Breaking
25 Feb 2025, Tue

හමුදාවට නිසි සැලකිල්ලක් නොදක්වන්නේත් විග්නේස්වරන්ගේ ප්‍රභාකරන් කෙනකු බිහි කිරීමට ද?

තවත් එදිනෙදා කටයුත්තක් ගැන ලිවීමට සිදුවෙලා. ඒ රාජිතගේ ආවා චෝදනාව නොවෙයි. රාජිත කියන දේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්න වටින්නේ නැහැ. ආවා කණ්ඩායම ගැන ඔහු චෝදනා කරන්නේ හමුදාවටයි. බුද්ධි අංශයටයි. ආවා කණ්ඩායම පාතාල කල්ලියක් වෙන්න පුළුවන්. සමහරවිට ඒ පසුපස දේශපාලන හස්තයක් තියෙන්නත් පුළුවන්. ඒ කුමක් වුවත් ඒ ගැන විනිශ්චයක් දිය යුත්තේ රාජීිත නොවෙයි. රාජිතගේ ප්‍රකාශය ආණ්ඩුව හමුදාව හා එහි බුද්ධි අංශය දුර්වල කිරීමේ, එය දුර්මුඛ කිරීමේ, මන්දෝත්සාහි කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් පමණයි. ආණ්ඩුව එසේ කරන්නේ බටහිරයන්ගේ හා ඉන්දියාවේ වුවමනාවට.
මා මෙහි දී සඳහන් කරන්නේ ආණ්ඩුව හමුදාව කෙරෙහි දක්වන ආකල්පයයි. අද ආබාධිත රණවිරුවන් මහාපාරේ විශ්‍රාමික වැටුපක් ඉල්ලා උපවාසයක් පටන්ගෙන. මෙතෙක් දින කිහිපයක් තිස්සේ කරගෙන ගිය උද්ඝෝෂණයකට ආණ්ඩුව යහපත් ප්‍රතිචාර නොදැක්වූ නිසා උපවාසය පටන් අරන්. රණවිරුවන්ට මෙසේ පාරේ තැනින් තැන ලැග සිටීමට සිදු වී ඇත්තේ ඇයි? ආණ්ඩුව කියන්නේ රණවිරුවන් පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි. ඒ එසේ නම් ආණ්ඩුව කළ යුත්තේ ඒ දේශපාලන හස්තය හෙළිදරවු කිරීමයි.

අනෙක් අතට ආණ්ඩුව කරන්නේ දේශපාලනයක් නොවේ ද? ආණ්ඩුව දේශපාලනයෙන් තොර රාජ්‍යපාලනයක් කරන්නේ ද? කතානායක ආණ්ඩුවේ කොටසක් නො වෙයි. කතානායක ධුරයට පත්වීමෙන් පසු යමකු දේශපාලන පක්‍ෂයේ කටයුතු අත්හැරිය යුතුයි. එහෙත් මේ කතානායක එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙක්. ඔහු පාර්ලිමේන්තුවේ දෙන තීන්දු අනුව ඔහුගේ පක්‍ෂග්‍රාහී බව පැහැදිලියි. කතානායක එහෙම නම් අගමැති හා ඇමතිවරු ගැන කියනුම කවරේ ද? ආණ්ඩුව මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ වැඩ කරන්නේත් දේශපාලනයට අනුව. මෙතන දි ආණ්ඩුව කියන්නේ තියෙන එ ජා ප ආණ්ඩුවට. මෛත්‍රිපාලටත් එකී කොට්ඨාසය ගැන විවේචනයක් තියෙනවා.

අද කොළඹ හා රටේ අනෙක් තැන්වල බෝම්බ පිපිරෙන්නේ නැත්තේ රණවිරුවන් හා බුද්ධි අංශය නිසා. දේශපාලනඥයන්ට නිදහසේ දේශපාලනය කරගෙන යෑමට හැකි වී තිබෙන්නේත් රණවිරුවන් නිසා. ඒත් රණවිරුවන්ට මහපාරෙ උපවාස කරන්න සිද්ධවෙලා. රණවිරුවන් ඉල්ලන්නේ සේවා කාලය සැලකිල්ලට නොගෙන ආබාධිත විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප ගෙවන ලෙසයි. රණවිරුවකුට විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා අවුරුදු දොළහක් සේවය කිරීමට ආබාධිත වීමෙන් පසු ඉඩක් ලැබෙන්නේ නැහැ. කළ යුත්තේ ආබාධිත රණවිරුවකුගේ සේවා කාලය අවම වශයෙන් අවුරුදු දොළහක් වූ ලෙස සැලකීම පමණයි. එය අමාරු වැඩක් නොවෙයි.

