Featured

අම්පාරට වින කරන ගමගේලා සහ ගල්ඔය හරහා ඉදිවෙන පාලමේ රජ ගැහිල්ල

වැසි නැතිව වියළී ගිය දිගාමඩුලු මිටියාවතට යන්තමින් වැසි දෙක තුනක්‌ ඇද හැලුණා. සිඳෙමින් යන වැව් පුරවන්න ඒ වැස්‌සට බැහැ. නමුත් වතුර නැතිව සති ගාණක්‌ තිස්‌සේ වේළෙන වගාවන්ට ජීවයක්‌ දෙන්න ඒ වැස්‌සට හැකිවුණා. නමුත් අහස්‌ දියෙන් වගාකළ වගාවන් වලට මේ වන විට වෙන්න ඕන දේ වෙලා අවසන්.

මාස 06 කින් පඩි නැහැ

දිගාමඩුල්ලටම ඒ කාලේ ශක්‌තියක්‌ වුණේ හිඟුරාණ සීනි සමාගම. පස්‌සේ වසර ගණනක්‌ වැහිලා දිරමින් යද්දී ගල්ඔය වැවිලි සමාගමෙන් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ගොවියන්ගෙත් අතමිට මුදල් ගැවසෙනවා. නමුත් හිඟුරාන සීනි සමාගම පුද්ගලීකරණය කර පසු ගැටලු විසඳන්න රජය සතු සමාගමක්‌ ලෙස හිඟුරාණ සීනි සමාගම තියා ගත්තා. දැනට ඒකේ සේවකයන් 09 දෙනෙක්‌ ඉන්නවා. අයිතිය තියෙන්නේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයටයි. දැනට මේක ඈවර කරන සමාගමක්‌ ලෙස තිබුණත් එය ඈවර කරන්නෙත් නැහැ. දැනට ඉන්න සේවකයන්ට මාස 06 ක සිට වැටුප් ගෙවලත් නැහැ. හාල් කිලෝව සියයට යද්දී, බඩු මිල අහස උසට යද්දී දරුවෝ පාසල් යවන්න තියෙද්දී මේ සේවකයන් කොහොමද මාස 06 ක්‌ තිස්‌සේ වැටුප් නැතිව ඉන්නේ. මේ සේවකයන් අයිති ලොකු නිලධාරීන්ට මාස ගාණක්‌ පඩි නැතිවුණොත් කොහොම වෙයිද කියලා බලන්න තිබුණා. මේ සේවකයන්ට වැටුප් ගෙවනවාද කියලා අඬහැරය සෝදිසියෙන් ඉන්නවා.

මිතුපියමග සංසදයෙන් සත්කාරයක්‌

පන්නල්ගම විද්‍යාලය තියෙන්නේ අම්පාරේ නගරයේ ඉඳන් කිලෝ මීටර් පනහකට අධික දුරකින්. මේ ගමට කොටින්ගෙන් නිමක්‌ නැති කරදර ඒ කාලේ සිදුවුණා. පාසල් දරුවොත් දෙමවුපියනුත් කොටින් තිරිසන් ලෙස මරා දැම්මා. ඒ දවස්‌වල මේ කුඩා දරු පැටවු සමඟින් ගම්වාසීන් හිටියේ රෑට කැලැල්වල හැංගිලා. ඉතිං මේ ගමේ තිබෙන පාසලේ අඩුපාඩු එමටයි. ගුරුවරුත් හත් අට දෙනෙක්‌ නැහැ. අලි මදිවට කොටි කියනවා වගේ ගැටලු ගොඩක්‌ ආවා. නමුත් විදුහල්පති නන්දනී පෙරේරා මහත්මිය ඒ කිසිවකින් පසුබට වුණේ නැහැ. බස්‌ ටිකට්‌ එකකට රුපියලක්‌ නැතිව සාරියක්‌ හෝදන්න සබන් කැටයක්‌ දෙන්නේ නැතිව මේ දරු පැටවුන්ට අකුරු ටිකක්‌ කියලා දෙන්න ස්‌වෙච්ඡාවෙන් ගුරුවරියන් හත් අට දෙනෙක්‌ පැමිණියා. ඔවුන් සමඟ එකතු වෙලා හොඳ අධ්‍යාපනයක්‌ මෙම දරුවන්ට ලබා දෙනවා.

