Breaking
23 Feb 2025, Sun

හෙයියම්මාරුව,සර්පයාට පොල්ලෙන්,අලියාට හෙණ්ඩුවෙන්,පෙරේතාට ගොටුවෙනි ‘යහපාලන’ට  කතිරයෙන් පහරදෙමු  

තරුණ කතුන්හට පෙම් බදින කළු කුමාරයා සිහිනෙන් ඔවුන් හා යහන් ගත වේ. ශරීරයේ දොස් කුපිතකර කාන්තාවන් හට නොයෙකුත් ශාරිරික ආබාධ ඇති කරයි. ශරීරය දුර්වල වූ කතුන් එම පීඩාවෙන් මුදවා ගැනීමට කළු කුමාරයට නොයෙකුත් පුද පූජා ශාන්තිකර්ම පැවැත්විය යුතුය.

කළු කුමාරයා හට වධ දියණියන් 7 දෙනෙකි. නාමල් කුමාරි, සෝමල් කුමාරි, ඉද්දමල් කුමාරි, සපුමල් කුමාරි, පිච්ච මල් කුමාරි, වධ මල් කුමාරි, පීඩල මල් කුමාරි එම 7 දෙනාගේ නම්ය. කළු කුමාරගේ බිසව රිද්දි බිසවය. කළු කුමාර දෝෂ වෙනුවෙන් පවත්වන ශාන්තිකර්මය රට යකුම හෙවත් රිද්දි යාගය වේ.

බලවත් යක්ෂයෙකු ලෙස සැලකෙන්නේ රීරි යකාය. සූනියම් යක්ෂයාද බලවන්තයෙකි. දොල පිදේනි දෙන්නේ යක්කුන්ගේ මනාපයටය. වර්තමානයේ ලෝකය වේගවත්ය. මිනිස් යක්ෂයෝද සිටින නිසා එදා යකුන් අද නිහඬය. එහෙත් මහ මැතිවරණ සමයේදී එම මිනිස් වෙස්ගත් යක්ෂයින් ඇවිස්සෙන යකුන් බවට පත්වී ඇත. “යහපාලන” ආණ්ඩුවේ කඩතුරාවට මුවා වී සිටි තැනැත්තන් දැන් ශිල්ප දක්වන්නේ 17 වසරක එජාප පාලනයේ ජනතාවට අමිහිරි මතකයන් යළි සිහිපත් කරමිනි.

රටපුරා ආණ්ඩුවට සෘජුව සහ වක්‍ර පිරිස් මැතිවරණ නීති කඩ කරනු ලබන්නේ හෝල් සේල් අන්දමිනි. ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලමේ නායක සමන්ත කෝරළේආරච්චිද පුත්තලම රෝහ‍ලට අනවසරයෙන් ගොස් ඡන්ද පත්‍රිකා බෙදීමේදී පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය. එජාප සහ ජවිපෙ පක්ෂ සමුළු මුවාවෙන් පැවැත්වූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමේ උත්සව රාජ්‍ය රූපවාහිනී නාලිකාවලින් සුළු මුදලක් ගෙවා ප්‍රචාරය කලද මුළු මුදලම හෝ ගෙවා ඒවා ප්‍රචාරය කිරීමට මහින්ද රාජපක්ෂගේ මෙහෙයුම් නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තහංචි දමන ලදී. අයි.ටී.එන් සභාපති මහාචාර්යතුමාද එම තහංචිය සම්බන්ධයෙන් අර්ථ දක්වන්නේ ගෙජ්ජියක් හෝ මිණිගෙඩියක් සයිස් එකෙන් නොව ටකරන් වහලයකට හෙණ ගැසූ පරිද්දෙනි. ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ජාතික රූපවාහිනියේ ඇඟිලි 6ක් හිමි සභාපති මහාචාර්යතුමාද කෙළියේ පිස්සුය. ජාතික රූපවාහිනියේ සභාපතිකමින් සෝමරත්න දිසානායක අස්වූයේද පුරවැසි බලය හරහා තව ලොකු පිම්මක් පනින්නටය.

