Breaking
23 Feb 2025, Sun

ෆොන්සේකා කැබ් රථයක් අරන් ඇවිත් මාව අරන් ගියා…. විමල්,ෆොන්සේකා රහසේම හමුවෙලා

ඊයෙ (18) පානදුර මාලමුල්ල රණවිරු ස්මාරකය අසල පැවති රණවිරු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් විමල් විරවංශ මහතා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත තමන්ගෙන් කල ඉල්ලිමක් සම්බන්ධයෙන් අනාවරණයි කළා.

“මට මෙතැනදී අතුරු කතාවක් මතක් වෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී සහ මම ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස සිටියදී තමයි මෙම සිදුවීම වුණේ. දුරකථන ඇමතුමක් ලබා දීපු මාධ්‍යවේදියකු මට පැවසුවා ‘සරත් ෆොන්සේකා කියන හමුදා නිලධාරියා ඔබව හමුවීමට ඕනෑ කියා පවසනවා’ කියලා. මමත් ඒකට කැමැත්ත පළ කළා. මම වෑන් රථයකින් ගියාම එතුමා කැබ් රථයක් පදවාගෙන ඇවිත් මාවත් රැගෙන ඔහු එවකට පදිංචිව සිටි හමුදා නිල නිවාසය වෙතට පැමිණියා.”

“මම අසුන් ගත්තාම ඔහුගේ නෝනා හැලප වැනි දෙයකින් සංග්‍රහ කළා මට මතකයි. ඒ දිනවල අපි චන්ද්‍රිකා ජනාධිපතිවරිය සමඟ 2004 බල පෙරළිය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටියේ. කෙසේ නමුත් අප අතර සිදුවන කතාබහ මැද්දේ සරත් ෆොන්සේකා මහතා මට කියා සිටියා, 2004 බල පෙරළියෙන් පසුව ඔහුට හමුදාපති ධුරය අරන් දෙන්න කියා. මම ඒ දෙය කරන්නම් කියා ඔහුගෙන් සමුගෙන ආවා. කෙලින්ම ඇහුවොත් ජනාධිපතිවරිය කලබල වන නිසා අපි ඒ පිළිබඳව වෙනත් අය ලවා වටින් පිටින් ඇගෙන් විමසීමක් කළා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රතිචාරය වුණේ ‘අපෝ එයා වගේ කෙනෙක් හමුදාපති කළොත් හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනීවි’ කියලයි.”

“දේශපාලන ලෝකයේ හිටපු බොහෝ දෙනකුගේ ෆොන්සේකා පිළිබඳ ආකල්පය ඒකයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ වැඩිමහල් සහෝදරයාගෙන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමේ ප්‍රබලත්වය නිසයි කවුරුත් යහපත් ප්‍රතිචාර නොදක්වපු සරත් ෆොන්සේකා විශ්‍රාම යාමට මාසයක් තිබියදී සේවා දිගුවක් සහිතව යුද හමුදාපති වූයේ. කවුරුත් හමුදාපති කරන්න අකමැති වුණු පුද්ගලයා හමුදාපති ධුරයට එදා පත් කළේ මිනීමරු ත්‍රස්තවාදයෙන් මේ මව් පොළොව නිදහස් කර ගැනීමට ඔහුගේ ද දායකත්වය ගත යුතු නිසයි. සියලු ආරක්‍ෂක ප්‍රධානීන් නිසි ලෙස කළමනාකරණය කරගෙන, මහා සැලසුමක් සහිතව, පෙරමුණු හතරපහකින් කොටි ත්‍රස්තවාදයට එකවර පහර දෙන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළා. ඒ අතරේ අප මේ සටනට අවශ්‍ය මතවාදී මැදිහත් වීම සිදු කරන්න දායක වුණා. එදා සමහරු හැදුවා වැඩ වර්ජන කරලා සටන කෙරෙහි අවධානය වෙන පැත්තකට හරවන්න. මේ සටන ජයග්‍රහණය කිරීමට නම් මහජන පක්‍ෂපාතීත්වය වගේම රටේ සියලු දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් මතවාදීව කළ යුතු, කළ හැකි සියල්ල අපි විසින් එදා සිදු කළා.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.