මේ පාසලේ ක්‍රීඩා උපකරණ නැහැ. භෞතික සම්පත්වල අඩුපාඩු එමටයි. හැබැයි දරු පැටවු ටික සැබෑම දක්‌ෂයෝ. ඔවුන් සමස්‌ත ලංකා මට්‌ටමින් පවා දස්‌කම් දක්‌වනවා. ඒ පාසලට තෑගි බෝග අරන් නත්තල් දා මනුස්‌සකමින් පිරුණු පිරිසක්‌ පැමිණියා. ඒ මිතු පිය මග සංසදයේ නැණ දිරිය සමාජ සත්කාරයේ දෙළොස්‌ වන වැඩසටහන වෙනුවෙන්. ඔවුන් පාසල් පොත් උපකරණ ඇතුළු ලක්‌ෂ ගණනක්‌ වටිනා උපකරණ ලබා දුන්නා. පුංචි දරුවන්ගේ ඇස්‌වල සතුටු කඳුළු. තෑගි අරන් ආපු අයගේ ඇස්‌වලත් සතුටු කදුළු. ඔවුන් පුදුම වුණා, මෙම දරු පැටවුන්ගේ දස්‌කම් දැකලා. නියඟෙට කුඹුරු විනාශ වෙලා තියෙන වෙලාවේ මේ උපකාරයත් දෙමවුපියන්ට මහ මෙරක්‌ වගේ. රුපියල් ශතවලට මිනීමරන යුගයක මෙවැනි මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසුන් විරලයි.

අම්පාරේ එජාපය දෙකඩ වෙලා

අම්පාරේ එජාපයේ බලධාරීන් දෙකට බෙදිලා. ඒක නිසා එජා පාක්‌ෂිකයෝ ඉන්නේ නොසතුටෙන්. ඇමැති දයා ගමගේ සහ ඔහුගේ බිරිඳ වන අනෝමා ගමගේ මහත්මිය එක්‌ පැත්තක. හිටපු එජාප මන්ත්‍රීවරයෙක්‌ වන නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගල්ප්පත්ති සහ පළාත් සභා එජාප මන්ත්‍රී මෙත්තානන්ද සිල්වා මහතා තවත් පැත්තක. පසු ගිය දිනකත් මෙත්තානන්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හිඟුරාණ සතිපොළ විවෘත කරන්න පළාත් සභාවේ මහ ඇමැතිත් එක්‌ක යද්දී දයා ගමගේ ඇමතිවරයා බලෙන් විවෘත කරලා ගියා.

ඒ වගේ පසුගියදා අනෝමා ගමගේ ඇමැතිවරිය කෙත්සිරිගම ගම්මානයේ පාළමකට මුල්ගලක්‌ තබන්න ගියා. ඒ ගැන මෙත්තානන්ද මන්ත්‍රීවරයා අඬහැරයට මෙහෙම කීවා. ඒ පාලම හදන්න මුල් වුණේ මම. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය පයිසර් මුස්‌තාෆා මහතාගේ උපදෙස්‌ මත මම ඒ සඳහා කටයුතු කළා. අවසානයේදී ඒ අය මේක හදන්න මුල්වූ මටවත් ආරාධනා නොකර මුල්ගල තැබුවා. මට ඒ ගැන දැනුම් දුන්නෙත් නැහැ. මේ අය අනුන්ගේ ඒවාට උප්පැන්න දෙනවා” යෑයි මෙත්තානන්ද සිල්වා මහතා කීවා.

ගල්ඔය හරහා ඉදිවෙන පාලමේ රජ ගැහිල්ල

ගල්ඔය ගග හරහා 03 වැනි පාලමේ සිට පරගහකැලේ සල්ගස්‌ හංදියට යන්න මීටර් 500 ක්‌ පමණ දිග විශාල පාලමක්‌ හදන්න පටන් ගත්තේ මීට අවුරුදු හතරකට කලින්. මේ පාලම හදන්න නියමිත කාලේ පහුවෙලා අවුරුද්දකටත් වැඩියි. නමුත් තවමත් පාලමේ වැඩ ඉවර නැහැ. ගහන ගැහිල්ලේ අඩුවකුත් නැහැ කියලයි ඒ ආසන්නයේ ප්‍රදේශවාසීන් කියන්නේ.

මේ පාලමේ වැඩ ආරම්භ කරද්දීම අහල පහල තිබ්බ කුඹුක්‌ ගස්‌වලට වැඩේ දුන්නා. ඒවා ඉරලා කොටසක්‌ එතන කන්ටේනර් පෙට්‌ටියක හංගලා තිබ්බා. තවත් කොටසක්‌ ගෙදරක හංගලා තිබ්බා. අනේ බඩුත් එක්‌ක හොරු අහුවුණත් කියන්නත් දුකයි ඒක රුපියල් 15000 කට යට ගැහුවා කියලයි කට්‌ටිය කියන්නේ. මේකේ ඉන්නේ නැගෙනහිර පළාත් භාර ප්‍රධාන ඉංජිනේරුවරයා එන්නේ මාස කිහිපයකට සැරයි. ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයාත් හිතෙන වේලාවට ඇවිත් පැය දෙක තුනක්‌ ඉඳල යනවා. සමහර දවස්‌වල එන්නෙත් නැහැ. ඊටත් උඩින් ඉන්න අයත් එන්නේ අවුරුද්දකට වතාවක්‌ලු. ඒ ආවත් අඩුපාඩුවක්‌ බලන්නේ නැතිව එහෙන් මෙහෙන් කැරකිලා යනවලු.

