විශේෂාංග

හැකි ඉක්මණින් මේ ආණ්ඩුව පළවා නොහැරියොත් රටට මහා විනාශයක් අත් වෙනවා

හැකි ඉක්මණින් මේ ආණ්ඩුව පළවා නොහැරියොත් රටට මහා විනාශයක් අත් වෙනවා. අප තව තවත් යටත්විජිතවාදයට ලක්වෙනවා. පසුගිය මැතිවරණ සමයේ දී අප මේ රනිල් මෛත්‍රී හවුල බටහිරයන් හා ඉන්දියානුවන් විසින් මෙහෙයවනු ලබන බව කීවත් ඇතැමුනට ඒ බවක් ඇහුණේ නැහැ. ඇහුණත් සමහරු ගාණකට ගත්තේ නැහැ. බොහෝ දෙනාට වුවමනා වුනේ මහින්ද හොරා පන්නා දැමීම පමණයි. ඔහු කළ හොරකම් මා දන්නේ නැහැ. ඒත් අප බොහෝ දෙනා මහජන මුදල් වංචා කරනවා. රජයේ කාර්යාලයක නොමිළේ දුරකතන ඇණවුමක් ලබාගැනීම, කඩදාසි පැකට්ටුවක් ගෙදර ගෙන යෑම, නියමිත පැය ගණන වැඩ නොකිරීම, අනවශ්‍ය ආකාරයෙන් නිවාඩු ගැනීම ආදියත් මහජන මුදල් වංචා කිරීමක්. ඒ් මිලියන ගණනින් නොවන බව සැබැයි. ඒත් ඒ වංචාවල්.

පසුගිය මැතිවරණයේ ප්‍රශ්නය වුනේ හොරකම නෙවෙයි. ඒ ජාතිකත්වය හා නිදහසයි. බටහිරට හා ඉන්දියාවට (ඉන්දියාවත් පාලනය වන්නේ බටහිරට අවශ්‍ය අන්දමට, චීනයට විරුද්ධව. මා චීන ගැත්තකු නොවෙයි. ඔවුන්ගේ දේශපාලනය ද මට දැනෙනවා. ඔවුන් දැන් ඉන්දියාවට විරුද්ධව බුදුහාමුදුරුවන් අයිති කරගන්නත් ආසියාව නතු කර ගැනීමටත් උත්සාහ ගන්නවා. තායිලන්තය, කාම්බෝජය වගේ රටවල ඇත්තේ චීන සංස්කෘතිය මත ආරෝපණය වූ සිංහල බෞද්ධ සංස්කෘතියක්. මේ කරුණු ගැන සෙවීමට අප තව තවත් උනන්දු විය යුතුයි) අවශ්‍ය අන්දමට රට පාලනය කෙරෙන්නේ ද, ඒ නිසා ම දෙමළ ජාතිවාදයට තව තවත් කප්පන් දී සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරන්නේ ද සිංහලයාට සිංහල සංස්කෘතියට මෙරට හිමි තැන නැති කරන්නේ ද ආදිය තීරණය කෙරෙන්නේ ඒ මැතිවරණයෙන් බව අප කීවා. එහෙත් මේ බව බොහෝ දෙනාට කීමට අපට විද්‍යුත් ජනමාධ්‍යවලින් අවස්ථාව ලැබුණේ නැහැ. දෙරණ පමණක් ඉතා සුළු කාලයක් ඒ සඳහා අපට ඉඩ දුන්නා. ඒකත් සවිස්තර ව කියන්න ඉඩ දුන්නේ් නැහැ. හොරා කතාව මේ ජාතිකත්වය හා නිදහස පිළිබඳ කතාව යටපත් කිරීමට යොදාගත්තක් පමණයි. එහෙත් අවාසනාවකට සංධානයේ බොහෝ අය ද ඒ ගැන කතා කෙළේ නැහැ. ඔවුන් එදත් අදත් එක්කෝ ඊනියා ජාතිවාදී ලේබලයට බයයි. නැත්නම් ඔවුන් ද දෙමළ ජාතිවාදයට යටවෙලා. සංධානයේ, ඒකාබද්ධ විපක්‍ෂයේ කී දෙනකු තවමත් සිංහල ජාතිකත්වය වෙනුවෙන් කතාකරනවා ද? කට ඈරියොත් සමහරුන් කතා කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා ගැන. දෙමළ මුස්ලිම් ජනයාට ඇති ප්‍රශ්නය මොකක් ද කියා මේ අය කියන්නේ නැහැ.

