විශේෂාංග

වෙස්‌ තට්‌ටුවට පොල්ලෙන් ගැසූ පස්‌වැනි ඊළාම් යුද්ධයේ කීටයෝ සහ පිටකොන්දක්‌ නැති ශිෂ්‍ය ව්‍යාපාර

අවසාන වශයෙන් මේ නොමිනිසුන් තනන්නේ කවුරුන්දැයි අපි තේරුම් ගත යුතුය. යාපනයේ පමණක්‌ නොව උතුරු නැගෙනහිර කොතැනක හෝ බුදු පිළිමයක්‌ වඩාහිඳුවීම පවා සංස්‌කෘතික ආක්‍රමණයකියි සිය ‘යටත් වැසියන්ට’ උගන්වන දෙමළ ජාතික සන්ධානය නම් වූ බෙදුම්වාදී දේශපාලන නඩය මෙහි ප්‍රධාන වගඋත්තරකරු වන්නේය.

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් හා සංස්‌කෘතික කණ්‌ඩායමට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ ප්‍රතිචාර, විචාර මෙන්ම විකාර දෙසද අපි විමසිලිමත්ව බලා සිටියෙමු. ඒ ප්‍රහාරය කෙතරම් සෞම්‍ය සහෝදරත්වයෙන් හා සංහිඳියාවෙන් යුතු ලෙස එල්ල කර ඇත්ද යන්න රෝහල්ගතව සිටින ශිෂ්‍යයා ශල්‍යකර්මයකටද බඳුන් කිරීමෙන් වැටහේ. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ නීතිය අකුරටම, තරාතිරම නොබලා ක්‍රියාත්මක වන බවද හදපත්ලටම දැනෙන්නේ පහරකෑමට ලක්‌වූ පුද්ගලයා මාරාන්තික තුවාල ලබා සිටියදී පහර දුන් ශිෂ්‍යයා දවසින් ඇප ලබා පිටව යැම නිසාය. යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් පොරොන්දු වූ පරිදිම “සැමට සමාන ව නීතිය” ක්‍රියාත්මක කරන හැටි අපූරුය. කැලණිය විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධියකට සම්බන්ධ යෑයි අත්අඩංගුවට ගත් සිසු පිරිස දින හැත්තෑ පහක්‌ රිමාන්ඩ් භාරයේය.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට බලය දී ඇතිබව කියන උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා, සිසු ගැටුම යොදාගෙන අනවශ්‍ය ප්‍රශ්නයක්‌ ඇති කිරීමට සිංහල හා දෙමළ අන්තවාදී කණ්‌ඩායම් කටයුතු කරමින් සිටින බවද, “මේවා දුර දිග යන්නේ නැතුව අපි ගොඩින් බේරගන්න ඕනේ” යෑයිද කියයි. “මේ ගැටුම ජාතිවාදය එකම දේශපාලන භූමිකාව කරගත් අයට උත්තේජනයක්‌” යෑයි කියමින් අනුර කුමාර දිසානායක නායකතුමාද නියම පරිණත අදහසක්‌ දක්‌වා ඇත. මේ රටේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් දිවිහිමියෙන්ම කැපවූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය කියන්නේ “ජාතිවාදය හැදෙනකම් බලාගෙන ඉන්න අයට හොඳ වැඩක්‌ තමයි මේක” කියාය. “මේ සිද්ධිය යොදා ගනිමින් විශ්වවිද්‍යාල පද්ධතියට ජාතිවාදය ඇතුළත් කිරීමේ උත්සාහයක්‌ තිබෙනවා” යෑයිද ඒ බල මණ්‌ඩලය භීතිය පළකරයි.

