Breaking
23 Feb 2025, Sun

ජාතික හෙළ උරුමයට පැහැදිලිව ම ප්‍රශ්නයක් ඇත. ඒ 2020 දී චම්පක රණවක ජනාධිපති කිරීම ය. ඔහු ජනාධිපති වන බව එක්තරා ජ්‍යෙතිෂවේදියකු පවසා ඇතැයි කියැවෙයි. එය ඇත්ත වුවත් නැතත් චම්පක ජනාධිපතිවන්නේ කිනම් පක්‍ෂයකින් තරග කර කිනම් පක්‍ෂවල ආධාරය ලබා ද යන ප්‍රශ්නවලට පිළිතුරු සපයාගත යුතුව ඇත. තරග කරන පක්‍ෂය කුමක් ද යන්න එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ කවුරුන් ආධාර කරන්නේ ද යන්න ය. 

පැහැදිලිව ම ජාතික හෙළ උරුමයට පාර්ලිමේන්තුවේ බලය ලබාගත නො හැකි ය. පක්‍ෂවල සංධානයකින් තරග කළ ද දිනන සංධානයක නායකත්වය චම්පකට හිමි නොවු ඇත. චම්පක හැමදාමත් කටයුතු කළේ මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට නොව නිෂ්පාදනය කළ මෝටර් රථයක සුක්කානම අතට ගැනීමට ය. එහෙත් දිනන සංධානයක් කිසි දිනෙක චම්පකට සුක්කානම ලබා නො දෙනු ඇත. 

විධායක අගමැතිකම ලබාගැනීමට චම්පකට හැකි කමක් නැත්තේ එබැවිනි. ඔහුට පාර්ලිමේන්තුවේ බලයට පැමිණ අගමැතිකම ලබාගත නො හැකි ය. එබැවින් ජාතික හෙළ උරුමය විධායක අගමැති ධුරයට විරුද්ධ ය. චම්පක පක්‍ෂ කිහිපයක ආධාරයෙන් ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත්වී ජනාධිපති වීමට මාන බලයි. ඔහුට විධායක ජනාධිපති මිස නාමික ජනාධිපති වීමේ අවශ්‍යතාවක් නැත. 

මෛත්‍රිපාලගේ දින සියයේ වැඩ පිළිවෙළේ පැහැදිලිවම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන විධායක කැබිනට් මණ්ඩලයක් ආදේශ කරන බව කියැවෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහොසි කිරීම දින සියය ඇතුළත සිදු නොවුනත් ඒ අහෝසිකර විධායක කැබිනට්ටුවක් ආදේශ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව දින සියයේ වැඩ පිළිවෙළේ කියැවෙයි. ජාතික හෙළ උරුමය දින සියයේ වැඩ පිළිවෙළ වෙනුවෙන් පෙනී සිටියේ ය. ශ්‍රි ල නි පක්‍ෂයේ නිවට නායකත්වය කුමක් කීවත් අපි දින සියයේ වැඩ පිළිවෙළ සමග එකඟ නො වෙමු. එහෙත් ජාතික හෙළ උරුමයට එසේ කිව නො හැකි ය. 

19 වැනි සංශෝධනයට අපි විරුද්ධ වෙමු. අගමැති කැබිනට්ටුවේ නායකයා බවට පත්කිරීමට අපි විරුද්ධ වෙමු. එපමණක් නොව රනිල් වික්‍රමසිංහට අගමැති වීමට අයිතියක් නැති බව ද ඔහු අගමැති ධුරය පික් පොකට් ගසා ඇති බව ද අපි කියමු. එවැනි පික් පොකට් අගමැතිවරයකුට කෙසේ වත් විධායක බලතල පැවරිය යුතු නො වේ. එහෙත් ජාතික හෙළ උරුමය පික් පොකට් ගැහිල්ලට විරුද්ධ නොවූවා පමණක් නොව පික් පොකට් කැබිනට්ටුවක ඇමති ධුරයක් ද භාර ගත්තේ ය. ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය අශෝක අබේගුණවර්ධන එය ආශ්චර්යයක් ලෙස අර්ථදක්වනවා විය හැකි ය. 

19 වැනි සංශෝධනය පික් පොකට් කැබිනට්ටුවේ වැඩකි. එයට කැබිනට්ටුවෙහි දී විරුද්ධ වීමෙන් හෝ එයට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් හෝ පික් පොකට් කැබිනට්ටුවේ ඇමතිකමක් ගැනීමේ පාප කර්මය අහෝසි කළ නො හැකි ය. ජාතික හෙළ උරුමයට ඒ පාප කර්මය මග හැරිය හැකි නො වේ. 

ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. ජනාධිපතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩලය අහෝසිවන බවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කිසිම තැනක සඳහන් නො වේ. රනිල් අගමැති කම පික් පොකට් ගැසුවේ ය. අපි ඒ බව පැහැදිලිව කියා ඇත්තෙමු. එහෙත් මහින්ද රාජපක්‍ෂ ගෙදර යවා 2020 දී තම විධායක ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීම සඳහා චම්පක දින සියය වැඩ පිළිවෙළට සහාය දී ඇමතිකමක් ද ලබා ගත්තේ  ය. අද ඊනියා යහපාලනය යමපාලනයක් බවට පත් වී ඇත. චම්පකට දැන් කරණමක් ගසා සංධානයට එකතු වී තම අභිලාෂය මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය වෙයි. මහින්ද ප්‍රභාකරන්ලාට මෙන් ම සිංහල ප්‍රභාකරන්ලාට ද ඉඩ නොදිය යුතු ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 31

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.