Breaking
9 Apr 2025, Wed

හිටගෙන පච හලන වැලිඅමුණ

මෛතී‍්‍ර – රනිල් ආණ්ඩුව ඇමරිකාව සමග එක්ව ශී‍්‍ර ලංකාවට එරෙහිව එක්සත් ජාතී්න්ගේ මානව හිමිකම් මණ්ඩලයේදි සම්මත කොටගත් යෝජනාව රටට සතුරු එකක් නොව මිතුරු එකක් බව ඒත්තුගැන්වීමට ජනාධිපති අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුවේ නායකයෝ එක පිට එක බොරු කියමින් සිටිති. බටහිර අරමුදල් මත යැපෙන සිවිල් සමාජය නමින් පෙනී සිටින NGO කි‍්‍රයාකාරීන්ද ආණ්ඩුවට උදව් පිණිස අලුතින් බොරු හදා කියන්නට පටන්ගෙන ඇත. ජිනීවා යෝජනාව ගැන ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයීමෙන් ඔක්තෝබර් 12 දා එම දෙපාර්තමේන්තුවේ පැවති සම්මන්ත‍්‍රණයේදී නීතීඥ J.C. වැලිඅමුණ කළ කතාව ඔක්තෝබර් 14 වන දින ලංකාදීප පත‍්‍රයේ 22 වන පිටුවේ කැපී පෙනෙන ලෙස පළ කොට තිබිණ. ජිනීවා යෝජනාවෙන් නිර්දේශිත දෙමුහුන් අධිකරණය ගැන වැලිඅමුණ කළ එක් ප‍්‍රකාශයක් මෙසේය.

‘‘මේ කියන දෙමුහුන් අධිකරණ ලෝකයේ ඕනෑතරම් තිබෙන අතර එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පත් කළ කොමිසමද දෙමුහුන් අධිකරණයක් බව කිව යුතුයි.”

වැලිඅමුණ කළ මේ ප‍්‍රකාශයේ ඇතුළත් එකම සත්‍යය බණ්ඩාරනායක මැතිනිය බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක් පත් කළ බව පමණි. ප‍්‍රකාශයේ ඇතුළත් සහ ඉන් ඇඟවෙන අන් සියලු කරුණු පට්ටපල් බොරුය. ඔහුගේ අරමුණ වූයේ ජිනීවා යෝජනාවෙන් නිර්දේශිත දෙමුහුන් අධිකරණය අලුත් දෙයක් නොවන බවත් අතීතයේ එවැනි අධිකරණ ශී‍්‍ර ලංකාවේ තිබූ බවත් මාධ්‍යවේදීනට ඒත්තු ගැන්වීම බවත් පැහැදිලිය.

බණ්ඩාරනායක මැතිනිය 1963දී එවැනි කොමිසමක් පත් කළාය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ටී එස් ප‍්‍රනාන්දු, අබ්දුල් යූනිස් (ඊජිප්තුව), යූ සී මිල්ස් – ඔඩිච් (ඝානා) එහි සාමාජිකයෝ වූහ. කොමිසමේ වාර්තාව ආණ්ඩුවේ පති‍්‍රකා අංක 03, 1964 ලෙස ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

බණ්ඩාරනායක මැතිණිය පත් කළේ කොමිසමක් මිස වැලිඅමුණ කියන පරිදි අධිකරණයක් නොවේ. නීතීඥයෙකු වන වැලිඅමුණ කොමිසම සහ අධිකරණය අතර වෙනස නොදැන සිටීමට හේතුවක් නැත. කොමිසම තතු සොයා නිර්දේශ කරයි; අධිකරණය විභාග කොට දඬුවම් නියම කරයි. ජිනීවා යෝජනාව විභාග කොට දඬුවම් නියම කරන අධිකරණයක් පිහිටුවීම සඳහාය. එසේම මැතිණිය කොමිසම පත් කළේ බාහිර රටක හෝ ආයතනයක හෝ බල කිරීම නිසා නොවේ. එය තම ආණ්ඩුවේ අභිමතය අනුව ගත් ස්වාධීන තීරණයකි. ජිනීවා යෝජනාවෙන් කියවෙන දෙමුහුන් අධිකරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් නියෝජනය වන ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල බලහත්කාරය නිසා ස්ථාපනය කෙරෙන්නකි.

1959 නොවැම්බර් 26 වැනිදා ආරම්භවූ බණ්ඩාරනායක ඝාතන නඩු විභාගය 1961 මැයි 12 දා එනම් කොමිසම පත් කිරීමට අවුරුදු දෙකකට පමණ පෙර අවසන් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව විභාග කරනු ලැබූයේ රාජමන්තී‍්‍ර ටී එස් ප‍්‍රනාන්දු නමැති දේශීය විනිසුරුවරයා විසිනි. විත්තියේ අභියාචනයෙන් පසුවද මරණ දඬුවමට නියමවූ තල්දූවේ සෝමාරාම 1962 ජූලි 06 වැනිදා එල්ලා මරණු ලැබීය. බණ්ඩාරනායක ඝාතන නඩුව විභාග කළේ දෙමුහුන් කොමිසමක් නොව මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණයයි.

වැලිඅමුණගේ කතාවට සවන්දුන් මාධාවේදීන්ට කෙතරම් නිවැරදි දැනුමක් ලැබෙන්නට ඇත්දැයි සිතාගත හැකිය. වැලිඅමුණ හිතාමතාම සමාජය මෙසේ නොමග යවන්නේ මන්දැයි තේරුම් ගැනීමට නම්, අනෙකුත් දේවල් අතර, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සති හයකින් නිම කළ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ අයථා කි‍්‍රයා පිළිබඳ විමර්ශනය සඳහා ඔහුට රුපියල් 35 ලක්ෂයක් ලැබුණු බව සලකන්න.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.