පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන අගමැතිගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දීමට රනිල් වික්‍රමසිංහ වෙල්විදානේ සරත් ෆොන්සේකාට පවරා ඇත්තේ තමාට කැස්සක් ඇති බව කියමිනි. එහෙත් මෙය කිනම් ස්ථාවර නියෝගයකට අනුව කෙළේ දැයි ඔහුවත් කතානායකවත් පැහැදිලි කර නැත. මෙරට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ප්‍රශ්නයක් මෙයින් මතුවෙනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඉන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා ලෙසින්වත් මෛත්‍රී වික්‍රමසිංහගේ ස්වාමි පුරුෂයා ලෙසවත් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයකු ලෙස පත් වී ජනාධිපති විසින් අගමැති තනතුරට පත්කරනු ලැබුවා. අගමැතිකම රනිල් වික්‍රමසිංහගේ එක් කාර්යභාරයක්. රනිල් අගමැති තනතුරේ වැඩකරනවා. එ සඳහා ඔහු දිවුරා වැඩ භාරගෙන තිබෙනවා. එහෙත් අගමැති තනතුරේ එක් කාර්යභාරයක් රනිල් වික්‍රමසිංහ වීම නෙවෙයි.
කලකට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නමින් ආමන්ත්‍රණය කෙළේ නැහැ. ගරු බියගම මන්ත්‍රීතුමා, ගරු බටහිර කොළඹ මන්ත්‍රීතුමා ආදී වශයෙන් තමයි මන්ත්‍රීවරුන් හැඳින්නුවේ. එහෙත් ජේ ආර් ජයවර්ධනගෙ දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමය ඇරඹුණාට පස්සේ ඒ ක්‍රමය නැතිවුණා. අද කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කිවුවම අනන්‍යතාවක් සහිත ව එක් මන්ත්‍රීවරයකු ගැන කියන්න බැහැ. එහි දී අනන්‍ය බව පෙන්වන නම නොකියා ආමන්ත්‍රණය කරන ක්‍රමයක් සකස්කරගන්න බැරි කමක් නැහැ. එහෙත් කිසිවකු ඒ ගැන කල්පනා කෙළේ නැහැ.
මෙරට පාර්ලිමේන්තුව අනුගමනය කරන්නෙ එංගලන්ත ක්‍රමය. මා එය එලෙසින් ම අනුගමනය කරන්න කියන්නෙ නැහැ. එහෙත් රනිල් වික්‍රමසිංහ පෙන්නන්නෙ තමා පාර්ලිමේන්තු ක්‍රමයෙ ආරක්‍ෂකයා කියා. එසේ නම් ඔහු අන් අයට වඩා එයට ගරු කළ යුතුයි. පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන්ට නමින් ආමන්ත්‍රණය කළෙ නැත්තෙ එහි ඉන්නෙ මහජන නියෝජිතයන් මිස පෞද්ගලික චරිත නොවන නිසා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්නෙ අගමැති තනතුරේ වැඩ කරන කොළඹ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයකු ලෙසයි. ඔහුට පාර්ලිමේන්තුවේදීවත් අගමැති කාර්යාලයේදීවත්, අගමැති තනතුරේ වැඩ කරන විටවත් රනිල් වික්‍රමසිංහ වෙන්න බැහැ. මෙය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ වෙන්කිරීම පිලිබඳ නියමය. ඒ සංස්කෘතියේ ජීවත්වන රනිල් ඒක දැනගන්න ඕනැ. අප නම් ජීවත්වන්නෙ වෙනත් සංස්කෘතියක.