පසුගිය දා අප රාමළාන් උත්සවය පැවැත්තුවා. අපට ඒ සඳහා නිවාඩුත් ලැබුණා. මුස්ලිම් නොවන රටවල් කීයක රාමළාන් උත්සවය සඳහා නිවාඩු ලැබෙනවා ද? හින්දු ඉන්දියාවේත් එදා ජාතික නිවාඩු දිනයක්. මුස්ලිම් ජනයා විශාල සංඛ්‍යාවක් එහි ජීවත්වනවා. පාස්කු සිකුරාදා හා නත්තලත් ඉන්දියාවේ ජාතික නිවාඩු දවස්. ඒත් බුද්ධ පූර්ණිමා යනුවෙන් හඳුන්වන වෙසක් උත්සවය ජාතික නිවාඩු දිනයක් නොවෙයි. එදාට ප්‍රාන්ත කිහිපයක පමණක් නිවාඩු. සිදුහත් කුමරු බුදුවුණේ බුද්ධගයාවෙ කියලා නෙ කියන්නෙ. ඒත් බුදුවීම ඉන්දියාවට ඒ තරම් වැදගත් නැතුව ඇති. නැතිනම් බුදු වුනෙ බුද්ධගයාවෙ දි නොවෙන්න ඇති. එහෙමත් නැතිනම් වෙනත් හේතුවක් වෙන්න ඇති. තමන්ගෙ රටේ සිදුවුනා කියලා ඉතිහාසෙ ලියා තියෙන සිද්ධිය ඉන්දියාවට වැදගත් නැහැ. එහෙත් ක්‍රිස්තු උත්පත්තිය වැදගත්. මේ දේශපාලන ආධිපත්‍යය නිසා සිදුවන දේ. සිදුහත් කුමරු කොහේ බුදු වුනත් බුදුහාමුදුරුවො අපේ.

හොරකම ගැන කතා කරලා එයට විරුද්ධ ය කියලා, අධිකරණයේ ස්වාධීනත්වය රකිනවා කියලා බලයට පැමිණි රනිල් දැන් මොකද කරන්නෙ. රනිල්ගෙ නැන්දගෙ පුතා රජිව් විජේසිංහ කියන විධියට රනිල් මහා බැංකු කොල්ලයේ සල්ලි එ ජා පක්‍ෂයට අරගෙන ඒකෙන් ඡන්ද කරලා. ඒකාබද්ධ විපක්‍ෂයට මේකෙ බරපතලකම තේෙැරන්නෙ නැද්ද දන්නෙ නැහැ. බැරි වෙලාවත් මහින්ද එහෙම දෙයක් කරලා බලයට පත්වුනා නම් එ ජා පක්‍ෂය අද වන විට කොහොම ක්‍රියා කරාවිද? එ ජා පක්‍ෂයට උපදෙස් දෙන සුද්දන් ඉන්නවා. මේ ළඟදිත් එක් අයකු ඇවිත් උපදෙස් දීලා. එයා ආවෙ කාගෙ සල්ලිවලින්ද කියලා කියනවා ද? එ ජා පක්‍ෂයෙ මුදල්වලින් ද රජයේ මුදල්වලින් ද? කොහොම ආවත් ඇවිත් තියෙන්නෙ අපේ සල්ලිවලින්. බටහිරයනුත් ඔවුන්ගෙ කලාපීය නියෝජිතයා වූ ඉන්දියාවත් එකතු වී අප විනාශ කරනවා. ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුව හැදුවෙ ඒ සඳහා මිස වෙනත් දෙයකට නො වෙයි. අර සුද්ද ඇවිල්ල කියලා ගියෙ ඊනියා ජතික ආණ්ඩුව හෙවත් විජාතික ආණ්ඩුව කෙසේවත් නොකඩන ලෙසයි.

