Featured

“ඔබතුමා අපි පක්ෂෙන් එළවනවා නම් එළවන්න.” පියල් නිශාන්ත මෛත්‍රීගේ මුණටම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන තැනට වැඩ නොකරන්නැයි ද ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ. රජය විවේචනය කිරීමට කිසිදු තහංචියක් නොමැති බවත් විපක්ෂයේ කාර්ය භාරය එලෙසින්ම පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහි දී පවසා තිබේ. ඊයේ රාත්‍රියේ හතට පමණ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී මෙම හමුව පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මේ සඳහා එක්ව සිටියහ.

“මම ඕගොල්ලන්ට එන්න කිව්වේ ජනතා බලවේග හදනවා කියලා මේ තැන් තැන්වල කිය කියා යනවා. ඒ ගැන අහන්නයි.” ජනාධිපතිවරයා පැවසීය.

“නෑ සර්. අපි ජනතා බලවේග හදන වැඩක් ‍නෙවෙයි මේ කරන්නේ. අපි කරන්නේ යූ.එන්.පී. විරෝධී සටනක්.” මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කීවේය.

“ඒකට කමක් නෑ. ආණ්ඩු විරෝධී ඕන සටනක් කරන්න. යූ.එන්.පී. විරෝධී ඒවත් ඕන දෙයක් කරන්න. හැබැයි පක්ෂය දෙකඩ වෙන විදියේ වැඩ කරන්න එපා. පක්ෂයේ වැඩපිළිවෙළත් එක්ක එකතු වෙලා වැඩ කරන්න.” ජනාධිපතිවරයා මෙහි දී කීවේය.

“මේ රැස්වීමට නාමල් මන්ත්‍රීතුමාටයි හිටපු කථානායකතුමාටයි ආරාධනා කරල නෑ.” ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහි දී ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ.

“නාමල්ට නම් මම ආරාධනා කළේ නෑ. මොකද එහෙම වුණා නම් මිනිස්සු අතරට වැරැදි අවබෝධයක් යයි. මොකද එතුමාට මේ දිනවල නඩුවක් පවතින නිසා. ඒත් මම හිටපු කථානායකතුමාට ආරාධනා කරන්න කියලා කිව්වනේ.” ජනාධිපතිවරයා එසේ කීවේ ජනාධිපති සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු වන මියුරු භාෂිත ලියනගේ මහතා දෙස බලමිනි.

“සර් අද උදේ තමයි හිටපු කථානායකතුමාට පණිවිඩේ දෙන්න වුණේ. එතුමාව සම්බන්ධ කරගන්න බැරුව ගියා.” මියුරු භාෂිත ලියනගේ මහතා කීවේය.

“සම්බන්ධ කරගන්න බැරි වුණා නම් මට කියන්න තිබ්බනේ. ඔයාට බැරිනම් කියන්න. මට ඒක කරන්න පුළුවන්.” ජනාධිපතිවරයා කීවේය. අනතුරුව වෙල්ගම මන්ත්‍රීවරයා නැගී සිටියේය.

“සර් අපේ අනූ පහක් මන්ත්‍රීවරු ඉන්නවා. ඇයි අපිට ආණ්ඩුවක් පිහිටුවන්න බැරි. ඔබතුමා එන්න ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න. එතකොට අපි ඔබතුමාට සහයෝගය දෙන්නම්. එහෙම නැතුව යූ.එන්.පී. එකේ මුක්කුවකට අපි එන්නෙ නෑ. ඕන නම් ඔබතුමා අපේ මන්ත්‍රීකම් නැතිකරයි.” කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කීවේය.

“නෑ නෑ. පක්ෂෙන් අයින් කරන්නෙ නෑ. හැබැයි අපේ පක්ෂෙ වැඩ කරගෙන යන්න සංවිධායකකම් අලුතෙන් පත් කරන්න වෙනවා. එහෙම වුණොත් මට ඒ අයගේ රැස්වීම්වලට යන්න වෙනවා.” ජනාධිපතිවරයා කීය.

“ඔබතුමා අපි පක්ෂෙන් එළවනවා නම් එළවන්න.” පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේය.

“මම කාවවත් එළවන්නේ නෑ.” ජනාධිපතිවරයා කීවේය.

අනතුරුව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා නැගී සිටියේය.

“ජනාධිපතිතුමනි, යූ.එන්.පී. එකට මුක්කු ගහලා ආණ්ඩුවක් හදන්න අපි කැමැති නෑ. අපි එහෙම එන්නෙත් නෑ. මගේ සංවිධායකකම අයින් කළා. මම ඒ ගැන දුක් වෙන්නෙ නෑ. මොකද ඒක දීලා තියෙන්නේ මගේ මල්ලිට. වතුරවලට වඩා ‍ලේවල ඝනත්වය වැඩියි. අපි ආණ්ඩු විරෝධී ගමන ඒ විදියටම යනවා.” රණතුංග මන්ත්‍රීවරයා කීවේය.

“ආණ්ඩුව විවේචනය කළාට කමක් නෑ. හැබැයි පක්ෂය කඩන තැනට වැඩ කරන්න එපා.” ජනාධිපතිවරයා කීවේය.

“ජනාධිපතිතුමනි ඔබතුමා ආණ්ඩුව විවේචනය කළාට කමක් නෑ විපක්ෂයේ භූමිකාව ඉෂ්ට කරන්න කියලා අපිට කියනවා. ඒ වගේම ඔබතුමා යුද අධිකරණයක් එන්නෙ නෑ කියලා කියනවා. මංගල සමරවීර ඇමැතිතුමා කියනවා එහෙම එකක් එනවා කියලා. ඔබතුමා කියන්නේ මතයක් විතරයි කියලා එතුමා කියනවා. අපි පිළිගන්නේ කාගෙ එකද?” කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා කීවේය.

“කවුරු මොනවා කිව්වත් මට මතයක් තියෙනවා. අවසානේ ක්‍රියාත්මක වෙන්නේ ඒ මතය.” ජනාධිපතිවරයා කීවේය.

“මගේ ගෙදර සම්පූර්ණයෙන්ම පුච්චලා ගෙදර හිටපු දෙන්නෙක්ව මරලා දැම්මා. එහෙම කරපු යූ.එන්.පී. එකත් එක්ක අපි කොහොමද එකට වැඩ කරන්නේ?” රංජිත් සොයිසා මන්ත්‍රීවරයා කීවේය.

පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේ දී ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව පිළිබඳව සාකච්ඡා නොවීම ද විශේෂත්වයකි. මෙම හමුව අවසානයේ දී තීරණය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තවදුරටත් පක්ෂයේ මතය ඉදිරියට ගෙන යමින් සිටීමටය. එහෙත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාව ඉටු කරමින් රජය වැරදි තීන්දු තීරණ ගතහොත් ඒවා විවේචනය කිරීම සඳහා ද ඔවුන් කටයුතු කරන බව ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.

Top