ආණ්ඩුව ඒ අතර බුද්ධි අංශයේ ප්‍රධානියා මාරු කරලා. සිවල් සමාජයේ අවශ්‍යතාව උඩ ඒ කෙරුණු බවකුයි පෙන්නන්න හදන්නෙ. සිවල් සමාජය ඒ ගැන ලොකුවට හිතනවා වෙන්න පුළුවන්. ඔවුන් එහෙම හිතාගෙන මානසික සුවයක් විඳින එක අපට ප්‍රශ්නයක් නොවෙයි. එහෙත් සිවල් සමාජය එහි දී පෙනී හිටියේ කා වෙනුවෙන් ද කියන ප්‍රශ්නය ඇසීමට සිදුවෙනවා. බුද්ධි අංශයට පහර ගැසීමට අවශ්‍ය වී ඇත්තේ කාට ද? ආණ්ඩුවට අවශ්‍ය බුද්ධි අංශය දුර්වල කිරීමටයි. ඒ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව පරිදි. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ඒ සිද්ධ වෙනවා. සිවල් සමාජය කියන්නෙත් බටහිරයන්ගෙ සංකල්ප, ආකල්ප, ආධාර අනුව ක්‍රියාකරන කණ්ඩායමක්. සිවල් සමාජය ම බටහිර සංකල්පයක්. සිවල් සමාජයට ඉන්දීය අදහසුත් බලපානවා. ආවා කණ්ඩායම පිටුපස දේශපාලනයක් ක්‍රියාත්මක වේ නම් ඒ සොයා ගැනීමට කොන්ද කඩා දැමූ බුද්ධි අංශයකට බැරි වේවි. සාමාන්‍යයෙන් පාතාල කල්ලිවලට දේශපාලනඥයන්ගේ අනුග්‍රහ ලැබෙනවා. ඒ පෞද්ගලික මට්ටමෙන්. බුද්ධි අංශය පාතාල කල්ලි ගැනත් සෙවිල්ලෙන් සිටිය යුතුයි. ඒ නැති කිරීමට පියවර ගත යුතුයි. එහෙත් ඒ සඳහා ආණ්ඩුවේ අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ.

රජයේ උසස් ය කියන නිලධාරීන් රණවිරුවන් කෙරෙහි දක්වන ආකල්පය හෙළාදැකිය යුතුයි. මේ උසස් නිලධාරීන්, විශේෂයෙන් ම අමාත්‍යාංශ ලේකම්වරුන් ඒ තැන්වලට පත්කර ඇත්තේ දේශපාලනඥයන් විසින්. ඔවුන්ගේ පත්වීම් දේශපාලන පත්වීම්. මැතිවරණ කොමසාරිස් මොන පඬි කතා කිවුවත් උසස් නිලධාරීන්  ඒ නිසා ම ආණ්ඩුවේ සේවකයන් මිස රාජ්‍ය සේවකයන් නොවෙයි. රණවිරුවන් මේ නිලධාරීන් මෙන් සුවපහසු ජීවිත ගතකරන්නේ නැහැ. බොහෝ රජයේ නිලධාරීන් යැයි කියා  ගන්නා අය නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඒ තැන්වලට පැමිණි අය. ඔවුන්ට ඉගැන්නුවේත් දැන් වැටුප් ගෙවන්නේත් මෛත්‍රිපාලවත් රනිල්වත් නොවෙයි, මහාජනයා. ඒත් ඔවුන් සේවය කරන්නේ අවසාන වශයෙන් ගත්තම බටහිරයන්ට. රණවිරුවන් සේවය කෙළේ රටට, ජාතියට හා ආගමට. වෙනස ඒකයි. ඊනියා රජයේ සේවකයන් රණවිරුවන්ට පුප්පන්නේත් ඒකයි.  රණවිරුවන් පාරේ රසාතියාදු නොකර ඔවුන්ගේ ඉල්ලීම ඉටුකිරීමට ආණ්ඩුව පියවර නොගන්නේත් හමුදාවට නිසි සැලකිල්ලක් නොදක්වන්නේත් විග්නේස්වරන්ගේ ප්‍රභාකරන් කෙනකු බිහි කිරීමට ද?

නලින් ද සිල්වා
2016 නොවැම්බර් 05

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.