රනිල් දැන් සුදානම් වෙනවා අධිකරණ තීන්දුවක් යටකරන්න. ඒක ගැන කතාකරන්න ඉස්සෙල්ල මෛත්‍රිපාල ගැන යමක් කියන්න ඕන. නැත්නම් එයා හිතයි එයාව නොසලකා හරිනවා කියලා. මෛත්‍රිපාල සිංහලකම ගැන බෞද්ධකම ගැන කතාකරනවා. ඒක හොඳයි. රටේ ස්වෛරීභාවය ගැන කියනවා. ඒකත් හොඳයි. විදේශීය විනිසුරුවන් ගෙන්වන්නෙ නැහැයි කියලත් කියනවා. ඒක කොහොමටත් හොඳයි. අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමට විරුද්ධ වුනා. ඒත් අර මහ බැංකුවෙ නිලධාරියා මහා බැංකු අධිපති ලෙස පත්කර ගන්න බැරි වුනා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට ඉඩ දුන්න. ඉන්ද්‍රජිත් ගැන මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මා ඔහු අඳුරන්නේවත් දැකලවත් නැහැ. ඔහු දක්‍ෂ ආර්ථික විද්‍යාඥයකු කියලා කියනවා. ඒත් මා නම් දන්නේ නැහැ ඔහු ආර්ථික විද්‍යාවට එකතු කරපු සංකල්පයක් හරි ප්‍රවාදයක් හරි ගැන. එහෙම අය ලංකාවෙ නැති නිසා ඒකත් ප්‍රශ්නයක් නොවෙයි. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔහු රාජ් රාජරත්නම්ට ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව ගැන උපදෙස් දීම ම නොවෙයි. ඒක සසෙක්ස් විශ්වවිද්‍යාලයෙදි ඇති වෙච්ච මිත්‍ර කමකට කරපු දෙයක් කියලා නෙ කියන්නෙ. ඒ නිසා ම ඔහු දෙමළ ජාතිවාදියකු වන්නෙත් නැහැ. ඔහු විවාහ වෙලා තියෙන්නෙ තාරා ෆොන්සේකා නම් සිංහල කාන්තාවක් සමග. ඒ නිසා ඔහු සිංහල ජාතිකවාදියකු වන්නේත් නැහැ.

ඔහු බොහොම නිහතමානි අයකු කියලා කියනවා. ඔහු තමා ගැන කියන විට අර්ජුන් කුමාරස්වාමිගෙ පියා හැටියට හඳුන්වනවට කැමතිලු. අර්ජුන් කුමාරස්වාමි දක්‍ෂ බටහිර සංගීතඥයකු කියලා කියනවා. මට මෙහි දී මතක් වෙනවා බොහොම කාලෙකට ඉස්සර පීටර් කේනමන් නීති විද්‍යාලයෙ ශිෂ්‍යයකු ලෙස ඉන්න කාලෙ සිද්ධියක් ගැන අහලා තියෙන කතාවක්. පිටර් කේනමන්ගෙ තාත්තා ඒ කාලෙ විනිසුරුවරයෙක්. විනිසුරුවරයා දවසක් නීති විද්‍යාලෙ ශිෂ්‍යන්ගෙ සංගමයෙ කතාවකට ගිහිල්ලා. ශිෂ්‍ය සභාපති කථිකයාව හඳුන්වල දීලා තියෙන්නෙ මේ පීටර්ගෙ තාත්තා කියලා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙ නිහතමානිබව මා අගය කරනවා. මට ප්‍රශ්නය ඔහු එට්කා ගිවිසුම ගැන දරණ අදහස්.

ලංකාවෙ හුඟක් ඉහළ පත්වීම් ලැබෙන්නෙ ඊනියා දක්‍ෂතාවලට වඩා මිත්‍ර කම, එකම සංස්කෘතික පසුබිමක් තිබීම වගේ කාරණා උඩ. විශ්වවිද්‍යාලවලත් ඒක නොවෙන ම නොවෙයි. ඉන්ද්‍රජිත් එංගලන්තෙ හැරෝ පාසලට යන්න ඉස්සෙල්ල ඉගෙන ගත්තෙ රාජකීය විදුහලේ. රාජු කුමාරස්වාමිගෙ පුතා. රනිල් වගේ ම මලික් සමරවික්‍රමත් ඔහුට වඩා එක් පංතියක් ඉහළින් හිටියෙ. ඔහු පසු කලෙක මලික් සමග සී ආර් ඇන්ඩ් එෆ් සී සමාජය වෙනුවෙන් රගර් ක්‍රීඩා කළා. මහා බැංකුවෙ අධිපති ධුරයට පත්වන විට ඉන්ද්‍රජිත් මලික්ගෙ අමාත්‍යාංශයෙ උපදේශකවරයෙක්. එක්ටා ගිවිසුම ගැන කටයුතු කරන්නෙ මලික්. මලික් බොහොම වෙහෙසිලා තියෙනවා මහා බැංකුවෙ අධිපතිකම ගන්න කැමති කරවන්න. මෛත්‍රිපාල එක්ටා ගිවිසුම ගැන මොනවත් කියලා නැහැ. ඒත් ඔහු ඉන්ද්‍රජිත් පත්වීමට එකඟයි.