මහා මැතිවරණය උණුසුම්ය. නීතිගරුක සමාජයක් – විනයගරුක රටක් හදන බව කියන්නේ ගම්පහ යහපාලන ඇමතිය. දින 180 තුළදී ඔහුගේ ගෝලයෝ නැගෙනහිර නිදන් හාරද්දී අතේ මාට්ටුය. තවත් ඔහුගේම ගෝලයෝ රෑනක් ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 18ක් දැන් ගොඩකර අවසන්ය. හෙට අනිද්දා එය විකිනීමට පිඹුරු පත් සෑදෙනු ඇත. කළුතර දිස්ත්‍රික්කයෙන් මහත්මා දේශපාලනයට යළිත් පිවිසෙන බව කියන්නේ ජිනීවා සාකච්ඡාවලට පවා සහභාගිවූ පැනීමට උපන් හපනෙකි. සිය ඡන්ද දායකයින්ට තමා මවක්, සොහොයුරියක්, මිතුරියක් බව කියන්නේ කොළඹ පළමු පුරවැසියාගේ හයියෙනි. කොළඹ හාදයා ඇරලා යන්නේ ‍හත් පොලේම ගා ගෙනය. එඩිතරයි, විශ්වාසයි, අවංකයි කියන්නේ පැනඩොල් වෙළෙන්දියෙකි. මේවා බහුබූතයෝ 3 නමින් චිත්‍රපටියක් හදනවානම් හොද තේමා පාඨයන්ය.

ගින්දරී 2 චිත්‍රපටිය හදනවානම් මේ නාමයන් ගැනද සළකා බැලිය හැකිය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නොසැලෙන ශක්තිය බව ඇය කියන්නේ දෙපැත්තේම කකුල් දෙක තබාගෙනය. මහත් හොරුන්ට එරෙහි වූ මහත්තයා දිස්ත්‍රික්ක තුනකින් බල්ටි ගැසූ අත්තෙන් අත්තට පනින චෝර කුරුල්ලෙකි. අපට පුතේ මගක් ඇතේ යැයි කියන්නේ තරුණ තරුණියන් දස දහසක් වල පල්ලට යැවූ සක්‍රයාගේ පුතා වයිමාය. නැණස පාදන මිනිසා පෞද්ගලික අධ්‍යාපන ‍ලොකු කඩයක මුදලාලි කෙනෙකි.

මේ සියල්ල අතරතුර එජාපය, ජවිපෙ සහ වෙනත් කල්ලි කණ්ඩායම්ද දෙමළ බෙදුම්වාදීන්ද, මුස්ලීම් අන්තවාදීන්ද, එන්.ජී.ඕ. ඩොලර් කාක්කන්ගේද ප්‍රධාන සතුරා බවට පත්වී ඇත්තේ සන්ධානයේ මෙහෙයුම් නායක මහින්ද රාජපක්ෂය. ඔහුට එරෙහි මෙම කල්ලි සහ කණ්ඩායම් ගැනයිට්, කොන්ක්‍රීට්, ෆයිබර් ග්ලාස්, ස්ටීල් වලින් දමා ගැසුවද වැඩක් නැත. ඒ මහින්ද රාජපක්ෂ සැබෑ නා‍යකයෙක් බැවිනි. ඔහු නායකත්වය සොයා ගිය අයෙක් නොවේ. නායකත්වය හිමිවූවෙකි. නායකත්වය ඔහු සොයා පැමිණියහ. ශ්‍රිලනිපයේ නිල නායකයා පවසන පරිදි ඉන් සියයට 99ක්ද ලාංකීය ප්‍රගතිශීලි ව්‍යාපාරයේ අති බහුතරයද මහින්ද පිළිගෙන ඇත්තේ එබැවිනි. මහින්ද සමඟ පෙරට යන්නේ එබැවිනි.