රනිල්ලා ඒකාබද්ධ විපක්‍ෂය පිළිගන්නෙ නැත්තෙ එහි මන්ත්‍රීවරුන් සංධානයෙන් පත්වෙච්ච අය බව කියමින්. ඔවුන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පිළිගන්නෙ සංධානය මිසක් ඒකාබද්ධ විපක්‍ෂය නෙවෙයි. ඒකාබද්ධ විපක්‍ෂයත් මෝඩ කමට තමන් පිළිගන්නෙ නැති බව ජෙනීවාහි ඊනියා ජාත්‍යන්තර පාර්ලිමේන්තු කාරයන්ට කිවුව. ඒක හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩකට වඩා හොරාගෙ අම්මට පැමිණිළි කිරීමක්. රනිල් පාර්ලිමේන්තු සම්ප්‍රදාය කබරගොයා තලගොයා කරන සම්ප්‍රදායක් බවට පත්කර ගෙන.
පාර්ලිමේන්තුවේ දී ඇමතිවරයකුගෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඇමතිවරයා ඇමති ධුරයේ වෙනත් අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පාර්ලිමේන්තුවෙන් පිටතට ගොස් නැත්නම් එයට පිළිතුරු දිය යුතුයි. එසේ පිටත ගොස් ඇත්නම් හා පිළිතුරු සැපයීම හදිසි නම් වෙනත් ඇමතිවරයකුට ඒ කටයුත්ත පැවරිය හැකියි. අගමැතිගෙන් ප්‍රශ්නයක් ඇසූ විට අගමැති පාර්ලිමේන්තුවේ සිටී නම් වෙනත් අයකුට ඒ පැවරිය නොහැකියි. අගමැති ධුරයේ වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවෙන් බැහැර යෑමට සිදුවුහොත් සභානායකට පිළිතුරු සැපයීම පැවරිය හැකියි. එහෙත් පාර්ලිමේන්තුවේ හිඳිමින් කැස්ස යැයි කියා වෙනත් විදානේ කෙනකුට පිළිතුරු දීම පවරන්නේ කිනම් සම්ප්‍රදායකට එකඟව ද?
මෙහි දී මතුවන කරුණක් නම් කැස්ස හැදෙන්නේ කා හට ද යන්නයි. අගමැති කියන්නෙ තනතුරක්. අගමැතිට කැස්ස හැදෙන්නවත් ලෙඩ වෙන්නවත් බැහැ. අගමැති තනතුර දරන අයට නම් කැස්ස හැදෙන්න පුළුවන්. ඒ කියන්නෙ රනිල්ට නම් කැස්සක් හැදෙන්න පුළුවන්. අපි හිතමු රනිල්ට කැස්සක් හැදිලා කියලා. ඔහුට අගමැති තනතුරේ වැඩ කරන්න බැරි නම් ඔහු කළ යුතු වන්නේ ජනාධිපතිට ඒ බව කීමයි. එවිට ජනාධිපති අගමැති ධුරයේ වැඩබැලීමට වෙනත් ඇමතිවරයකු පත්කිරීමට හෝ ව්‍යවස්ථාවේ සඳහන් අන්දමට සුදුසු දෙයක් කිරීමට හෝ පියවර ගත යුතුයි. කැස්ස සුව වුනාම රනිල්ට නැවතත් අගමැති තනතුරේ වැඩ කළ හැකියි.
රනිල් පාර්ලිමේන්තුව විහිළු සපයන තැනක් බවට පත්කරන්න හදනවා. එකම ප්‍රශ්නය තියෙන්නෙ ඒ විහිළුවලට හිනා යන්නෙ නැති එක විතරයි. එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන රනිල් කැස්සට බෙහෙත් ගන්න ගියාම දොස්තර උන්නැහෙ බෙහෙත් දෙන්නෙ රනිල්ට මිසක් අගමැතිට නොවන බව දැනගන්න ඕනැ. හරකුන්ට හා වෙනත් සතුන්ට ප්‍රතිකාර කළ හැකි නමුත් අගමැතිලාට ප්‍රතිකාර කරන ක්‍රමයක් ලෝකෙ කොහේවත් නැහැ. අගමැතිලාට ලෙඩ වෙන්න බැහැ. ජනාධිපතිලාටත් එහෙමයි.
නලින් ද සිල්වා
2016 ජූනි 23