හමුදාමය වශයෙන් විනාශ කර දැමීමට කලින් පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන ප‍්‍රශංසා කිරීම නිසා ගිය වසරේ ජුලි මාසයේ විශාල ප‍්‍රශ්නයකට මුහුණදුන් නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, යුද්ධයෙන් පසුව උතුරේ තරුණයන් දුෂණය කිරීමට එම පළාතට මත්පැන් සහ විවිධ මත්ද්‍රව්‍ය බෙදාහැරියේ දකුණේ දේශපාලඥයන් බව මීට දින කිහිපයකට කලින් කියා සිටියාය.
ගිය වසරේ මෙන් නොව, මෙවර ඇගේ එම ප‍්‍රකාශය කිසිවෙකු අභියෝගයට ලක්කෙළේ නැත. එපමණක් නොව, මත්ද්‍රව්‍ය උවදුර පසුපස දේශපාලඥයන් සිටින බවට ඇය කළ ප‍්‍රකාශය, දකුණේ බොහෝ දේශපාලඥයන් මේ වන විට කර ඇති ප‍්‍රකාශයන් මගින් ද තවදුරටත් සනාථ කොට තිබේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ පවා අඟහරුවාදා කොළඹ මාළිගාවත්තේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් කියා සිටියේ, මත්ද්‍රව්‍යවලට අදාළ පරීක්ෂණවලට දේශපාලඥයන් ඇඟිලි ගසන බවට පොලීසියේ බොහෝ නිලධාරීන් තමාට පැමිණිලි කර ඇති බවයි. මීට වසර කිහිපයකට පෙර, ආන්දෝලනාත්මක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රට පුරා කියාගෙන ගියේ, මුස්ලිම් ජාතිකයන් 9 දෙනෙකු ඇතුළු ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 11 දෙනෙකු දේශපාලඥයන් විසින් ආරක්ෂා කරමින් සිටින බවයි. මාකඳුරේ මධූෂ් ඩුබායි රටේදී අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් පසුගිය සඳුදා කතා කරමින් ‘පිවිතුරු හෙළ උරුමයේ’ උදය ගම්මන්පිල, සෑම පාතාල නායකයෙකු පසුපසම දේශපාලඥයෙකු සිටින බව කියා සිටියේය.
එහෙත් අවාසනාව වන්නේ, මේ කිසිවෙකු ඒ කියන දේශපාලඥයන්ගේ නම්ගම් හෙළි නොකිරීමයි. විශේෂයෙන් අගමැතිවරයා, පොලිස් නිලධාරීන් පැමිණිලි කළ එකී දේශපාලඥයන්ගේ නම්ගම් දැනගෙන ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුව තිබුණි. ඉතිං, අවසානයේදී දේශපාලඥයන්ට චෝදනා කරමින් ඇවිදීම, ඒ කියන චෝදනා බොහෝ විට සත්‍ය විය හැකි වෙතත්, මේ වන විට පාවිච්චි කෙරෙන්නේ හුදු මෝස්තරයක් වශයෙන් බව පෙනේ.
අගමැතිවරයා සිය කතාවේදී තවත් දෙයක් ගම්‍ය කෙළේය. එනම්, ඩුබායි වැටලීම සිදු කළ හැකි වුණේ, ලංකාවේ පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් එතෙක් කෙරෙමින් තිබූ දේශපාලනික ඇඟිලි ගැසීම්, අර කී පොලිස් නිලධාරීන්ගේ පැමිණිලිවලින් පසුව නතර කිරීම නිසා වන බවයි. පසුගිය දෙසැම්බරයේ රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව යළි ස්ථාපිත කිරීමේ පටන් පොලිසීය තමන්ගේ භාරයට ගෙන සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, මේ ඩුබායි අත්අඩංගුවට ගැනීම ගැන දැන් බොහෝ දෙනා අයිතිය පෑමට පටන්ගෙන ඇති බව ඊට දින දෙකකට කලින් පොලොන්නරුවේ ජනහමුවක් අමතමින් කියා සිටියේය. ඔහු එහිදී ගම්‍ය කෙළේ එකී පුද්ගලයන් කියා සිටින අයිතිවාසිකම් පදනමක් නැති ව්‍යාජ කතා වන බවයි.
ඒ අත්අඩංගුවට ගැනීම තමා විහින්ම කළ දෙයක් බවට ඉඟි කිරීම ජනාධිපතිවරයාගේ පරමාර්ථය වූ බව පෙනේ. ඒ කරුණු කෙසේ වෙතත්, පුංචි පහේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්වලට අමතරව මෑතකදී කොල්ලූපිටිය, දෙහිවල, බේරුවල සහ වෙනත් ස්ථාන කිහිපයකින් කිලෝ සිය ගණන් විශාල මත්ද්‍රව්‍ය තොග සොයා ගැනුණි. එසේම, මෑතක සිට ජනාධිපතිවරයා මේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි දැඩි ස්ථාවරයක් ගන්නා බවත් පෙන්නුම් කොට තිබේ. හිරගෙදර සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් වන මරණ දඬුවම් ක‍්‍රියාත්මක කිරීමට තමන් පියවර ගන්නා බව පසුගිය සැප්තැම්බරයේ දී ඔහු කියා සිටියේය. අපේ රටේ මරණීය දඬුවම ඉවත් කොට නැතත්, එය ක‍්‍රියාත්මක කිරීම අවුරුදු 42 ක් තිස්සේ අත්හිටුවා තිබේ.