නැගෙනහිර පළාත් භාර ඉංජිනේරුවරයාගේ වෑන්රියක්‌ බිරිඳගේ නමින් මෙම ව්‍යාපෘතියට දාලා මාසයකට ලක්‌ෂයකට ආසන්න මුදලක්‌ උපයනවලු. රියෑදුරෙක්‌ ඉන්නවා කියලා වැටුප ගත්තත් ඇත්තටම රියෑදුරෙක්‌ නැතිලු. ඒ නිසා එම වෑන් රථයේ දෛනික ධාවන සටහන් ලියන්නේද වෙනත් අයෙක්‌. ඒත් එහෙම ගත්ත වෑන් එකත් මෙම වැඩ බිමේ නැති නිසා සේවකයකුට යම් අනතුරක්‌ සිදුවුණොත් රෝහලකට හෝ ගෙන යැමට නොහැකි වෙලා තිබෙනවා. පාලමක්‌ ආසන්නයෙන් වැලි ගොඩ දාන්න දෙන්නේ නැහැ. ඒ සංවේදී කලාපයක්‌ ලෙස තියෙන නිසා. නමුත් මාර්ග සංවර්ධන අධිකාරියේම නිලධාරීන් එකතුවෙලා පසු ගිය කාලයේ මෙම පාලම හදන තැන දිගට හරහට වැලි අදින්න ගත්තා. අන්තිමේදී ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නිසා එතන අනවසර වැලි කොල්ලය නැවතුණා.

මේ වැඩ බිමට දක්‍ෂ හොර වැඩට හවුල් නැති ඉංජිනේරු මහත්තයෙක්‌ ආවා. හැබැයි හොරකමට උඩගෙඩි දෙන හොරු ටික ඒ අයව එතනින් ඉක්‌මනට ඉවත් කළා. මේවා ගැන දන්න ලොකු මහත්තුරුත් නිහඬ වෙලා, මේ සියලු වංචාවන්ට උඩගෙඩි දෙනවා. මේ විදිහට ගැහිලි ගොඩයි. මේ ගැන හොයන්න කවුරුවත් නැහැ. රටේ ජනතාවගේ මුදල් නේද මේ විනාශ කරන්නේ කියලා ගම්වාසීන් අඬහැරයට කීවා

හැප්පුවාද? මරලා ගෙනත් දැම්මාද?

අම්පාර මොණරගාල මාර්ගයේ වඩිනාගල 24 කණුව ආසන්යේදී නාඳුනන මළ සිරුරක්‌ හමුවෙලා තිබුණා. මෙම මළ සිරුරේ මුහුණ දැඩිසේ හානි වෙලා කවුද කියලා හඳුන ගන්නත් අපහසු ආකාරයට. සිරුරේ කැපුම් කිහිපයකුත් තිබ්බා. මෙම මියගිය අය අවුරුදු 45 ක්‌ පමණ වෙතැයි පොලිසිය හිතෙනවා. මළ සිරුරට මීටර් හයසියකට දුරින් ඇඳුම් බෑගයක්‌ තිබිලා හම්බ වෙලා තියෙනවා. සරමක්‌ සහ ලා නිල් පාට ඉරි අත්කොට කමිසයක්‌ තමයි මියගිය අය ඇඳලා තියෙන්නේ. මෙම ස්‌ථානයේ අනතුරක්‌ සිදුවූ ලකුණු පේන්නේ නැහැ. ඒ නිසා මරා දමා ගෙනැවිත් දැමූ අයෙක්‌ද? එසේ නොමැතිනම් අනතුරකින් මියගියාද කියලා හොයනින පරීක්‌ෂණ පවත්වමින් ඉන්නවා. නමුත් මේ ආකාරයෙන් මියගියේ කවුද කියලා තවම හඳුනාගෙන නැහැ. සිරුර අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරලයි තියෙන්නේ. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ධම්මික ප්‍රියන්ත මහතාගේ උපදෙස්‌ මත ඉඟිණීයාගල පොලිසියේ ස්‌ථානාධිපති නාලක මහගෙදර මහතා ඇතුළු අම්පාර සො. කො. නිලධාරීන් මේ පිළිබඳව පරික්‌ෂණ පවත්වනවා.

සුසන්ත අමර බන්දු
susantha@gmail.com

Top