Breaking
22 Feb 2025, Sat

ආණ්ඩුවට පිහිටුවූයේ 2015 ජනවාරි 09 වැනි දා යැයි සැලකුවහොත් අප්‍රියෙල් 23 වැනි දා එහි 105 වැනි දිනය වෙයි. එදාට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව දින සියයේ වැඩ සටහනෙහි වෙයි. දින සියය පසු වී දින කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තීරණය කර ඇත්තේ නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි නො කිරීමට ය. ඒ පිළිබඳ ව අපේ විරුද්ධත්වයක් නැත. දින හතරක පහක වෙනසක් නිසා මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි කිරීම මානව අයිතීන් කඩකිරීමක් නොවූවත් මානව හිතවාදී නො වේ. මන්ත්‍රීවරු ද මනුෂ්‍යයෝ  ය. 

එහෙත් දැන් දැන් පාර්ලිමේන්තුව  අප්‍රියෙල් 23 වැනි දින ද විසුරුවා නොහරින බවට කතා ඇතිවෙයි. දින සියයේ වැඩ නිම කිරීමෙන් පසුව පමණක් පාර්ලිමේන්තුව  විසුරුවා හැරිය යුතු යැයි මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා ඇත. උන්වහන්සේ ආණ්ඩුවේ මොකක්දෝ උපදේශක සභාවක සාමාජික හිමි නමකි. උන්වහන්සේ ද උන්වහන්සේ අනුව ගිය බොහෝ අය ද සිතා සිටියේ උන්වහන්සේ ජාතික විධායක සභාවේ සාමාජික ස්වාමීන් වහන්සේ  නමක් බව ය. එහෙත් ඒ එසේ නොවන බව අපි දැන් දනිමු. උන්වහන්සේ ද ඒ බව දන්නේ යැයි සිතමු. 

කෙසේ වෙතත් රාජිත සේනාරත්න කියන්නේ වැදගත් වන්නේ දින සියය නොව වැඩ සියය බව ය. දන්ත වෛද්‍යවරයකු වූ ඔහු ඒ බව කියන්නේ දත් ඇති කටකින් දැයි නො දනිමු. දත් වැටීමට තරම් වයසක් ද ඔහුට නැත. ඒ අතර අතුරලියේ රතන හිමියන් පවසා ඇත්තේ දින සියයට දින දහයක් එකතු වූවාට ප්‍රශ්නයක් නොවන බව ය. ඒ සඳහා නැකතක් නැති බව ද උන්වහන්සේ පෙන්වා දී ඇත. මේ සියළු ප්‍රකාශවලින් පෙනී යන්නේ අප්‍රියෙල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මන්ත්‍රීවරුන් පිරිසක් හා සාධාරණ සමාජයක් හා/හෝ පිවිතුරු හෙටක් අපේක්‍ෂා කරන පිරිසක් අදි මදි කරන බව ය. 

එහෙත් එ ජා පක්‍ෂයේ තීරණය වී ඇත්තේ අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ය. එ ජා පක්‍ෂය මැතිවරණයකට සූදානම් ය. ඔවුන් සිතන්නේ කල් නොහැර මැතිවරණයක් පැවැත්වුවහොත් ඔවුන්ට ජයගත හැකි බව ය. එහෙත් මෛත්‍රිපාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ල නි පක්‍ෂයේ මතය වී ඇත්තේ ඔවුන්ට ක්‍ෂණික ව මැතිවරණයකට ඉදිරිපත් විය නො හැකි බව ය. ඔවුන්ට පාර්ලිමේන්තුව දින එකසිය දහයකින් නොව තුන්සියයකින් විසුරුවා හැරියත් ප්‍රශ්නයක් නො වේ. අවශ්‍ය වන්නේ දින සියය වැඩ සටහනේ වැඩ ටික නිම කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය. 

එය මෝදිගේ ද මතය ද යන්න ප්‍රකාශ වී නැත. කලාප අධිපතියා ඒ සම්බන්ධයෙන් මෛත්‍රිපාලට උපදෙස් දෙන්නට ඇත. එහෙත් මෛත්‍රිපාලට එහි දී එංගලන්තයට හා ඇමරිකාවට ද කන් දීමට සිදුවෙයි. මෛත්‍රිපාල හා ඔහුගේ ශ්‍රී ල නි පක්‍ෂය මහින්දට බය ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමීමට හා ඊනියා ජාතික ආණ්ඩුවක් ගැන කතා කිරීමට ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල පිළේ  නායකයන් ඉදිරිපත් වන්නේ මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයෙහි ආධිපත්‍යය පිහිටුවා ගැනීමට දින සියයෙන් බැරි බව දන්නා නිසා ය. මෙය වැඩ සියයක හෝ දින එකසිය දහයක හෝ නැකතක හෝ කතාවක් නොව මහින්ද රාජපක්‍ෂට දේශපාලන වශයෙන් ඇති බිය පිළිබඳ කතාවකි.

එහෙත් එ ජා පක්‍ෂයට ඒ කතාවලින් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය ජූනි මාසය වන විට මහා මැතිවරණයක් පැවැත්වීමට ය. එසේ නොකළහොත් එ ජා පක්‍ෂයට ජයගත නොහැකි බව ඔවුන්ගේ මතය වී ඇති බව පැහැදිලි ය. මහින්ද රාජපක්‍ෂ නැවත බලයට පැමිණ විය යුතු යැයි කියන්නන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයකට තවමත් එළඹී නැත. අප්‍රියෙල් 23 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෛත්‍රිපාලගේ ජනාධිපතිවරණ ප්‍රකාශයට එකඟ ය. ඉක්මන් මැතිවරණයක් මහින්දගේ නායකත්වයට ද වැඩ දායක ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 14

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.