මහා ගෝරනාඩුය. තර්ජනය කිරීම්ය. දෙස් දෙවොල් තැබීම්ය. බල කිරීම්ය. පිකට්ය. බකට්ය. මේ සියළු වහසි බස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිවය. ඔහුගේ යළි දේශපාලන පුනරාගමනයට විරුද්ධවය. තර්ජනය කවරෙකුටද? ශ‍්‍රිලනිප සභාපතිවරයා වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට එකඟවීමට එරෙහිවය. මුල් යුගයේ එම විරෝධතා කරුවන්ගේ ප‍්‍රධාන අරමුණ වූයේ වෙනත් කරුණුය. එනම් නීතියේ ආධිපත්‍යය රැකගැනීම, ජාත්‍යන්තරවාදය තහවුරු කිරීම, මානව හිමිකම් ස්ථාපිත කිරීම, හොරු ඇල්ලීම වැනිදෑය. මෛත‍්‍රීපාල සිරිසේන යනු දශක 4ක් දේශපාලන පොර පිටියේ සිටින ග‍්‍රාමීය බුද්ධිමතෙකි. ජනහද ගැස්මේ රිද්මය දන්නා ජනාධිපති සිරිසේන ඇන්දවීම ලෙහෙසි පහසු වැඩක් නොවේ.
ඔවුන් ජනාධිපති සිරිසේනට, මහින්ද එක්ක බෑ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනතාව ප‍්‍රතික්ෂේප කල පුද්ගලයෙකු නිසාලූ. මෙවැනි දේශපාලන සම්ප‍්‍රාප්තියන්ට නිදසුන් ලොව ඕනෑ තරම් ඇත. ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි 1977 පරාජයට පත්වී නැවත 1981දී ජයගනු ලැබුවාය. පකිස්ථානයේ නවාස් ෂෙරීෆ් වර්තමානයේ යළි පත්වී තිබෙන්නේ පරාජය වී වසර ගණනාවකට පසුවය. රුසියානු ජනාධිපති පූටින් නැවතත් ජනාධිපති වූයේ අගමැති තනතුරට පහළ බැසීමෙනි. මහින්දට එරෙහිව බකට් අදින සහ පිකට් කරන අයගේ නොදැනුවත්කම වන්නේ නාමයෝජනා ලබාදීම යනු අගමැතිකම ලබාදීම යැයි උපකල්පනය කිරීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක අධිකරණයෙන් වැරදිකරුවන් නොවූ ඕනෑම අයෙකුට ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්විය හැකිය. බහුතර මන්ත‍්‍රී කණ්ඩායමේ සහාය ඇතිව අගමැති ධූරයට අවශ්‍යනම් යෝජනා කල හැකිය.
මහින්ද රාජපක්ෂ යනු මැතිසබයට පමණක් සීමාවූ පොත් පෙරළන ප‍්‍රාඥයෙක් නොවේ. ඔහු බිම්ගත දේශපාලනය උරුම කරගත් මව්බිමට නිදහස ගෙනආ ජන නායකයෙකි. මහින්දට නාමයෝජනා ලබාදෙන බවට සන්ධාන මහලේකම්වරයා කල ප‍්‍රකාශයත් සමඟම එජාපයත් එන්.ජී. ඕ සංවිධානත් දැවැන්ත කැළඹීමකට පත්විය. එජාපයේ මහලේකම් ඇමති කබීර් හසීම් කියා සිටියේ රාජපක්ෂ රෙජිමය කලක් තිස්සේ විළිලා වැදුවේ කුරුමිණි පැටවකු බව මැදමූලන විලාපයෙන් පැහැදිලි වන බවය. එහෙත් එජාප සභාපතිවරයා නොදන්නා කරුණ වන්නේ කුරුමිණියන් දමන්නේ පැටවුන් නොව බිත්තර බවය. පැටව් ඉපදෙන්නේ දින 4කට පමණ පසුවය. මේවා සියල්ලම වට්ටක්කා චින්තනය මත පදනම්ව කියනු ලබන කරුණු කාරණාය.
මහින්ද රාජපක්ෂ ආගමනයට එරෙහිවූවන් හැසිරුණේ කුණකටුවන් පරිද්දෙනි. ඉණිකුණන් මෙනි. දැන් ඒ සියල්ල හිරු දුටු පිනි මෙන් වියකී ගොසිනි. මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් තරඟ කිරීම සදහා ඊයේ නාමයෝජනාවලට අත්සන් කළේය. සන්ධානයේ හිටපු මන්ත‍්‍රීවරුන් ගෙන් නාම යොජනා නොලැබෙනු ඇත්තේ දෙදෙනෙකුට පමණි. මෛත‍්‍රී සහ මහින්ද සුසංයෝගයෙන් නව උපතකට විළිලන හෝරාව එළැඹ ඇත. ශ‍්‍රිලනිපය යනු ලාංකේය මොඩලය හඳුනාගත් ගමේ දේශපාලනයකි. එය කාලයේ තාලයට ගොඩනැගුණු සමාජ ප‍්‍රජාතන්තවාදී දේශපාලනයකි.
ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රිලනිප දැන් අන් කවරදාකටත් වඩා ශක්තිමත් වෙමින් පවතී. එය නව ජවයකි. මහින්ද රාජපක්ෂට එරෙහිව කල සියළු දෙඩවීම් වල්පල් බවට පත්වී තිබේ. ඕපාදූප සහ හිස් කථා බවට පත්ව ඉතිහාසයට එක්වී ඇත. සන්ධානයේ නව ප‍්‍රවේශය පිළිබඳව ප‍්‍රතිගාමී සියළු බලවේගයන්ට දැන් නන්නත්තාරවීම හැර වෙනත් විකල්පයක් නැත.
මහින්ද රාජපක්ෂට ඇත්තේ ජන්මයෙන්ම ශ‍්‍රීලනිප උරුමයකි. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක එජාපයෙන් වෙන්ව ශ‍්‍රීලනිප 1951 පිහිටුවා ගත්තද එජාප නායකත්වය සමඟ කාලයක් මුළුල්ලේ අරගල කළේය. මෙම අරගලය වඩාත් ඉස්මතුව පෙනෙන්නේ 1947 මහා මැතිවරණයේදීය. එම මැතිවරණයේදී බෙලිඅත්ත ආසනයෙන් පක්ෂයේ අපෙක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත් විය. එදා ඞී. එස්. සේනානායක පාර්ශවය වෙනුවෙන් ඞී.පී. අතපත්තුද බණ්ඩාරනායක පාර්ශවය වෙනුවෙන් ඞී.ඒ. රාජපක්ෂද ඉදිරිපත් විය. අධිරාජ්‍ය විරෝධී සමාජ ප‍්‍රජාත‍්‍රන්තවාදය නියෝජනය කල ඞී.ඒ. රාජපක්ෂ අතපත්තු පරදා වැඩි ඡුන්ද 8,022කින් ජය ගත්තේය. බණ්ඩාරනායක 1951 ඇමති පදවියෙන් ඉල්ලා අස්වි විපක්ෂයට එක්වූ විට ඔහු සමඟ විපක්ෂයට ගිය අනිකුත් මන්ත‍්‍රීවරුන් වූයේ බෙලිඅත්තේ ඞී.ඒ. රාජපක්ෂ, හොරණ ඒ.පී. ජයසූරිය, බලංගොඩ ජයවීර කුරුප්පු, උතුරු කොළඹ ජෝජ් ආර්. ද සිල්වා සහ උඩුගම ඞී.එස්. ගුණසේකරය.
ඉකුත් ජනවාරි 8වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිිඵලවලින් පසු කුමන කෙනෙහෙලිකම්වලට ලක්වූවද මහින්ද රාජපක්ෂ ශ‍්‍රීලනිප හැරගියේ නැත. දේශපාලනයෙන් විශ‍්‍රාම ගියේද නැත. ඔහු යළි ජනතාව අතරට ආවේය. ඒ මහින්ද නැතිව බෑ කියූ ලක්ෂ සංඛ්‍යාතික ජන බලවේගයක්ද සමඟිනි. පන්සලේ විප්ලවයෙන් පියවර දස දහසකින් මහින්ද ඔසවා තැබීමට ජාතික බලවේගයන්ට හැකිවිය. දැන් මහින්ද සන්ධානයෙන් එන්නේ කුරුණෑගලිනි. එහි මැතිවරණ ආසන 15 ඡුන්ද දායකයින් ගේ සංඛ්‍යාව 1,266,443කි.
කම්කරු ඇමති සහ ශ‍්‍රීලනිප භාණ්ඩාගාරික වශයෙන් සිට පැදුරටත් නොකියා ගිය එස්.බී. නාවින්න කියා ඇත්තේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාව පිටගම්කාරයින්ට ඡුන්දය නොදෙන බවය. ඉතිහාසයට අනුව සත්කෝරලේ ජනතාවට එවැනි පටු අදහස් නැත. පිලියන්දල සර් ජෝන් කොතලාවල දොඩම්ගස්ලන්ද ආසනයටද බලපිටියේ ශ‍්‍රී නිශ්ශංක කුරුණෑගල ආසනයටද මීරිගම ආර්. ජී. සේනානායක නාරම්මල ආසනයටද වත්තල අයිවන් දසනායක වාරියපොල ආසනයටද මන්ත‍්‍රීවරුන් වශයෙන් සත්කෝරලේ ජනතාව ඉහළින්ම පිළිගෙන පත්කර ගන්නා ලදී. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ සාධකය අතහැර කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරග කරන සන්ධාන අපේක්ෂකයෙකුට පවා ජයග‍්‍රහණය ලබාගැනීම උගහටය.
