Breaking
24 Feb 2025, Mon

සෝභිත හාමුදුරුවන්ට රටකට ගිය කල පේනව ද?

ජාතික හෙළ උරුමයේ සෝභිත හාමුදුරුවන් ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ගොස් දෙමළෙන් ගායනා කිරීම මතක් කරමින් කියා තිබුණේ උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේස්වරන් ආණ්ඩුව එක් පියවරක් ගතහොත් තමන් පියවර දෙකක් ගන්නා බව සඳහන් කළ බවයි. සෝභිත හාමුදුරුවන්ගේ පක්‍ෂයේ නායක චම්පක රණවක ජාතික ගීය දෙමළෙන් ගැයීමට විරුද්ධ වූයේ නැත. මෙහි දී කිවයුතු කරුණු කිහිපයක් වෙයි.

අප ඒ දිනවල ප්‍රකාශ කළ අයුරින් ජාතික ගීයේ දෙමළ පරිවර්තනය කියා එකක් නැහැ. ජාතික ගීය පරිවර්තනය කිරීම යමකුගේ නමක් පරිවර්තනය කරනවාටත් වඩා වැරදියි. සෝභිත හාමුදුරුවන් ගැන දෙමළෙන් කියන විට උන්වහන්සේගේ නම දෙමළට පරිවර්තනය කර කියනවා යැයි මා සිතන්නේ නැහැ. ජාතික ගීය ඉංගිරිසියට පරිවර්තනය කරන්නත් බැහැ. පරිවර්තනය කරළත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංගිරිසි පරිවර්තනයෙහි ජාතික ගීය ඉංගිරිසි අකුරෙන් ලියා තිබෙනවා. ඒ මිසක් ජාතික ගීය ඉංගිරිසියට පරිවර්තනය කර නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයෙහි ජාතික ගීය දෙමළට පරිවර්තනය කර ඇතුළත් කිරීම පිළිබඳ වරදකරුවන් සොයා දඬුවම් පැමිණ විය යුතු යැයි අප කී දේ සුපුරුදු පරිදි කාටවත් ඇසුණේ නැහැ. ජනමාධ්‍යයෙන් ඒ කියමනට ප්‍රසිද්ධියක් ලබා දුන්නෙ නැත්තෙ අප ජාතිවාදී යැයි ඔවුන් සිතන නිසා වෙන්න පුළුවන්. ඒත් විග්නේස්වරන්වත් සෝභිත හාමුදුරුවන්වත් ජාතිවාදී කියා ප්‍රබුද්ධ යැයි කියන ජනමාධ්‍යවේදීන් සිතන්නේ නැහැ.

ඒ කෙසේ වෙතත් විග්නේස්වරන් ඉන් පසුව පියවර දෙකක් නොව කිහිපයක් ම අරගෙන තිබෙනවා. ඔහු දැන් සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් ඉල්ලනවා. උතුරු හා නැගෙනහිර පළාත් එකතු කළ යුතු යැයි කියනවා. පළාත් සභාවලට පොලිස් බලතල, ඉඩම් අයිතිය ඉල්ලනවා. ඔහු දැන් පොන්නම්බලම් රාමනාදන්ගේ හා පොන්නම්බලම් අරුණාශලම්ගේ ඥාති සහෝදරයකුගේ මුණුබුරකු බව ක්‍රියාවෙන් ද පෙන්නුම් කර තිබෙනවා. රාමනාදන්ලා ජාතිවාදීන් යැයි මා කීවාට ප්‍රබුද්ධයන් සිහිනෙන්වත් කියන්නේ නැහැ. ප්‍රබුද්ධයන් විතරක් නෙවෙයි ජාතිකවාදීන්වත් එසේ කියන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදීන්ට අනුව අප අන්තවාදීයි.

