Breaking
24 Feb 2025, Mon

රට බෙදන ව්‍යවස්ථාව ජනතාවට පොවන්න….. පච මල්ල යලිත් අවලමේ…

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 දී බලයට පැමිණියේ අති විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනයාට පොරොන්දු රාශියක් ලබා දෙමිණි. එසේ පැමිණ වසර 11ක දීර්ඝ කාලයක් රාජ්‍ය ධූරය හෙබවූ ඇය පසු කාලීනව ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ පච මල්ල නමින්ය. පච මල්ල, පචන්ද්‍රිකා එම වකවානුවේ තාප්ප වල නිතර රැඳි තිබුණු වදන්ය. ඒ නම්බු නාමය ඇයට හිමි වූයේ උපතින් ලැබුණු ජනතාව අන්දවන ආකාරයේ අසත්‍ය ප්‍රකාශ කිරීමේ හැකියාව නිසාය. සැබවින්ම බොරු කීම කලාවක් නම් චන්ද්‍රිකා කුමාරතුංග එහි පිකාසෝ වෙයි. නමුත් ඇය අසත්‍ය ප්‍රකාශ කළේ රටේ ජනතාවට මිසක් ඇය ප්‍රිය කළ ඇගේ මිතුරු කල්ලි වලට නොවේ. ලන්ඩනයේ වාසය කරන චන්ද්‍රිකා කුමාරතුංගට දෙමළ ඩයස්පෝරාවේ මිතුරු කල්ලියක් ඇත.එම මිත්‍රයන්ගේ බලපෑමට යාපනය මුදවා ගැනීමේ මෙහෙයුම වූ රිවිරුස මෙහෙයුම නවතාදමන්නට ඇයි උත්සාහ කළ බව අනුරුද්ධ රත්වත්තේ මහතා පවසා ඇත.

චැනල් ෆෝ වීඩියෝ නරඹා තමන් ශ්‍රී ලාංකිකයෙක් වන බව පැවසීමට ලැජ්ජා බව සිය පුත්‍රයා පැවසූ බව උජාරුවෙන් කීවාය. ඇයට රටේ ජනතාව කෙරෙහි කිසිදු පක්ෂපාතිත්වයක් නැත. සිය වලව් නම්බුවත් පවුලේ බූදලයක් යයි සිතා සිටින නිදහස් පක්ෂයත් ඇයට නැති කළ රාජපක්ෂවරුන් සමඟ ඊර්ශ්‍යා සහගත වෛරයක් පමණක් ඇත. නමුත් පෙර කීවා සේ චන්ද්‍රිකාට ඇත්ත මෙන් බොරු කීමේ හැකියාවක් ඇත. ඒ බව අපි තේරුම් ගත යුතුය. තමන්ගේ එම හැකියාව පිළිබඳව ඇයත් හොඳන් දනී. අසාර්ථක රාජ්‍ය පාලිකාවක් ලෙස වුවත් වසර 11ක් ම බලයේ සිටියේ එම බොරු කීමේ හැකියාව නිසාය.

එක්වරම චන්ද්‍රිකා මහත්මිය ගේ මෙම හැකියාව ගැන අපි කතා කරන්නේ ඇයි? අනාගතයේදී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන්නට යන ක්‍රියාදාමය ගැන ඇය දමිළ මාධ්‍යවේදිනියක හා පැවසූ කාරණාව නිසායි.

“දැන්ම යුධ අපරාධ අධිකරණ පිහිටුවොත් සහතික වශයෙන් කියන්න පුළුවන් අළුත් ව්‍යවස්ථාව අපිට සම්මත කරගන්න වෙන්නේ නැ………..රටේ යුධ අධිකරණ සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතුවෙන්න පුළුවන්……….ඒ නිසා වඩා වැදගත් වෙන ව්‍යවස්ථාව වෙනස් කරන එක අපි මුලින් කරන්න ඕන”

ඇය මේ පවසා සිටින්නේ රටේ මහජනතාව රැවටිය යුතු බව නොවේද? රටේ මහජනයා රැවටිය හැක්කේ කෙසේද කොයි පිළිවෙලින්ද යන්න ඇය හොඳින් දනී. රටට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් ඇති වන ප්‍රතිඵල ඇයට අදාළ නැත. සත්‍ය වශයෙන් ඇයට අදාළ විය නොහැක. ඇගේ දරුවන් බ්‍රිතාන්‍ය පුරවැසියන් වන අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් හා විවාහ වී එම රටේම පදිංචිව සිටී. ලංකාවට කුමන ඉරණමක් අත්වුවත් ඇගේ දරුවන්ට ඉන් බලපෑමක් නැත. බලපාන්නේ දුප්පත් ශ්‍රී ලාංකිකයන්ටයි. යුධ පෙරමුණට සිය දරුවන් දන් දී රටට හෙටක් අපේක්ෂා කර දෙමව්පියන්ටත් එම යුධ විරුවන් ගේ දරුවන්ටත්ය.

