Breaking
23 Feb 2025, Sun

රයිගමයා හා ගම්පලයා සවුජම හෙවත් 20 පෙන්වා පාර්ලිමේන්තුවේ ලැගිම

දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කළ විට අපි එයට පෙර විස්ස ගත යුතු යැයි කීවෙමු. අප කියා සිටියේ ජනතාවට දහනවයට වඩා විස්ස අවශ්‍ය බව ය. එහෙත් රනිල්. මෛත්‍රිපාල පමණක් නොව සංධානය ද අපේ යෝජනාව නොසලකා හැරියහ. එහෙත් අද ඩිලාන් පෙරේරා වැන්නෝ දහනවයට වඩා විස්ස අවශ්‍ය බව කියති. ඔහු අද කියන දේ පිටුපස වෙනත් දේශපාලන අවශ්‍යතාවක් ඇති බව පැහැදිලි ය.

රනිල්ට හා එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නැත. ඔවුන්ට මනාප ක්‍රමය කේවල ක්‍රමයට හෝ මිශ්‍ර ක්‍රමයකට හෝ වඩා වාසිදායක ය. ඔවුහු විස්ස පස්සට දැමීමට හැකි සෑම උත්සාහයක් ම දරති. එහෙත් මෛත්‍රිපාලට විස්ස අවශ්‍ය ද? ඔහු රතන හිමියන් මගින් විස්ස අවශ්‍ය බව කියයි. රතන හිමියෝ විස්ස සම්මත කර ගැනීමට පාරට වෑඩම කිරීමට කතා කරති. එහෙත් උන්වහන්සේට පාරට ගෙන්වීමට සෙනග නැත.  මේවා නිකම්ම නිකම් වහසි බස් (වාසි බස්) පමණකි. 

මෛත්‍රිපාල පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 225 සිට 255 දක්වා වැඩි කිරීමට කතා කරන්නේ ද? මේ යෝජනාව කාගේ ද? මන්ත්‍රි සංඛ්‍යාව වැඩි කළ යුතු යැයි දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවෙහි සඳහන් නො වී ය. මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන්නේ ඊනියා සුළු ජාතික පක්‍ෂවල යහපත සඳහා ය. එය රටේ අයහපත සඳහා ය. දෙමළ නායකයන්ට විසිවැනි සියවසේ මුල සිට ම අවශ්‍ය වූයේ ව්‍යවස්ථාදායක සභාවේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාවට වඩා දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම ය. ඔවුහු පසුව සෝල්බරි කොමිසම හමුවට ද ගොස් සිංහල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. එය මුළුමනින් ම කළ නොහැකි වුවත් බහු මන්ත්‍රී ආසන නිර්මාණය වූයේ දෙමළ හා මුස්ලිම් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ය.

අද ද මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම පිටුපස ඇත්තේ සිංහල නොවන මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම ය. මෛත්‍රිපාල හා රතන හිමි එයට එකඟ ද? මෙය ඉන්දියාවේ යෝජනාවක් ද යන්න අපට අසන්නට සිදු වී ඇත්තේ එ ජා පක්‍ෂය මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය නැති බව කියන බැවිනි. පැහැදිලිව ම දළ වශයෙන් පික්පොකට් ආණ්ඩුවේ ඉන්දීය කණ්ඩායමක් හා බටහිර කණ්ඩායමක් වෙයි. දෙමළ ජාතික මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමට වඩා අවශ්‍ය ඉන්දියාවට ය.

බටහිරයෝ සිංහලයන්ට විරුද්ධ වීමට වෙනත් ක්‍රම යොදා ගනිති. ඒ කෙසේ වෙතත් එ ජා පක්‍ෂයේ ලක්‍ෂමන් කිරිඇල්ල කියන්නේ මන්ත්‍රි සංඛ්‍යාව වැඩි නොකරන්නේ නම් ඔවුන් විස්සට පක්‍ෂ වන  බව ය. ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී කිරිඇල්ල එසේ කියන්නේ කිනම් ගොනකුගේ අවශ්‍යතාවට ද යන්න සිතා බැලිය යුතු ය. එහෙත් මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකිරීම අස්කරගන්නේ නම් එ ජා පක්‍ෂයට විස්සට විරුද්ධ වීමට හේතුවක් සොයා ගැනීමට නොහැකි වනු ඇත. 

විස්ස තවමත් කෙයටුම්පත් කර අවසන් වී නැත. එය ඉක්මණින් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. අද පාර්ලිමේන්තුව ඉක්මණින් විසුරුවා හැරීමට විරුද්ධ මෛත්‍රිපාල කණ්ඩායම ය. චම්පක ද රතන හිමියෝ ද ඒ කණ්ඩායමේ වෙති. වෙල් විදානේට මේවා එතරම් ප්‍රශ්න නො වේ. මෛත්‍රිපාල කණ්ඩායම සිතන්නේ මැතිවරණය කල්දැමීම ඔවුන්ට වාසි බව ය. ඔවුහු ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල්දැමීමට හේතු සොයති. විස්ස සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔවුහු විරුද්ධ වෙති. ඒ අතර විස්ස සම්මත කිරීමට බාධා ඇති කරති. 

එ ජා පක්‍ෂයට අවශ්‍ය ඉක්මන් මැතිවරණයකි. එහෙත් ඔවුහු විස්ස සම්මත නොකිරීමට හේතු සොයති. රයිගමයා හා ගම්පලයා අතර සිදුවන මේ මගඩියෙන් සිදුවන්නේ විස්ස සම්මත නොවීමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දිනෙන් දින කල්යෑමත් ය. 


නලින් ද සිල්වා


2015 ජූනි 03

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.