ශ‍්‍රී, ලංකාවේ වර්තමාන දේශපාලනය දැන් අතිශයින් සංකීර්ණය. වරෙක උණුසුම්ය. දැන් එම දේශපාලන ක‍්‍රීයාදාමයේ උත්කර්ෂ අවස්ථාවට එළැඹ ඇත්තේ මෛත‍්‍රී-මහින්ද දීගය සිදු කෙරෙන බැවිනි. දේශපාලන දෘෂ්ඨි කෝණයෙන් බැලූ විට ජනාධිපති මෛත‍්‍රීපාලට ශ‍්‍රීලනිප නායකයා වශයෙන් බහුතරයේ හඬ පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොවූ බව සත්‍යයකි. මහින්ද විරෝධීන් ගේ අතිශය දුක් දොම්නසට මෙම තීරණය හේතු වූවද මෛත‍්‍රීපාල සිරිසේන මෙහිදී ක‍්‍රියාකළේ පිරුණු කළේ දිය නොසැලේ යන න්‍යායට අනුවය. ඉදිරි පියවර වන්නේ ජනතාවාදී ආණ්ඩුවක් බිහිකර ගැනීමය. ඒ වෙනුවෙන් සියළු දෙනා කැපවිය යුතුය. වගකීමෙන් හැසිරිම මෙහිදී වඩාත් වැදගත් වේ.
ජනාධිපති මෛත‍්‍රීපාල හිරවී සිටියේ අවුලකය. ‘යහපාලන‘ ආණ්ඩුවේ දින 168 පාලන කාලය තුළ සිදුවූයේ අකල් වැස්සකි. මහ බැංකුවේ බැදුම්කර මගඩියේ පාඩුව මේ වන විට රුපියල් කෝටි 5,920ක් බවට චෝදනාවකි. මහ මැතිවරණයට තව ඇත්තේ සති 6කි. ජනාධිපතිවරණයේ මෛත‍්‍රීට ලැබුණු ඡන්ද ලක්ෂ 62කට අයිතිය කියන්නට එජාපයට බැරිය. එජාපයට ලැබෙනු ඇත්තේ ඉන් අඩකට වැඩි ප‍්‍රමාණයකි. සන්ධානයේ නව උපාය උපක‍්‍රමයන් නිසා බහුතරයෙන් සමන්විත සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම දැන් ඒකන්තය.
මහින්ද රාජපක්ෂ මෙතෙක් ඉදිරියට ගෙනආ හවුල අවුල්ද? නැත. මහින්ද සහ මෛත‍්‍රී සුසංයෝගයෙන් බිහිවන හවුල ඉදිරියේදි අවුල්ද? නැත. එහෙත් මේ දෙකේම යම් යම් ගැටලූ ප‍්‍රායෝගිකරණයේදී ඇතිවීම ස්භාවිකය. ඒවාට විසදුම්ද මෙම යාන්ත‍්‍රණය තුළින් ලැබෙනු ඇත. ඇමතිවරුන් වන සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත සහ ශ‍්‍රීලනිප ලේකම් අනුර ප‍්‍රියදර්ශන තැනේ හැටියට ඇනේ ගැසීමට දක්ෂයින් බව ඔප්පු කර ඇත. හොද ඔළුවක් සහ හොද හදවතක් සැමවිටම පැරදිය නොහැකි සවිමත් සබඳතාවයකි.
මහින්ද රාජපක්ෂ යළි කරළියට ගෙන ආ විමල්, දිනේෂ්, ගම්මන්පිල, වාසු කණ්ඩායමේ හතර දෙනාම සූරයින්ය. එහිදී ඔවුන් කල කැපවීමට යුතුකමේ මනාපය හිමිවනු ඇත. තිරය පිටුපස සිටි පළාත් සභා මන්ත‍්‍රීන්ගේ සංඛ්‍යාවද විශාලය. ඉන් නාම යෝජනා ලැබී ඇත්තේ කොළඹ ජගත් කුමාර ඇතුළු කිහිප දෙනෙකුට පමණි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ දිවුලපිටියේ සමන්මලී සකලසූරිය, සීදූව ආනන්ද හරිස්චන්ද්‍ර, මහර සහන් ප‍්‍රදීප් ඇතුළු මහින්ද කණ්ඩායමට කැපවීමෙන් කටයුතු කල පිරිසකට නාම යෝජනා නැත. එහෙත් ඔවුන් සිතිය යුත්තේ එය ශ‍්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවීම සදහා කල පරිත්‍යාගයක් බවය.