දේශපාලන පක්ෂ මහා මැතිවරණය වෙනුවෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත්කර තිබේ. දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියන්නේ ෆෙඩරල් ක්‍රමය තුළ උපරිම බලය බෙදීමක් අවශ්‍ය බවය. පළාත් සභාවට පොලිස් සහ ඉඩම් බලතලද ඔවූහු ඉල්ලා සිටිති. දස දහස් ගණනක් මැරූ දැනට සිරබත් කන ත්‍රස්තවාදීන් දේශාපාලන සිරකරුවන් බවට සළු පිළි අන්දවා නිදහස් කරන ලෙසටද ඉල්ලා සිටිති. මුස්ලිම් කොංග්‍රසයෙන් නැගෙනහිරට වෙනම මුස්ලීම් කලාපයක් ඉල්ලීමේ යෝජනාවකි. එජාප රජයක් බිහි වුවහොත් මේ සියල්ල ඉදිරියේ දණ ගැසීමේ බිහිසුණු අවදානමක් ඇත. යුද්ධයෙන් මියගිය කොටි ත්‍රස්තවාදින්ට වන්දි ලබාදිය යුතුයැයි කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන ආවේ ‘යහපාලන’ ආණ්ඩුවේම ඇමතිවරයෙකි. ඒ මාස 6ක් තුළ සුළුතර ආණ්ඩුවක් ලෙස කටයුතු කරමින් සිටියදිය. මාස 60කට බලය ගියහොත් රටේ බහුතර ජනතාවට සිදුවන්නේ හුස්ම උඩට අල්ලා උඩු සුසුම් හෙළීම පමණි.

ද්‍රවිඩ සන්ධානයේ සහ මුස්ලීම් කොංග්‍රසයේ මැතිවරණ ප්‍රකාශ තුළින් රට ඉදිරියේදී අනතුරට ලක්වීමේ සේයාවක් මතුවෙමින් තිබේ. ඒකීයභාවයේ වහකඳුරු වූ අධිරාජ්‍යවාදී රටවල ඉත්තන් සහ ගැත්තන් වූ දේශපාලන පක්ෂ වෙනසක මුවාවෙන් අලුත් රටක් බිහිකිරීමට කුරුමානම් අල්ලමින් සිටින්නේ බෙදුම්වාදී අරමුණු වෙනුවෙනි. සාමය නිසා අවතැන්වූ ඩොලර් එන්.ජී.ඕ. කාක්කන් මහින්ද එපා යැයි කියන්නේ සිය ව්‍යාපාරික කටයුතු යුද්ධයක් යළි ඇරඹුනහොත් සාම වෙළෙඳාම හරහා ජයටම කරගෙන යෑමටය.

සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනාගතයට සහතිකයකි. රටට යළි පණදීමේ කඩිනම් වැඩසටහනකි. එමගින් ජාතික ප්‍රශ්ණයට මාස 6 තුළ විසදුමකි. මහපොල දීමනාව 6,000 දක්වා ඉහළටය. දැනට රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වන රුපියල් 11,760 රුපියල් 25,000ක් දක්වා අවම මූලික වැටුප දක්වා වැඩි‍ ‍කෙරේ. පෞද්ගලික අංශයට රුපියල් 3,000ක වැටුප් වැඩිකිරීමක් සිදුකරනුයේ හාම්පුතුන්ද දිරිමත් කරමිනි. වයස අවුරුදු 18-25 දක්වා පිරිසට රුපියල් 50,000ක උසස් අධ්‍යාපනය හැදෑරීමේ දීමනාවකි. දිනූ මවිබිම පණ මෙන් සූරැකේ.