විග්නේස්වරන් මේ අතට අරන් තියෙන්නෙ එංගලන්තයේ ශක්තියයි. ආණ්ඩුවේ දීන නිවට කම නිසා ඔහුට අමතර ශක්තියක් ලැබෙනවා. ඔහු එංගලන්තයේ සිටින විසුරුණු දෙමළ ජනයාගේ නියෝජිතයා. ඒ විසිරුණු දෙමළ ජනයා එහි පවත්වාගෙන යන්නේ අගමැති කැමරන්. එංගලන්තයේ කම්කරු පක්‍ෂය එයටත් වඩා දෙමළ ජාතිවාදය නඩත්තු කරනවා. ඇමරිකාවේ ඩෙමොක්‍රටික් පක්‍ෂයත් එසේමයි. ඉන්දියාවේ ජයලලිතා මෙන් ම මෝදිත් දෙමළ ජාතිවාදය නඩත්තු කරනවා. ඔවුන් දෙමළ ජාතිවාදය ආරක්‍ෂා කර පෝෂණය කරනවා. ඔවුන් නැත්නම් දෙමළ ජාතිවාදයක් නැහැ. ඔවුන් හිටියත් ඔවුන්ට හිස නොනමා සිංහලයන් ගැන කතාකරන ආණ්ඩුවක් ඇත්නම් දෙමළ ජාතිවාදයක් නැහැ.

දෙමළ ජාතිවාදීන් චෙල්වනායගම්ගෙන් ඉගෙන ගත් සූත්‍රය තමයි දැන් ටිකක් පසුව හුඟක් යන්න. සෝභිත හාමුදුරුවන් ඒ ගැන දන්නෙ නැත්නම් රතන හාමුදුරුවන්ගෙන් දැනගත හැකියි. විග්නේස්වරන්ලා සම්බන්ධන්ලා සුමන්තිරන්ලා මේ සූත්‍රය සීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරනවා. අද ඒ සූත්‍රය මුස්ලිම් ආගමිකවාදීන් ද ක්‍රියාත්මක කරනවා.

පසුගියදා නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති අහමඩ් ඇමරිකානු තානාපති ඉදිරියේ සාම්පුර් නාවික හමුදා කඳවුරේ ප්‍රධානියාටත්, නැගෙනහිර ආණ්ඩුකාරයාටත් බැණ වැදුනා. හමුදාව ඔහුට කඳවුරුවලට ඇතුල්වීම තහනම් කළා. ඒත් ආණ්ඩුකාරයාවත් ජනාධිපතිවත් තවමත් කිසිම පියවරක් ගෙන නැහැ. ආණ්ඩුව ගෙන යන්නේ රනිල් බව නැවතත් සනාථ කරමින් රනිල් ඒ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් කැඳෙවුවා. රනිල් ආරක්‍ෂක ඇමති නෙවෙයි. කවුරුන් හරි කියාවි මෛත්‍රිපාල අර ජී 7 කණ්ඩායම ඇමතීමට ජපානයට ගොස් සිටි නිසා රනිල්ට හමුදා නිලධාරීන් කැඳවීමට සිද්ධ වුනා කියලයි. ඒ කැඳවීම වුවමනා නම් මෛත්‍රිපාල ඒමෙන් පසු කරන්න තිබුණා. එහෙම කළේ නැත්තෙ රනිල් ආණ්ඩුවේ ලොක්කා නිසාත් ඔහුට රොටරි සමාගමේ හා එල් ටී ටී ඊී සංවිධානයේ හොඳ කීමට කොරියාවට යෑමට තිබුණු නිසාත්.

කොහොමටත් මෛත්‍රිපාල ජපානයට ගියේ ජී 7 කණ්ඩායම දුරින් සිටින ආසියා අප්‍රිකා රටවල් කිහිපයකට ම ආරාධනා කිරීමට පියවර ගෙන තිබුණ නිසා. මෙරට ජනමාධ්‍ය එය වාර්තා කෙළේ ජී 7 කණ්ඩායම මෛත්‍රිපාලට කරන ලද විශේෂ සැලකිල්ලක් ලෙස පෙන්වන ආකාරයට! මෙහි ඇති ඡායාරූපයෙන් ජපානයට ආරාධනය ලැබූ අනෙක් අයත් දැනගන්නට පුළුවන්.

අහමඩ්ට හමුදාව පැනවූ තහනම අප කී ආකාරයට ම දැන් ඉවත්කර තිබෙනවා. ඉවත් කිරීම හමුදාවේ වැඩක් වෙන්න බැහැ. අහමඩ් කියන්නේ ආණ්ඩුකාරයා ඉවත් කළ යුතු ය කියායි. විග්නේෂ්වරන් පමණක් නොව අහමඩ් ද පියවර කිහිපයක් ඉදිරියට ගැනීමට සූදානම්. සෝභිත හාමුදුරුවන්ට රටකට ගිය කල පේනව ද?

නලින් ද සිල්වා

2016 මැයි 31

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.