටි අප නොදන්නව ද? නිල් කොළ ගැන ඒ ඒ අය කතා වේවි. නිල් කොළවලටත් වටිනාකමක් ලැබෙන්නෙ වෙනත් යම්කිසි බලයක් තියෙන අවස්ථාවක. රනිල් ඉවත් කරන්නෙ නැති ව රනිල්ට විරුද්ධව ඡන්දෙ දෙන්න මන්ත්‍රීවරු ඉදිරිපත් වෙන්න තියෙන සම්භාවිතාව ඉතා අඩුයි. රනිල් ඉවත් කළා නම් මන්ත්‍රීවරුන් බහුතරයක් ඔහුට විරුද්ධ වේවි.

අප කී ආකාරයට රනිල් ඉවත් කළා නම් මුළ දි සුළුතරයක් වුණත් එය බහුතරයක් බවට පත්වෙනවා. බහුතරයක් හදාගෙන ඉන් පසු රනිල් ඉවත්කරන එක පහසු වැඩක් නොවන බව ඊයේ පැහැදිලි වුණා. මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දී මහින්ද හරි මහින්දගෙ අනුග්‍රහය ලබන්නකු හරි අගමැති වූවා නම් විජේදාසලා වසන්ත සේනානායකලා පමණක් නොව රංගෙ බණ්ඩාරලාත් ඉන්නෙ මහින්දත් එක්ක. මෛත්‍රිපාලට දේශපාලන ශක්තිය ලබා දීමෙන් මහින්දට බලය ලබාගන්න තිබුණ. දැන් එය මගහැරුණා. පඬියන් තවම රඟපෑම් කුමන්ත්‍රණ ගැන කියවනවා.

මේක කුමන්ත්‍රණයක් නොවෙයි. මේ බටහිරයන්ගෙ සැලැස්ම. ඒකට මුහුණ දෙන්න මුහුණු පොතේ කයිවාරු කියවලා බැහැ. අද ඇතැමුන් කියන්නෙ අපි නලින් ද සිල්වාගෙ මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමේ ව්‍යාපෘතියත් එමගින් නලින් ද සිල්වත් පරාජය කළා කියලා. මා පරදවන්න මහන්සි වෙන්න එපා. මා පැරදිලා හුඟක් කල්. ඒ දේශපාලනඥයන් ජාතික ව්‍යාපාරය අතට ගැනීමත් සමග. ඊයේ පරාද වුණෙ සිංහල ජාතියයි. හකීම්ලා සම්බන්ධන්ලා බද්‍යුද්දීන්ලා එදත් අදත් ඩොයිලිත් එක්ක.

~~නලින්ද සිල්වා ~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.