තවත් ජාතියක සංස්‌කෘතිය නොඉවසා මාරාන්තිකව ප්‍රහාර එල්ල කරන නරුමයින් ඇස්‌ පනාපිට සිටියදී අමුතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට ජාතිවාදය ඇතුළු කළ යුතුද? අප වෙත ලැබී ඇති නිල නොලත් ආරංචි ප්‍රකාරව, පළමුව පහර දුන්නේ අපි යෑයි සාවද්‍ය ප්‍රකාශ කරවා ගන්නා තැනට ඊනියා සංහිඳියා හැව ඇඟලාගෙන සිටින ජාතිභ්‍රෂ්ටයන් නොපමාව කටයුතු කර ඇත. මේ ප්‍රහාරය යළිත් දලුලා වැඩෙන ඊළාම් යුද්ධයට සූදානම් වන ත්‍රස්‌ත කීටයන්ගේ සිත්වල පැසවන සිංහල විරෝධයේ දිග පළලද, රතු කමිස හැඳ සිටින ලොක්‌කන්ගේද උන්ගේ අඩිපාරේ යන සොක්‌කන්ගේද වියළි හෘද සාක්‌ෂියේ කළු පැහැයද, යහපාලනයේ නෝංජල්කමද සපථ කර ඇත. ඒ කෙසේ වෙතත් අපට දැනෙන සංවේගය නම් විශ්වවිද්‍යාලයක බල්ලෙක්‌, බළලෙක්‌ මළද ප්‍රකාශ නිකුත් කරන, ශිෂ්‍ය ව්‍යාපාර යන නාමය පිටුපසට වී සිය දේශපාලන මඩි තර කර ගන්නා සහෝදරවරුන්ට මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදැකීමට තරම් පිටකොන්දක්‌ නැතිකම ගැනය.

යාපනය විශ්වවිද්‍යාලයේදී සිංහල ශිෂ්‍යයන්ට හා සිංහල කලාකරුවන්හට ප්‍රහාර එල්ල කළේ පස්‌වැනි ඊළාම් යුද්ධයේ ත්‍රස්‌තවාදීන්ය. සත්‍යය එයයි. ඒ පිරිස ශිෂ්‍ය වේශයෙන් සිටියා විය හැක. එහෙත් විශ්වවිද්‍යාලයේ උත්සවයක කලාංගයක්‌ සම්බන්ධයෙන් සාධාරණව සිතීමට තරම් සංස්‌කෘතික ඉවසීමක්‌ නැත්තෝ ත්‍රස්‌තවාදීන් විනා අන් කවුරුන්ද? කලාව විශ්වීය භාෂාවකැයි ශාස්‌ත්‍රවන්තයෝද, විද්‍යාර්ථීහුද පිළිගන්නා සත්‍යයකි. එහෙත් ඒ විශ්වීය භාෂාව වැටහෙන්නේ ඊට සුගම දියුණු භාවයන් ඇති මනුෂ්‍යයින්ටය. මිනිසත් භාවයන්ටය. මනුෂ්‍ය වේෂයෙන් සිටියද නොමිනිස්‌කමින් අනූන තිරස්‌චීනයෝ කලාවේ භාවාත්මක ප්‍රකාශනයන්ට සංවේදී නොවෙති. අප දන්නා පරිදි පරාක්‍රම නිරිඇල්ල වැනි නාට්‍යකරුවන් සාමය හා අෙන්‍යාන්‍ය අවබෝධය පිණිස කලාව භාවිත කිරීමේ නව භාවිතාවන් අත්හදා බලමින් සිටී. අප වෙත වාර් වී ඇති පරිදි මේ දිනවලද නිරිඇල්ල සිටින්නේ යාපනයේය. ඒ සිංහල නළුවන් විසින් දෙමළෙන්ද, දෙමළ නළුවන් සිංහලයෙන්ද රඟපාන නාට්‍ය අභ්‍යාස මාලාවකය. එහෙත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් යෑයි කියා ගන්නා සතුන් මෙවැනි බලාපොරොත්තු සහගත කලාත්මක ප්‍රයාසයන්ට නිකුත් කරනු ලබන්නේ කවර නම් සංඥාවක්‌ද?