මීට වසරකට පමණ පෙර ඉන්දියානු මාධ්‍යයක් හමුවේ ඇය පැවසූ ලංකාව නිජබිම කරගත් සිංහලයින්ගේ බලය රට තුළ අඩු කළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසන ඇය ෆෙඩරල් පන්නයේ ව්‍යවස්ථාවක් සඳහා චෙල්වනායගම් සැමරුමේදී ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. එසේ නම් ඇය මෙසේ රැවටීමෙන් හා වංචාවෙන් ගෙන එන ව්‍යවස්ථාව කුමන ආකාරයේ එක්ක ද බව ඉතා පැහැදිලිය.

මුලින් යුධ අපරාධ අධිකරණයක් ගෙනා විට රටේ ජනතාව ඇවිස්සෙන බවත් ඒ නිසා ඊට පෙර නව ව්‍යවස්ථාව ගෙන එමින් ජනතාව රැවටිය යුතු බවත් ඇය පවසයි. එය සම්මත කරගන්නා ආකාරයත් ඇය පවසයි. රටේ පවතින තත්ත්වය යටතේ ජනමතවිචාරණයක් ජයගැනීම අපහසු බව පිළිගන්නා ඇය එම කර්තව්‍යය ඉෂ්ඨ කර ගැනීමට නම් නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ජනතා සහාය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා හොඳ කැම්පේන් එකක් ආරම්භ කළ යුතු බවත් පවසයි. ජනතාව රැවටීමේ උපන් හපන් කමක් ඇති චන්ද්‍රිකා මේ සඳහා උදාහරණ කොට ගන්නේ සුදු නෙළුම් ව්‍යාපාරයයි. ජාතික රූපවාහිනියේ ජනතා මුදලින් නව ව්‍යවස්ථාවට අවශ්‍ය ජනතා සහාය ගොඩ නගන කැම්පේන් අරඹනු ඇත. නව ව්‍යවස්ථාව සම්මත කළ යුතු බව කියන සිංහල දෙමළ අය අත්අල්ලන් සිටින රූප රාමු ඇතුළත් කවි,සිංදු ලියැවෙනු ඇත. බටහිරින් නඩත්තු කරන බෙදුම්වාදී අරමුණු වෙනුවෙන් පෙනී සිටින එන් ජි ඔ නඩ වීදි නාට්‍ය රඟ දක්වමින් පාරට බසිනු ඇත. පච මල්ල හොඳින් ක්‍රියාත්මක වන්නට ආරම්භ වනු ඇත. මේ සියල්ලේ අවසානය මේ රටේ හුදී ජනතාව නැවතත් ඇන්ඳීමට ලක්වීම විය හැකිය. කවදත් වහසි බස් වලට රැවටී මුදල් වියදම් කරගෙන සිදුකරන ප්‍රචාරණයන් ලස්සන සින්දු වලට රැවටී තමාගෙත් තම දේශයේත් ඉරණම තීන්දු කරන ජනතාවක් අපට ඇත. ඒ බව ඇය හොඳින් දනී. එබැවින් රටේ පවතින රජයට එරෙහි ජනතා මතය ජනමතවිචාරණයේදී නව ව්‍යවස්ථාවට එරෙහි ඡන්දයක් බවට පත්වේ දැයි යන්න සැක සහිතය. එබැවින් රටට හිතවත් ළඟ එන අනතුර අවබෝධ කරගත් සියල්ලන් රටේ ජනතාව දැනුවත් කරමින් මෙම ද්‍රෝහී ව්‍යවස්ථා මරඋගුල පරාජය කිරීමට අවශ්‍ය සියල්ල කළ යුතුය. ජනතාව රවටන මෙහෙයුම පිළිබඳව හෙළි කළ චන්ද්‍රිකා මැතිණියට අප එක් අතකින් ස්තුති වන්ත විය යුතුය.

අවසානයේ කිව යුත්තේ රටට හිතවත් සියල්ලන් නොපමාව කටයුතු කර මෙම ව්‍යවස්ථා උගුල පිළිබඳ සිය මිතුරන් නැයන් අසල්වැසියන් සියල්ලම දැනුවත් කළ යුතුය.

-අයි. ජයතිලක-

යුතුකම සංවාද කවය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.