මේ අතර ජනාධිපති සිරිසේන පසුගිය මාසයේ පිලිපීනයේ සංචාරයක නිරත විය. එරට ජනාධිපති දුතර්තේ ගෙන යමින් සිටින මත්ද්‍රව්‍ය විරෝධී ක‍්‍රියාකලාපය ප‍්‍රශංසාවට ලක්කරමින් ජනාධිපති සිරිසේන එදා කළ කතාව ලෝකය පුරා සිටින මානව හිමිකම් ක‍්‍රියාධරයන්ගේ විවේචනයට ලක්විය. පිලිපීන ජනාධිපතිවරයා මේ වන විට එකී මත්ද්‍රව්‍ය විරෝධී සටනේදී, 2000 ට වැඩි පිරිසක් නීතියට පිටින් ඝාතනය කොට ඇතැයි කියැවේ. තමාගේ මත්ද්‍රව්‍ය විරෝධී අධිෂ්ඨානය සම්බන්ධයෙන් මතුවන විවේචන නොතකා හරින ජනාධිපතිවරයා, එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරීමට තමන් ගෙන ඇති තීරණය ගිය සතියේ යළි තහවුරු කොට සිටියේය.
මාකඳුරේ මධූෂ් ඇතුළු තිස් දෙනෙකුට අධික සංඛ්‍යාවක් ඩුබායි රටේ සුඛෝපභෝගී හෝටලයකදී එරට පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් දවසකට පසුව පෙබරවාරි 6 වැනි දා ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව අමතමින්, මරණීය දඬුවම අත්හිටුවීමේ විලම්භන කාලය (ක‍්‍රියාත්මක නොකර සිටි කාල පරිච්ෙඡ්දය* තව මාස දෙකකින් තමන් අවසන් කරන බව කියා සිටියේය. මිනිමැරුම් සහ මත්ද්‍රව්‍යවලට අදාළව ශ‍්‍රී ලංකාවේ අධිකරණය මරණ දඬුවම් නියම කරනු ලැබේ. එහෙත් එම දඬුවම් ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය කෙරේ. එහෙත් 1976 සිට ලංකාවේ කිසි ජනාධිපතිවරයෙකු එම අනුමැතිය දී නැත. එසේ හෙයින් මේ දක්වා සිදුව ඇත්තේ, අධිකරණයෙන් නියම වන මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් බවට පරිවර්තනය වීමයි. කොටදෙනියාවේ සේයා දැරිය සහ 2015 දී යාපනේ 18 වියැති විද්‍යා නැමැති පාසල් ශිෂ්‍යාව අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිදුවීම්වලින් පසුව මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රට පුරා මහජන උද්ඝෝෂණ ඇති විය. එහෙත් සති දෙක තුනක් ඇවෑමෙන් ඒ ගැන උණුසුම නැතිව ගියේය.
දැන් එවැනි සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් නැගෙන මහජන උද්ඝෝෂණයකින් තොරව මෙන්ම කිසිදු විරෝධතාවකින් ද තොරව ජනාධිපතිවරයා මාස දෙකක කාලයක් තුළ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සැරසෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මාකඳුරේ මධුෂ් ඇතුළු ඔහුගේ අපරාධ සහායකයන් තවත් බොහෝ ඝාතනවලටත් වගකිව යුතු බව කියැවෙයි. වරක් තමන්ගේ ප‍්‍රතිවාදී කල්ලියක නායකයෙකු බන්ධනාගාර වාහනයක් තුළදීම ඝාතනය කිරීමටත්, අපරාධකරුවන් පිළිබඳ බොරු තොරතුරු සපයමින් යම් ස්ථානයකට ගෙන්වා ගත් පොලිස් නිලධාරීන් පිරිසකට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කිරීමටත් මේ පිරිස සම්බන්ධ වී ඇත. රටේ පවතින නීතිය යටතේ ඔවුන්ට දඬුවම් කළ යුතු බවට සැකයක් නැත.
එහෙත් වඩාත් වැදගත් ප‍්‍රශ්නය වන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරමට අතුඉති ලා වැඞීමට සහාය වන වෙනත් සාධක එසේම තිබියදී, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමෙන් වුව එම උවදුර මැඩලිය හැකි වේද යන්නයි. රටේ පවතින ඇතැම් සාධක, මත්ද්‍රව්‍ය ජාවාරම පෝෂණය කරවයි. තවත් සාධක මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කරවයි. නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කියන පරිදි, ප‍්‍රභාකරන්ගේ පාලන කාලය තුළ ක‍්‍රියාත්මක කළ මරණ දඬුවම හේතුවෙන් ඒ පළාතේ අපරාධ අවම මට්ටමකට ගෙනැවිත් තිබේ.