කොළඹ පමණක්‌ නොව රට පුරා ඇති සයිවර් කඩ වලින් වැඩිපුරම කන්නේ සිංහල මිනිසුන්ය. රට පුරා ඇති වීඩියෝ සංයුක්‌ත තැටි විකුණන ලොකු කුඩාකඩවලින් සිංහලයින් වැඩිපුරම මිලදී ගන්නේ සිංහල උපශීර්ෂ පාඨ යෙදූ දෙමළ චිත්‍රපටය. රට පුරා ඇති උස්‌ කෝපුරම් සහිත මනරම් හින්දු කෝවිල් වල ගනේෂට, දුර්ගාට පූජා පවත්වන සිංහලයන් කොපමණ සිටීද? අප දන්නා පරිදි යාපනය විශ්වවිද්‍යාලයේද නර්තන හා රංග කලා අධ්‍යයනාංශයන්ගේ සිටින ඇතැම් ශිෂ්‍යයන් සිංහල නර්තනය, කෝලම්, ආදී නර්තන සම්ප්‍රදායන් ශාස්‌ත්‍රීයව හදාරයි. ඒ සැබෑ ශාස්‌ත්‍රවන්තයන්ය. රට පුරා ඇති නර්තනායතන, කලායතන හා කලා පාසල්වල භරත නාට්‍යම් ශිල්පීයව හදාරන සිංහලයන්ගේ ප්‍රමාණය අතිමහත්ය. සිංහල සිසුන් බහුතරයක්‌ ඉගෙන ගන්නා විශ්වවිද්‍යාලයක සංස්‌කෘතික සංදර්ශනයකදී වේදිකාව ආලෝකමත් කරන භරත නැටුමක වාච්‍ය කෙසේ වෙතත් සාත්වික, ආහාර්යා හා ආංගික අභිනයන්ගෙන් සිංහල අප කෙතරම් කුල්මත් වන්නේද? වෙස්‌ නැටුම් කණ්‌ඩායමට පහර දෙමින් සතුන් මෙන් හැසිරුණු “සිසුන්” මේ කාරණා දන්නේද? 2009 වසරින් අවසන් වූ දශක තුන තුළ රට පුරා දින දින හමුදා උත්තමාචාර මැද අවසන් ගමන් යන සොල්දාදුවන්ගේ මළගෙවල්වල නිදි වැරූ මේ රටේ සෙසු විශ්වවිද්‍යාලවල සිංහල ශිෂ්‍යයන් තම විශ්වවිද්‍යාලයන්හි දෙමළ සිසුන්ට පහරදී ඇත්ද?

ඒ සංස්‌කෘතික අතුරු මුහුණතෙහි, නැත්නම් ඉඩකඩෙහි පළල් ජාතික සමගියක්‌ සංහිඳියාවක්‌ වඩන්නට ඇති විභවතාවන් සොයා යා යුතු විද්‍යාර්ථීන් පිරිසක්‌ මේ රටේ මහා සංස්‌කෘතියේ මුදුන් මල්කඩ වැනි වෙස්‌තට්‌ටුවට අත තැබීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? ඊනියා මහා විරු දිනයට, එල්.ටී.ටී.ඊ. යේ මිලිටරි පරාජය සිදුවූ මැයි 18 දාට යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය වේශයෙන් සිටින ත්‍රස්‌ත කීටයන් හා පිළවුන්, ඊනියා ඊළාම් රාජ්‍යයේ සිතියමක්‌ ඉදිරිපිට පහන් දල්වන්නේ සංහිඳියාව උතුරා යන හදින්ද?

අපේ අගමැතිතුමා පසුගිය සිංහල අලුත් අවුරුද්දට පොන්ගල් කා පොන්ගල් හා කිරිබත් සැසඳුවේය. තව තවත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ඇතැම් ජනමාධ්‍ය ආයතන කළේ උතුරේ පිරිස්‌ දකුණට ගෙන්වා කැවුම් කිරිබත් වලින් හොඳින් සංතර්පනය කිරීමය. අපි ඒවා අගය කරමු. “දකුණට” පැමිණ කිරිබත් කා ගිය ඇත්තෝද වෙස්‌තට්‌ටුව කුඩු පට්‌ටම් කරන්නට පොලු ඉස්‌සුවාදැයි අපි නොදනිමු. මන්ද ඒවා කුඩා පිරිස්‌ ඉලක්‌ක කර සිදු කළ කුඩා හුදකලා “සාම ප්‍රොජෙක්‌ට්‌ස්‌” නිසාය. එහෙත් අපේ අගමැතිතුමා කිරිබතට වඩා පොන්ගල් හොඳ යෑයි කළ ප්‍රකාශය වැදගත් සංස්‌කෘතික ප්‍රකාශයකි. එහෙත් ගත වූයේ හාර මාසයකි. පස්‌වැනි ඊළාම් යුද්ධයේ ත්‍රස්‌ත පෝතකයෝ එදා කෑ පොන්ගල් සිහිපත් වන අපූරු සංස්‌කෘතික පිළිතුරක්‌ දී තිබේ.