රනිල්ට ඉක්මණින් ම එක්ටා ගිවිසුම ඕනෙ. ඉන්දියාවටත් ඒ ඕනකම තියෙනවා. මේ තදියම මොක ද? රනිල් එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වෙන්න තීරණයක් ගත්තම ඒකෙන් ලංකාවට පාඩු වෙනවා කියලා අද හෙට ම එක්ටා අත්සන් කරන්න ඕන කිවුවා. ඒත් එංගලන්තෙ යුරෝපා සංගමයෙන් ඉවත්වෙන්න තව අවුරුදු දෙකක්වත් යාවි. එක්ටා ගිවිසුම තවම අත්සන් කරලා නැති එක ඇත්ත. ඒත් ඒකෙන් වෙන්නෙ මොකක් ද කියන එක ගැන හිතාගන්න පුළුවන්. එක්ටා ගිවිසුම අත්සන් කරන්න ඉස්සෙල්ල ජනමත විචාරණයක් පවත්වන්නෙ නැහැ. ඒක අත්සන් කරන එක නවත්වන්නෙ කොහොම ද? ඉන්දියාවෙ දක්‍ෂතම අය ලංකාවෙ රස්සාව කරන්න එන්නෙ නැහැ. ඔවුන් බටහිර රටවලට යනවා. අපට සිද්ධවෙන්නෙ ඉන්දියාවෙ රස්සා නැති අදක්‍ෂයන්ට රස්සා දෙන එක.

ඉන්ද්‍රජිත් කියලා තීබුණා ලංකාවෙ නිෂ්පාදන වියදම වැඩියි කියලා. මෙරට ශ්‍රම වියදම වැඩිය කියන එක හැමදාම කියපු කාරණයක්. ඒ දවස්වල ලලිත් ඇතුලත්මුදලි කිවුව ලංකාවෙ වී ගොවිතැනට යන මුදල වැඩිය, පිට රටින් හාල් ගෙන්වන එක ලාබයි කියලා. අපි ශ්‍රම වියදම අඩු කරගන්න ඉන්දියාවෙන් ශ්‍රමය ගෙන්වමු ද? මෛත්‍රිපාල එක්ටා ගැන මොකක්වත් කියනව නම් හොඳයි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඔහුට කොයි තරම් ඔහුගේ මත ක්‍රියාත්මක කරගන්න පුළුවන් ද කියන එක. අප එක්ටා අත්සන් කරන්න යන්නෙ ඉන්දියාවෙ දේශපාලන ආධිපත්‍යයට යටවෙලා. ඒක හුදු වෙළෙඳ ගිවිසුමක් නොවෙයි. ඒක ඉන්දු ලංකා ගිවිසුම වගේ ම අප මත පටවන්න යන එකක්.

මෛත්‍රිපාල හිතනවා නම් අර්ජුන් මහේන්ද්‍රන් පත්කළෙ නැත්තෙ එයාගෙ කීමට කියලා ඒක බොහොම ළාමක හිතිවිල්ලක්. මෛත්‍රිපාලට තිබුණෙ ජනතාවගෙ ශක්තිය මිසක් රාජිතලගෙ දුමින්දලාගේ ශක්තිය නො වෙයි. එක්ටා ගිවිසුමටත් මෛත්‍රිපාල විරුද්ධ වුනොත් ජනතා ශක්තිය ඔහුට ලැබේවි. එහෙමත් නැත්නම් ජනතා ශක්තියෙන් මෛත්‍රිපාල වෙනස් කරන්න ඕන. ඒත් තීරණාත්මක අවස්ථාවක එහෙම කරන්න බැරිවේවි.

මෛත්‍රිපාල වැඩ කරන හැටි පෙන්වන හොඳ උදාහරණයක් පසුගිය දා මඩකලපුවේ දී සිද්ධ වුනා. මඩකපුවෙ මංගලාරාමයෙ උත්සවයකට පිළිගත් ආරාධනාවක් තිබියදීත් මෛත්‍රිපාල ගියේ නැහැ. වැස්ස නිසා ගියේ නැහැ කියලා නිළධාරීන් කියනවා. නිලධාරීන්ට කුඩ ටිකක් ගන්න සල්ලි නැද්ද? මේ විහාරයෙ නායක හාමුදුරුවො අම්පිටියෙ සුමනරතන හාමුදුරුවො. උන්වහන්සේ තමයි ගුවන් හමුදා නිලධාරියකුට නැගෙනහිර මහා ඇමති තර්ජනය කළ අවස්ථාවෙ මහා ඇමතිගෙ ගෙදරට ම ගිහින් කිවයුතු දේ කියලා ආවෙ. මෛත්‍රිපාල විහාරයෙ උත්සවයට සහභාගි නූනෙ මහා ඇමතිගෙ කීමට ද? සුමනරතන හාමුදුරුවන් මේ ගැන කරන විස්තරය මේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටයෙන් අහගන්න පුළුවන්.

නලින් ද සිල්වා ලියු රට විනාශවීම 1,2,3 සටහන් 

Top