එහෙත් අපරාධකරුවන් නිර්මාණය කෙරෙන ක‍්‍රමය ප‍්‍රභාකරන් වෙනස් කොට තිබුණේ නැත. එබැවින් ඔහුගේ දැඩි ග‍්‍රහණය පහව ගිය සැණින් නැවත පරණ ක‍්‍රමය හිස එසැවීය. දැන් විජයකලා මහේෂ්වරන් ඒ ගැන වරද පටවන්නේ දකුණට ය. දකුණේ තත්වයත් ඒ අංශයෙන් උතුරට වඩා වෙනස් නැති බව මෙහිදී සිහිකට යුතුය.
අපරාධ සහ වංචා දුෂණ දුරලීම කෙරෙහි රටේ නායකයන් සත්භාවයෙන් කැප වී නැති බව දැන් ඉතා පැහැදිළි ය. ඔවුන් ඒ සඳහා කැප නොවෙනවා පමණක් නොව, අපරාධකරුවන් සහ වංචනිකයන් ඒ දේශපාලඥයන්ගේ සහාය සහ ආශීර්වාද ලැබීමටත් සමත්ව සිටින බව පෙනේ. දකුණේ එක් ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු පසුගිය ආණ්ඩුව කාලයේ තමන්ගේ 100 වැනි ස්ත‍්‍රී දුෂණය යම් හෝටලයකදී උත්කර්ෂවත්ව සැමරූ බව එදා වාර්තා විය. බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දුෂණය කළ තවත් එවැනි දකුණේ ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු අත්අඩංගුවට ගැනීමට පවා බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමාරයාගේ මැදිහත් වීමක් අවශ්‍ය කෙරුණි. එසේම, තවත් ප‍්‍රාදේශීය දේශපාලඥයෙකුගේ නිවසක් පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය මගින් වටලා පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ රටේ ජනාධිපතිවරයා තකහනියක් ඒ දේශපාලඥයාගේ නිවසට දුවගෙන ගියේය.
ඒ ආකාරයටම, වර්තමාන ආණ්ඩුවේ දුෂණ විරෝධයත් විකාර නාටකයක් පමණි. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි වික‍්‍රමසිංහට එම තනතුර අතහැර යන්නට සිදු වී වැඩි කල් නැත. යම් වංචාවක් සම්බන්ධයෙන් ඉහළ පෙළේ හිටපු හමුදා නිලධාරීන් තිදෙනෙකු ප‍්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අල්ලස් කොමිසමටත්, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයටත් ඒ අවස්ථාවේ බැන වැදුණේය. එසේම, මහ බැංකු බැඳුම්කර වංචාව හෙළිදරව් වූ විට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයෝ ඊට අදාළ අපරාධකරුවන්ට සුදු හුණු ගෑමට පොත්පත් ලියමින් සහ ඒ සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාවට පාද සටහන් එකතු කරමින්, අපරාධයේ සැර බාල කිරීමට බැලූහ. තවද, බැඳුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිතයා වන අර්ජුන මහේන්ද්‍රන් කිසි කරදරයක් නැතිව සිංගප්පූරුවට පලා යාම වැළැක්වීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අසමත් වූ බවත් කිව යුතුය.
අනිත් අතට, ආර්ථික හේතු නිසා, සාමාන්‍ය ජනතාව අතරේ ද මත්ද්‍රව්‍ය ජාවාරමට සරු පසක් නිර්මාණය වී තිබීම මේ අවස්ථාවේ අප අමතක නොකළ යුතුය.
සමාජයේ සහ ජනතාවගේ වෙනස් වෙමින් පවතින අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රණය නොකෙරෙන, බොහෝ විට එක තැන පල් වෙන ආර්ථිකයක් අපට හිමිව තිබේ. එසේම, එවැනි වෙනස් වන ආර්ථිකයකට නොගැළපෙන අධ්‍යාපන ක‍්‍රමයක් ද අපට උරුමව තිබේ. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ලිවීමෙන් පසු වසරක් පාසා පාසල්වලින් හැලෙන ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අතරමං වෙති. සංවිධිත ප‍්‍රධාන ධාරාවේ ආර්ථිකයට උරා ගැනෙන්නේ ඔවුන්ගෙන් අතලොස්සකි. අනිත් අයට තමන්ගේ අතක් බලා ගැනීමට සිද්ධ වෙන අතර, තවත් අය, ස්වයං-රැුකියා නමින් ද හැඳින්වෙන සිල්ලර කටයුතුවල නියැලෙති. මොවුන්ගෙන් සමහරෙකු ඇතැම් විට අවසන් වන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ අතකොළු බවට පත්වෙමිනි.
මේ කියන තත්වයන් නොවෙනස්ව පවතින තාක් කල් මත්ද්‍රව්‍ය උවදුරත් පවතිනු ඇත.
එම්. එස්. එම්. අයුුබ්