දැනට සමාජයේ කතා බහට ලක්‌ව ඇති අයුරින් ඊනියා සංහිඳියා යාන්ත්‍රණය තුළ සිදු වන්නේ ඉතා සූක්‌ෂ්ම ලෙස යුද්ධයෙන් පසු සිය සුපුරුදු ජීවන රටාවට ක්‍රමක්‍රමයෙන් අවතීර්ණ වන උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුළ දේශපාලනික හා වාර්ගික වෛරයක්‌ ජනනය කිරීමය. කාලය සමග ගොඩනැඟෙන තිරසාර සමගියක්‌ අවබෝධයක්‌ වෙනුවට වර්ගවාදී වෛරී සිතුවිලි දාමයක්‌ උප විඤ්ණයේ අවරෝධනය කිරීමය. ඒ දෙමළ ඩයස්‌පෝරාවේද, ඒ න්‍යාය පත්‍රය ප්‍රකාරව සිය දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නා කල්ලි කණ්‌ඩායම්වලද උවමනාව පරිදිය. යාපනය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විද්වත් සමුළු සඳහා ආරාධිත දේශකයින් ලෙස සහභාගි වන විදෙස්‌ විද්වතුන්ගේ භාවිතාවන්ද ආන්දෝලනාත්මකය. තවත් බෙදුම්වාදී වැඩපිළිවෙළකට දෘෂ්ටිමය වශයෙන් හා අනිකුත් අතින් සන්නද්ධ වීමක සේයාවක්‌ මේ ඔස්‌සේ පළට වේ.

අවසාන වශයෙන් මේ නොමිනිසුන් තනන්නේ කවුරුන්දැයි අපි තේරුම් ගත යුතුය. යාපනයේ පමණක්‌ නොව උතුරු නැගෙනහිර කොතැනක හෝ බුදු පිළිමයක්‌ වඩාහිඳුවීම පවා සංස්‌කෘතික ආක්‍රමණයකියි සිය “යටත් වැසියන්ට” උගන්වන දෙමළ ජාතික සන්ධානය නම් වූ බෙදුම්වාදී දේශපාලන නඩය මෙහි ප්‍රධාන වගඋත්තරකරු වන්නේය. උතුරේත් නැගෙනහිරත් පමණක්‌ නොව රටපුරා සිටින දෙමළ ජනතාව සිය බෙදුම්වාදී දෘෂ්ටිවාදය නමැති එළිමහන් සිර කඳවුර තුළට ගාල් කර ගන්නා මේ දේශපාලන දාමරිකයින් සමඟ සංහිඳියා ගිනි කෙළි වලට යැම අනතුරුදායක බව නොවැටහෙන්නේ ඇයි? විශ්වවිද්‍යාලයේ පහරදීමට පෙරාතුව, කලකට ඉහතදී අම්බලන්ගොඩින් නාගදීපය වඳින්ට ගිය බසයකට අරියාලේ දී ගල් ගැස්‌සීම වැනි එදා මෙදා තුර සිදුවූ අනෙකුත් සිදුවීම්ද ඉතා සැලසුම් සහගත සිදුවීම් බව අපේ අදහසයි. මේ උත්සාහ දරන්නේ 1983 වැනි ක්‍රමවේදයකින් සිංහලයන් ලවා සාමාන්‍ය දෙමළ වැසියාට ගස්‌සා ගන්නටය. ඒ අර්බුදය ඇතිවන තුරු ප්‍රජාතන්ත්‍රවාදයේ අර ඇතැයි කියන කණු තුනම ගල්වී සිටී. එය අපට සිහි ගන්වන්නේ 1983 දී ඇඳිරි නීතිය නොදා ම්ලේච්ඡ යුද්ධයේ පදනම තිරසාරව දමන්නට පූර්ණ සහාය පළකළ විධායකයයි. ඒ උගුලේ නොවැටෙන්නට සිංහලයා ප්‍රවේශම් විය යුතුය. මන්ද එය බෙදුම්වාදයේ ජයග්‍රහණය පිණිසම හේතු වන බැවිනි. එසේම ඒ භීතිය හා අන්ධකාරය තුළ රටේ ඓතිහාසික ජාතිය මර්දනයට ලක්‌කරන යෝජනා මාලාවක්‌ සහිත ව්‍යවස්‌ථා මර උගුලක්‌ හා තවත් විනාශකාරී අණපනත් හා ද්විපාර්ශ්වික ගිවිසුම්වලට ඇතුළත් ව රට කාබාසිනියා කර දමන්නට සතුරා මාන බලමින් සිටින බැවිනි.

ආචාර්ය චමිල ලියනගේ

Top