එජාපය ඉදිරි මහ මැතිවරණය තුනෙන් දෙකක විශාල බලයක් ලැබෙන බවට ප්‍රකාශ කරති. මේවා දවල් සිහිනය. එජාපයේ තුනෙන් දෙකේ කථා වලට ඇතැම් සාත්තරකාරයෝද හූමිටි තබති. ජනතාවගේ හැගීම අනුව තුනෙන් දෙකක් බලයක් ලැබූ සෑම පක්ෂයක්ම ක්‍රියාකර ඇත්තේ තමන්ගේ වාසියටය. සිරිමා බණ්ඩාරනායක 1970දී ඒ බලය යොදා ගත්තේ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 2කින් දික් කර ගැනීමටය. ජේ.ආර්. ජයවර්ධන 1977දී එය යොදා ගත්තේ කිසිවෙකු නොඉල්ලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ගෙන මමයි රජා වීමටය. මහින්ද රාජපක්ෂ 2010දී එය යොදා ගෙන 18වැනි සංශෝධනය කර ගත්තේය. එජාපය මෙවර තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ ඊනියා සභාග ආණ්ඩුවක් පිහිටුවාගෙන දේශපාලන පක්ෂ සදහටම නැතිකරන්නටද කියා දන්නේ නැත.

ජනවාරි 8 වැනිදා ජනතාව තින්දුව දුන්නේ දූෂණය සහ අක්‍රමිකතා මතම පදනම්ව ‍නොවේ. එය තනි හේතුවකට ලඝු කිරීම වැරදිය. ‘යහපාලනය’ බොහෝ දුරට නාගරික ප්‍රභූ ජන කොටස් අතරින් ආ අදහසකි. උතුරේ ජනතාව ඡන්දය පාවිච්චි කළේ ද්‍රවිඩ සන්ධානයේ තොරොම්බල් දේශපාලනයට අනුවය. මහ මැතිවරණයෙන් සන්ධානය යම් හෙයකින් පරාජය වූවොත් එජාප ආණ්ඩුව පාලනය කරන ප්‍රධාන දැතිරෝද බවට පත්වනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසයය. එය බරපතල දේශපාලන අස්ථාවරයක් ඇති කරන්නක් ‍වනු ඇත. දිනුමේත් පැරදුමේත් අත්දැකීම්‍ ගෙන අලුත් සිතුවිලි ඔස්සේ රට නැගීමට මහින්ද රාජපක්ෂගේ මෙහෙයුම් නායකත්වයෙන් සන්ධානය ජයග්‍රහණය කල යුත්තේ එබැවිනි.

රටේ ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍ය රැදී ඇත්තේ ජනාධිපතිවරයා සතුව නොවේ. පරමාධිපත්‍යයේ අවයව දෙකක් ලෙස ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව පවතී. අගමැති පත්කිරීමේ ප්‍රශ්නය පවා අවසානයේ තීන්දු වෙනු ඇත්තේ ජනතා පරමාධිපත්‍යය ඉදිරි මහා මැතිවරණයෙන් විදහාපාන අන්දමටය. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම විසින් ජනතා පරමාධිපත්‍යයට එරෙහි සියළු බාධාවන් යටපත් කෙරෙනු ඇත. එබැවින් පාර්ලිමේන්තුවේ මහා ප්‍රඥයා වශයෙන් පෙනී සිටින අයකුගේ තර්ක වලට මුලාවිය යුතු නොවේ.

‘යහපාලන’ ආණ්ඩුවට කිහිප දෙනෙකු රැවටිය හැකිය. ඒබ්‍රහම් ලින්කන් කීවාක් සේ හැමදෙනාම සදාකාලිකව රැවටිය නොහැකිය. සර්පයාට පහරදිය යුත්තේ පොල්ලෙන්ය. අලියාට හෙණ්ඩුවෙන්ය. පෙරේතාට ගොටුවෙනි. යකාට මන්ත්‍රරයෙන්ය. ‘යහපාලන’ ආණ්ඩුව ගෙදර යැවිය යුත්තේ කතිරයෙනි.

ධර්මන් වික්‍රමරත්න
ejournalists@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.