Breaking
24 Feb 2025, Mon

අද ආණ්ඩුව සියඹලාණ්ඩුවේ පමණයි -මෛත්‍රි කණ්ඩායම පුලුවන්නම් ඡන්දයකට ගොස් ආසන 10 දිනා පෙන්වනු

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ අප්‍රේල් 23 වැනි දින ය. ඒ ජනාධිපතිවරණයේ දී දුන් ඡන්ද පොරොන්දුවකට අනුව ය. මෛත්‍රිපාල සිරිසේන යනු වෙසස්සන්තර කෙනකු හෝ සිරිසඟබෝ කෙනකු හෝ නො වේ.
ඔහු අගමැති කම නො ලැබුණු බැවින් රාජපක්‍ෂලාගෙන් පමණක් නොව රටෙන් ද පළිගැනීමට සූදානම් ය. ඔහු රනිල් සමග එකතු වී දෙමළ ජාතිවාදයේ ඉල්ලීම් එක එක දෙයි. ඔහුට ඊනියා දේශපාලන යථාර්ථය තේරී ඇත්තේ බටහිරයන්ගේ හා යම් දුරකට ඉන්දීයයන්ගේ බලපෑම්වලට හිස නැමීමට සිදුවීමෙන් පසුව ය. එහෙත් ඔහුට දැන් තම ස්වාමීන් සතුටු කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.

මහින්ද රාජපක්‍ෂට තිබූ පෞරෂය මෛත්‍රිපාලට නැත. එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරු මහින්ද හමුවීමට ලංකාවට පැමිණි අවස්ථාවේ දී මහින්දට ඔවුන් ඇඹිලිපිටියට ගෙන්වීමට හැකි විය. විදේශ ඇමතිවරුන් දෙදෙනා කොටින්ට විරුද්ධ හමුදා මෙහෙයුම් වහා නතර කරන ලෙසටත් එසේ නොකළහොත් ඉන්පසු සිදුවන සියළු දෙයට මහින්ද වගකිව යුතු බවත් කී විට මහින්ද ඔවුන්ට ගෙදර යෑමට කීවේ ය. මහින්ද දංගෙඩියට යැවීමට බටහිරයෝ ඊනියා පොදු අපේක්‍ෂකයකු සොයා ගත්තෝ ය. ඊනියා පොදු අපේක්‍ෂකයා චන්ද්‍රිකා කළාක් මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂය හැර ගියේ ය. ඔහුට පක්‍ෂයෙන් ද පළිගැනීමට අවශ්‍ය වෙයි. පක්‍ෂය හැර ගිය මෛත්‍රිපාල රනිල් වැනි සිංහල විරෝධීන් සමග එකතු වී දින සියයක කතාවක් ගෙතුවේ ය. දින සියය දැන් පැටව් ගසයි. දැන් දින එකසිය පනහක් ආසන්න ය. 

එහෙත් මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැන්ම සූදානම් නැති බව පැහැදිලි ය. කිරිඇල්ල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමන් යෝජනාවක් ගෙනෙනවා වෙනුවට බළලුන් ලවා කොස් ඇට බෑවීමට සැරසෙයි. ඔහු පාසල් ශිෂ්‍යයකු මෙන් විපක්‍ෂ මන්ත්‍රිවරුන්ට යෝජනාවක් ගෙන ඒමට යැයි කියමින් නැති යෝජනාවක් වෙනුවෙන් ඡනදය දීමට නැගිටින්නට යැයි කියයි. ඕනෑම ගොනකුට නැගිටින්නට හැකි වුවත් නැති යෝජනාවක් වෙනුවෙන් නැගිටන ලෙස ඉල්ලිය හැක්කේ කාට ද? 

කිරිඇල්ල හා රනිල් නොකියා කියන කතන්දරය නම් ඔවුන්ට තවමත් පාර්ලදමේන්තුව විසුරුවා හැරීමට මෙත්‍රිපාල එකඟ කරවා ගැනීමට නොහැකි බව ය. මෛත්‍රිපාල බලයට පත්කරනු ලැබුයේ තමන් විසින් යැයි එ ජා ප නායකයෝත් අජිත් පෙරේරා වැනි සුළු නායකයෝත් පුරසාරම් දොඩති. එහෙත් මෛත්‍රිපාල ඔවුන්ට සවන් දී පාර්ලිමේන්තුව විසුරුවා නො හරියි. මෛත්‍රිපාල ඒ වෙනුවට රතන හිමියන් යොදා ගනිමින් විස්ස සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ වෙයි. මෛත්‍රිපාල හා රතන හිමි එ ජා පක්‍ෂයට එකඟ විය නොහැකි වන වගන්ති විස්සට ඇතුළත් කරති. ඔවුන්ට මන්ත්‍රී සංඛ්‍යාව 225න් 255ට වැඩි කිරීමට අවශ්‍ය වෙයි. 

කිරිඇල්ල හා රනිල් පාර්ලිමේන්තුවේ දී බළලුන් ලවා කොස්ඇට බෑවීමට කටයුතු නොකර මෛත්‍රිපාල හමු වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලකර සිටිය යුතු ය. මෛත්‍රිපාලගේ කණ්ඩායමට අද මැතිවරණයක් පැවැත්වුවහොත් ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. යම්කිසි ආකාරයකින් රනිල් ආණ්ඩුවක් පිහිටුවහොත් එහි මෛත්‍රිපාල කණ්ඩායමට ලැබෙන වැදගත්කම දැනගැනීමට ඊනියා දේශපාලන විචාරකයන් අවශ්‍ය නො වේ. රනිල්ගේ ඊනියා ජාතික ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැතිකම දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරයකුට ලැබෙනු ඇත. මෛත්‍රිපාල සිතන්නේ මැතිවරණය පැවැත්වීම කල්දැමුවහොත් ඔහුගේ කණ්ඩායමේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකර ගත හැකිය කියා ය. අගමැතිකමකට කෑදර වී පක්‍ෂයත් රටත් මේ අන්දමට දෙමළ ජාතිවාදයට පාවාදිය හැකි ද? 

අද විජිතමුණි සොයිසාලා බණ්ඩාරනායක ඝාතනය ගැන කතාකරමින් මෛත්‍රිපාල ගැන බිය පහළ කරති. ඒ අසුබ පෙර නිමිත්තකි. රනිල්  හා මෛත්‍රිපාල අතර විරසකය එන්න එන්න වැඩිවෙමින් පවතියි. අද රටේ ආණ්ඩුවක් ඇත්තේ සියඹලාණ්ඩුවේ පමණක් යැයි කවුදෝ කියා ඇත. අපට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය ය. එය රනිල්ටවත් මෛත්‍රිපාලටවත් දිය නො හැකි ය.

නලින් ද සිල්වා

2015 ජූනි 03

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.