විශේෂාංග

නීතිය ක්‍රියාත්මක වුනොත් අර්ජුන් ඇලෝසියත් හිරේ…. අර්ජුන් ඇලොසියස්ගේ චෞර මිත්‍රයොත් හිරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ හෙලිදරව්වක් කළා.  ඒ කෝප් කමිටු සාමාජික ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පස්දෙනෙකුට කෝප් කමිටුව බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන කාල වකවානුව තුල අර්ජුන් ඇලෝසියස් නොහොත් බැඳුම්කර බෑනා විසින් දුරකතන සාකච්ඡා පවත්වා ඇති බවයි.

එහි දී අඩුම දුරකතන සාකච්ඡා ගණන වන දෙකක් පවත්වා ඇත්තේ දයාසිරි ජයසේකර ඇමතිතුමා සමගයි.  “මට අර්ජුන් ඇලෝසියස් දුරකතනයෙන් කතා කරලා, තමන්ව බේරා ගන්න උදව් ඉල්ලුවා මම ඒක ප්‍රතික්ෂේප කළා“ කියලා එතුමා කියනවා. දයාසිරි ඇමතිතුමාට කතා කලේ උදව් ඉල්ලන්න නම් අනිත් කෝප් කමිටු සාමාජිකයින්ට වෙන දෙයකට කතා කළා වෙන්න බෑනේ.

දයාසිරි ඇමතිතුමා උදව් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා එතුමාට ලැබුණු දුරකතන ඇමතුම් ගණන දෙකකට සීමා වුණා.  අනිත් අයට වැඩි වැඩියෙන් දුරකතන ඇමතුම් ලැබුණේ උදව් කරන්න එකඟ වුණු නිසා කියලා අපට සාධාරණ නිගමනයකට එන්න පුළුවන්.

දැන් මේ මන්ත්‍රිවරුන් මාධ්‍ය ඉදිරියට ඇවිත් සුරංගනා කතා කියාවි.  අර්ජුන් අපේ බාප්පාගේ පුතා.  මොන්ටිසෝරි යාළුවා.  අපේ නංගිගේ පෙම්වතා යනාදි වශයෙන්.  තමන්ට කුමන හෝ සම්බන්ධයක් තිබුණා නම් එය කෝප් විමර්ශනයට බාධාවක්. අපි මේකට කියන්නේ බැඳියාවන් අතර ගැටුම හෙවත් conflict of interest කියලා. එසේ නම් තමන්ට තිබෙන සම්බන්ධය හෙලි කරලා කෝප් විමර්ශනයෙන් ඉවත් විය යුතුව තිබුණා.  නමුත් කිසිවෙක් එහෙම කලේ නෑ. උදව්කිරීමේ වංක චේතනාව තිබුනු නිසා තමයිමේ කිසිම මන්ත්‍රීවරයෙක් කෝප් විමර්ශනය ආරම්භවන අවස්ථාවේ අපේ මෙහෙම මිත්‍රකමක් තියෙනවා අපිටනම් වාඩිවෙන්න බෑ කියලා කිව්වේ නැත්තේ. අපි දකිනවා ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවරුන් තමන් දන්න කෙනෙක්ගේ ඥාතියෙක්ගේ නඩුවක් ආවහම තමන් අතර ඇති සම්බන්ධය හෙළි කරලා මට මේ නඩුව අහන්න බෑ කියලා වෙනත් තැනකට යොමුකරන්න කියන දේ කියනවා. මේ මන්ත්‍රීවරුන් එහෙම නොකලේ අර්ජුන් ඇලෝසියස්ට සහය දීෑ කියලා මේ වංක චේතනාවෙන් කියන සාධාරණ නිගමනයට අපිට බහින්න වෙනවා.

සරත් ෆොන්සේකා මහතා හිරේ වැටුණේ තමන්ගේ බෑණාගේ සමාගමක් වන හයිකෝප් සමාගමේ ටෙන්ඩර් තීරණය කළ කමිටුවක වාඩි වුණු නිසා.  ඒ කමිටුවේ වාඩි වීමත් කෝප් කමිටුවේ වාඩි වීමත් දෙකම එකයි.  ඒ නිසා පැහැදිලිවම මේක සිර දඬුවම් ලබා දිය හැකි දූෂණයක්.

කෝප් කමිටුවේ ස්වාධීනත්වය සහ විශ්වාසනීයත්වය රැක ගැනීමට නම් කතානායකතුමා වහාම මෙම මන්ත්‍රිවරුන්ට කෝප් කමිටු සාමාජිකත්වය අත්හිටුවා විමර්ශනයක් ඇරඹිය යුතුයි.  මේ පිලිබදව කෝප්කමිටු සාමාජික මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීතුමන් කතානායක තුමන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.  ඊට අමතරව අල්ලස් කොමිසම මේ දූෂිත මන්ත්‍රිවරුන්ට එරෙහිව නඩු පැවරිය යුතුයි.  යහපාලනය වර්ණනා කල පසුගිය රජයේ දූෂණ ගැන හයියෙන්ම කතා කල  යහපාලනයේ පෙර ගමන්කරුවන් ලෙස පෙනී සිටි මන්ත්‍රිවරුන්තමයි මේ චෝදනාවලට ලක්වෙලා ඉන්නේ. පෙරගමන් කරුවන්ගේ තත්වය මෙසේ නම් යහපාලනය කෙසේ ද කියා රටටම දැන් මැන ගන්න පුළුවන්.

ඒ වගේම අපි යෝජනා කරනවා කෝප්කමිටුවෙන් කරපු බැදුම්කර වංචාව ගැන විමර්ෂණය යලි පැවැත්විය යුතුයි. මොකද මේ සිද්ධිය හරියට හොරාගේ අම්මගෙන් නෙවෙයි හොරාගේ මිත්‍රයන්ගෙන් පේන ඇසීමක් හා සමානයි. අපේ පැරණි ජාතක පොතේමේ වගේ අයට තමයි චෞර මිත්‍ර කියන්නේ.  හොරුන් සමග මිත්‍රවෙලා හොරුන් රකිනවා.

1953 අංක 2 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උප ලේඛනයේ ආ කොටසේ පලවෙනි ඡේදයේ සදහන් වෙන විධිවිධාන අනුව පාර්ලිමේන්තු කාරක සභාවක කටයුතු පිළිබඳ මන්ත්‍රීවරයෙකුට අයුතු බලපෑම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසා අවුරුදු දෙකක සිර දඬුවමක් ලබා දිය හැකි වරදක්. ඒ වගේම එහි නවවන ඡේදයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන් කාරක සභාවකදී ගනු ලබන තීන්දුවක්  ගැනීම සම්බන්දයෙන් යම් ත්‍යාගයක් සිහිවටනයක් අල්ලසක් ලබාගන්නවනම් එයත් දෙවසරක් දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක්.

ඒ නිසා මේ පිළිබද නීතිය ක්‍රියාත්මක වුනොත් අර්ජුන් ඇලෝසියත් හිරේ අර්ජුන් ඇලොසියස්ගේ චෞර මිත්‍රයොත් හිරේ කියන එක තමයි අපිට රටට කියන්න වෙන්නේ.

“බැදුම්කර හොරු වහා අත් අඩංගුවට ගනු” මැයෙන් අද දින පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 2017.11.17

Top