සන්ධානයේ නාම යෝජනා ඉල්ලූ ඇතැම් අයට අවශ්‍ය වූයේ පක්ෂය දිනවන්නට නොව පරදන්නටදැයි සැකයකි. නවත්තේගම නවෝද්‍යා පාසැල් ගුරුවරියක පාසැල් භූමියේ දණ ගැස්වීම නිසා 2013 ජුනි 14වැනිදා අධිකරණයෙන් දඩුවම් ලැබූ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙක්ද ළමා අපචාර සම්බන්ධයෙන් බරපතල චෝදනා ලැබූ අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද නාමයෝජනා ඉල්ලා සිටීම එයට නිදසුන්ය. ශ‍්‍රිලනිප එය ප‍්‍රතික්ෂේප කළේය. එහෙත් චෝදනාවලට වැරදිකරුවන් නොවූ ජනපදනමක් සහිත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නැවත පත්කර ගැනීම පිළිබදව විනිශ්චය ලබාදීමේ අයිතිය තිබිය යුත්තේ මහ මැතිවරණය හරහා ජනතාවටය.
බස්නාහිර මහඇමති සහ මිනුවන්ගොඩ ශ‍්‍රීලනිප සංවිධායක ප‍්‍රසන්න රණතුංගද පළාත් ඇමති සහ වත්තල ශ‍්‍රිලනිප සංවිධායක නිමල් ලන්සාද මෙවර මහ මැතිවරණයට තරග කරන හෙයින් උණුසුම් තරගයක් මෙවර ගම්පහින් දැකගත හැකිය. අර්ජුන රණතුංග එයට එක්වී ඇති බැවින් ගම්පහ දේශපාලන පොර පිටිය උණුසුම්ය. විශේෂයින් ඉකුත් ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩ ආසන වන මීගමුව, කටාන, ජාඇල, වත්තල, පළාත් ඇමති නිමල් ලන්සාගේ ඉදිරිපත්වීම තුළ සන්ධානයට ඉහළින්ම දිනාගැනීමටද හැකිවනු ඇත.
ශ‍්‍රිලනිප 1977 මැතිවරණයේදී ආසන 7කට බැස්සේය. ඉන් 3ක්ම මැදකොළඹ, බේරුවල සහ හාරිස්පත්තුවය. ඉකුත් ජනාධිපතිවරණයේදී දිස්ත‍්‍රික් අනුපාතය අනුව ආසන සංඛ්‍යාව මට්ටමින් ගත්කල සන්ධානය ලැබුවේ පරාජයක් නොවේ. මෙවර මැතිවරණයේදී ගාල්ල, මාතලේ, සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්ක වලට වැඩි බරක් දැමිය යුතුය.
ඉදිරි මැතිවරණයේදී සන්ධානයේ නායකයින්ද මැතිවරණයට මුහුණ දිය යුත්තේ මං පොර න්‍යායෙන් නොවේ. මැතිවරණ මෙහෙයුම් කමිටුවල තාමත් මුල්පුටුවල අරක්ගෙන සිටින බොහෝ දෙනා 2005 සිට 2015 ජනවාරි දක්වා දැක පුරුදු එකම මුහුණුය. මෙය මෙවර හෝ වෙනස් විය යුතුය. අත්දැකීම් ඇති වැඩකාරයින් පැමිණි විට ඔවුනට හිමිවන්නේ තෙවන පෙළය. ජනමාධ්‍ය අමාතාංශයේ ලේකම් තනතුරට පත් කරුණාරත්න පරණවිතාන ජනාධිපතිවරණයේදී මුලින් වැඩකළේ මහින්දටය. ජාතික දේශපාලනය ඔහු ඇරඹුවේ දශක දෙකකට පෙරවූවද මහින්දගේ පිලේ හිමිවූයේ තෙවන පෙළය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ප‍්‍රවේශවීමත් සමග පරණවිතාන මහත්තයෙකු ලෙසින් සියළු දෙනාට දැනුම්දී සමුගත් අතර අවසානයේදී ඔහුගෙන් සුවිශේෂි වැඩකොටසක් ගැනීමට මෛත‍්‍රී සමත් විය. ජනාධිපති මෛත‍්‍රීගෙන් එවැනි පාඩම් දැන්වත් ඉගෙන ගත යුතුය.
අල බහිනකම් සිටිය හැකි වූවද අල තම්බනකම් සිටින්නට බැරිය. මහ මැතිවරණය ප‍්‍රකාශයට පත්කරන තෙක් කල් බලා සිටියද දැන් අවසන් මොහොත දක්වා නොවිසිල්ලෙන් සිටි අයට හොද තරගයක් බලාගත හැකිය. ඉර හද පවතින තාක්කල් කිසිවෙකුට ආණ්ඩු බලය තබාගත නොහැක. ඉතිහාසය පවසන සත්‍යය එයයි.
ධර්මන් වික්‍රමරත්න
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com @ Phone : 0712733986)